පහන් කණුව ධර්ම දේශනා
තෙවන වෙළුම (සිව්වන මුද්‍රණය)
කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු

පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
‘පහන් කණුව’
කන්දේගෙදර, දේවාලේගම

ප්‍රකාශනය
ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය
මහාභාරකාර දෙපාර්තමේන්තුව
2001

ධර්මදානයකි
මුදලට විකිණීම සපුරා තහනම් වෙයි.
පොත ලබාගත හැකි ස්ථාන
  1. පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
    ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම.
  2. ජී.ටී. බණ්ඩාර මහතා
    රෝයල් ඉන්ස්ටිටියුට්,
    191, හැව්ලොක් පාර,
    කොළඹ 5.
  3. ටී.ටී. වේරගල මහතා
    422, වැලිපාර, තලවකැලේ
    (දු.ක. 01-867221)
  4. ‘පියමෙත් සිල් සෙවන’
    විලේකුඹුර, මීපිටිගල
  5. මහාභාරකාර දෙපාර්තමේන්තුව
    2, බුලර්ස් පටුමග,
    කොළඹ 07.

මුද්‍රණය
කොලිටි ප්‍රින්ටර්ස්
17/2, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල,
නුගේගොඩ.
දුරකථනය: 074-302312

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං

බුද්ධවග්ග, ධම්මපද

හැම පවින් වැළැකුම,
කුසල් වෙතටම එළැඹුම,
සිත පිරිසිද්ධ කැරැම,
සස්න මෙයමැයි හැම බුදුන්ගෙම

පටුන
හැඳින්වීම
ප්‍රකාශක නිවේදනය
ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය
අමා ගහxi
11. ‘පඨව්‍යා ඒකරජ්ජේන’
12. ‘අථ පාපානි කම්මානි’
13. ‘මනෝ පුබ්බංගමා ධම්මා’
14. ‘සුසුඛං වත ජීවාම’ [unclear]
15. ‘යො ච වස්ස සතං ජීවෙ’

හැඳින්වීම

දහම් දන හැම දන්මපරදයි
දහම්රස හැම රසමපරදයි
දම් ඇළුම හැම ඇළුම්පරදයි
නිවන් සුව හැමදුක්මපරදයි

අනුත්තර ධම්රාජයාණන් වහන්සේගේ ධර්ම විජයට අරමුණුවූයේ දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුලාවී සසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධර්ම විජය පරමාර්ථය විය. දුක් ගිනි වඩන දිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධම්විජයක් බුදුපියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ

ධර්මදානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූර්ණ ජීවිත පරිවර්තනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැලසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහොතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අපූරු රසයකි. සසර වඩන ගේහසිත ඇලුම් මෙන් නොව, ලොවතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණ්හා පිපාසය සන්සිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි.

‘නිවනේ නිවීම’ පොත් පෙළෙන් අප දියත් කළ ධර්මදාන වැඩ පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ ‘පහන් කණුව ධර්ම දේශනා’ පොත් පෙළ එළිදැක්වීමට හැකිවීම මහත් වාසනාවක් ලෙස සලකමු. මීතිරිගල නිස්සරණ වන සේනාසනයෙහි යෝගාවචර සඟපිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33ක් රැගත් යටකී පොත් පෙළට වඩා සරල අන්දමින් ජන ජීවිතයේ එදිනෙදා ගැටළුවලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධම්දේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩදායක වනු ඇතැයි සිතමු. සසරදුක් ලියලවන විවිධ විෂම දෘෂ්ටිවාදයන්ගෙන් ගැවසීගත් පොත්පත් සඟරා සහරාවක අතරමං ව සිටින වර්තමාන පාඨක සමාජයට මේ තුළින් ලොවුතුරු මඟට යම් ‘තරු සලකුණක්’ හෝ ලැබෙතොත් අප දැරූ උත්සාහය සඵල වූ ලෙස සලකමු.

‘ආනුපුබ්බී කථා’ නම් වූ අනුපිළිවෙළ කථාමාර්ගයක් අනුගමනය කරමින් දහම් දෙසූ බුදු පියාණෝ එවැනිම ‘අනුපිළිවෙළ කථාවක්’ ධර්මදේශකයින්ට අනුදැන වදාළහ. දාන කථාව, සීල කථාව, සග්ග කථාව, කාමයන්ගේ ආදීනව හා නෛෂ්කම්මයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයත්වේ. ඒ සියල්ල තුළින් සකස් වූ, මෘදු, පුබුදු, පහන්වූ සිතට චතුරාර්ය සත්‍ය දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සලකන කල, බුද්ධ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදර්ශවත් අංග සතරක්ද ඇත. එනම්, උපමා, නිදර්ශන, ආදියෙන් ධර්ම කරුණු සන්දර්ශනය කිරීම (‘සන්දස්සේති’), සිත් කාවදින අන්දමින් එත්තු ගන්වාලීම (සමාදපේති), ඒවා ප්‍රතිපත්තියට නැංවීමෙහිලා උත්සාහවත් කිරීම (සමුත්තේජේති) සහ අසන්නන්ගේ සිත්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්පහංසේති).

ධම්පදයෙන් තෝරාගත් ගාථා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදීද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධර්ම අනුගමනය කිරීමට තැත් දැරුවෙමු. බුද්ධෝත්පාද කාලයක ලැබිය හැකි අග්‍රඵලය වන අර්හත්ඵලයෙන්ම දේශනාවක් කූළගැන්වීමට උනන්දු වීමු. වෙනත් සුලභ ලෞකික පරමාර්ථ තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදය සිහිගන්වමින් සංසාර විමුක්තිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යාශය විය. ‘පහන් කණුවෙන්’ විහිදෙන මෙම ධර්ම ආලෝකයෙන් ලෝකයාට නිවන් මඟ හෙළි පෙහෙළි වේවා!

මෙම ‘පහන් කණුව ධර්මදේශනා’ පොත් පෙළද, ‘නිවනේ නිවීම’ දෙසුම් පෙළ එළිදැක්වීම උදෙසා කොළඹ හැව්ලොක් පාරේ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ පින්වත් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පිහිටුවන ලද ‘ධර්ම ග්‍රන්ථ මුද්‍රණහාරය’ මගින් මුද්‍රණය කිරීමට මහාභාරකාර තැන්පත් යූ.මාපා මහතා තීරණය කිරීම අපට මහත් ධෛර්යයක් විය. අමිලවූ ධම්ය මිල කිරීමකින් නොපිරිහෙළා පාඨකයින් අතට පත්කිරීමේ අප ප්‍රතිපත්තියට දිරිදෙන ඒ පින්වත් මහතුන් දෙපොළටත්, මේ සත්කාර්යයට සහාය දීමට මෙතෙක් ඉදිරිපත්වූ පරිත්‍යාගශීලී හැම පින්වතුන්ටත් පටිගත කළ ‘පහන් කණුව’ දෙසුම් පිටපත් කරදීමේ කාර්යට සහාය වූ පින්වත් ඒ.එස්.වයි. අබේවර්ධන මහතාට සහ අනුලා හේනගොඩ, එම්. නාගහවත්ත, ජයන්ති රණවීර යන මහත්මීන්ටත්, දෙන දේ පිරිසිදු දීමට ශෝභන ලෙස මුද්‍රණ කටයුතු නිම කරන, සීමාසහිත කරුණාරත්න සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂක මහතුන්ට හා කාර්ය මණ්ඩලයටත් අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ. ඒ හැම දෙනාටම මෙම ධම්දානමය කුශලය පරම ශාන්ත නිර්වාණාවබෝධය පිණිස හේතුවාසනා වේවායි පතමු.

‘චිරං තිට‍්ඨතු ලෝකස‍්මිං - සම‍්මාසම‍්බුද‍්ධ සාසනං’

මෙයට,
සසුන් ලැදි,
කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු

පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
‘පහන් කණුව’
කන්දේගෙදර
දේවාලේගම
(2542) 1999 පෙබරවාරි 12

ප්‍රකාශක නිවේදනය

අති පූජ්‍ය ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ “නිවනේ නිවීම” දේශන මුද්‍රණය කොට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන බැතිමත් බෞද්ධ සැදැහැවතුන් අතට පත්කිරීමේ මූලික අදහස අපතුළ ඇතිවීමුත්, එම මුද්‍රණය සඳහා වැයවන මුදල උපයා ගැනීම ප්‍රශ්නයක් විය. මෙය විසඳීම පිණිස, අප කිහිපදෙනෙක් යෝජනා කොට සිටියේ ඒ සඳහා වැයවන මුද්‍රණ වියදම පමණක් අයකර ගැනීම පිණිස පොතක් සඳහා කිසියම් අනුපාතික විකුණුම් මිළක් නියම කිරීමයි. අපගේ මෙම යෝජනාව ගරු ඤාණානන්ද ස්වාමීන් වහන්සේ එකහෙළා ප්‍රතික්ෂේප කළහ. “ධර්මය මිල කරන්න බැහැ. එය අවශ්‍ය අයහට නොමිළයේ ලබාගැනීමට හැකි විය යුතුයි….” යනුවෙන් උන්වහන්සේ මෙම වටිනා දහම් පොත “විකිණීම” කෙරෙහි අප අධෛර්යවත් කළහ.

එබැවින්, උන්වහන්සේ අදහස් කළ පරිදි “නිවනේ නිවීම” දේශනා මාලාව මුද්‍රණය කොට නොමිළයේ බෙදාදීමේ ක්‍රියා පිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ‘ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය’ නමින් අරමුදලක් ආරම්භ කරනු ලැබීය. “නිවනේ නිවීම” පළමුවන වෙළුම සඳහා මුද්‍රණ වියදම තනිවම ඒ මහතා විසින් දරණ ලදී. එතැන් පටන්, මේ වන විට මුද්‍රණයෙන් එළිදක්වා ඇති 2, 3, 4, 5, 6, 7 කාණ්ඩ මුද්‍රණය කිරීම සඳහා බලාපොරොත්තුවූවාටත් වඩා ලත් අනුග්‍රහය ධර්ම ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය.

එසේ ආරම්භ කරන ලද “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාර අරමුදල” මගින්ම “පහන් කණුව ධර්ම දේශනා” මාලාව ද මුද්‍රණය කොට නොමිළයේ බෙදා දෙමින් සිදුකෙරෙන ශාසනික මෙහෙවරට අපහට නිල වශයෙන් හෝ දායකවීමට හැකිවීම ඉමහත් කුසලයකි.

මෙම උතුම් ධර්මදාන ක්‍රියාවලියට දායකවීමට කැමති හැමතුන්හට නම පුණ්‍යාධාර “ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන” නමින් චෙක්පත් හෝ මුදල් ඇණවුම් (මුදල් ඇණවුම් නම් ටොරින්ටන් චතුරශ්‍රය උප තැපැල් කාර්යාලයෙන් මාරුකරගත හැකි පරිදි) මගින් ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාර අරමුදලට බැර කිරීම පිණිස පහත සඳහන් ලිපිනයට එවිය හැකි බව කරුණාවෙන් දන්වා සිටිනු කැමැත්තෙමු.

යූ.මාපා
ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන

ජී.ටී. බණ්ඩාර මහතා
ස්ථාපක
ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය,
රෝයල් ඉන්ස්ටිටියුට්,
191, හැව්ලොක් පාර, කොළඹ 5.

මහා භාරකාර දෙපාර්තමේන්තුව
තැ.පෙ. 548,
2, බුලර්ස් පටුමග, කොළඹ 07.
1999 පෙබරවාරි 12

ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය

ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළ කරනු ලබන “නිවනේ නිවීම” පොත් පෙළෙහි සත්වැනි වෙළුම දක්වා මුද්‍රණය කිරීමේ සම්බන්ධීකරණය මෑතක් වනතුරු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාභාරකාර තනතුර දැරූ යූ.මාපා මහතා විසිනි. ඉතා ගැඹුරු ධර්ම කරුණු සහිත එම වටිනා දහම් පොත් පෙළ එළි දැක්වීමට හැකිවූයේ ඒ මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාමය.

මෙම පොත් පෙළෙහි හත්වැනි වෙළුම මුද්‍රණයට සකස් වෙමින් තිබෙන අවස්ථාවේදී මාපා මහතාට ශ්‍රී ලංකා ජනරජයේ තානාපති ලෙස මියන්මාර් (බුරුමය) දේශයට යෑමට සිදුවිය. ථේරවාදී බුදු දහම නිර්මලව පවතින එවැනි දේශයකට පත් වී යෑම හුදෙක් ඒ මහතාගේ ශාසනික සේවයේ තවත් පියවරක් ලෙස දකිමු.

මාපා මහතා විසින් එසේ නික්ම යාමට පෙර, “නිවනේ නිවීම” සෙසු කාණ්ඩ මුද්‍රණය කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාම පිණිස, අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාවල අගය දන්නා අප කීපදෙනෙක් මහාභාරකාර කාර්යාලය වෙත කැඳවා, ඒ පිළිබඳව වැඩ පිළිවෙළක් සකස් කරන ලදී. එම ක්‍රියා පිළිවෙළ අනුව “නිවනේ නිවීම” දේශනා මාලාව සහ ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළකරනු ලබන “පහන් කණුව ධම් දේශනා” ග්‍රන්ථ එපරිද්දෙන්ම ඉදිරියේදී පළකෙරෙනු ඇත.

මෙම උතුම් ශාසනික සේවය ඉටු කිරීමට මාහට එම භාරයේ ස්ථාපක වශයෙන් මෙතැන් සිට වගකීම පැවරී තිබේ. එම මහත් කාර්යය ඉෂ්ට කරගැනීම පිණිස ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම බැතිමත් දායක දායිකාවන්ගේ අනුග්‍රහය අපි බලාපොරොත්තු වෙමු.

මෙම ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරයට එවනු ලබන ආධාර ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන නමින් පහත සඳහන් ලිපිනයට එවිය හැක.

ජී.ටී. බණ්ඩාර,
ස්ථාපක,
ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය

1999 ඔක්තෝබර් 25 වැනි දින.
රෝයල් ඉන්ස්ටිටියුට්,
191, හැව්ලොක් පාර,
කොළඹ 5.

අමා ගඟ

මහවැලි ගඟ උතුරට හැරවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති ප්‍රදේශවල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුණු ගොයම් සරුව නිල්වන්ව කරලිත් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන ප්‍රදේශ වැසියෝ තුටු කඳුළු වගුළහ.

දහම් අමා ගඟ “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල” සඳහා වත් විය පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලෞකික - ලෝකෝත්තර මල් පල නෙළා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ

“ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් දියත් කළ මෙම ධම්දාන වැඩපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු ධම්දාන සංකල්පය පමණි. අමාගඟ “උතුරට” හැරවූවෝ සසුන් ගුණ හඳුනන පරිත්‍යාගශීලී සැදැහැවත්හුමය. “නිවනේ නිවීම” පොත් පෙළ එළි දැක්වීමෙන් නොනැවතී “පහන් කණුව ධම්දේශනා” පොත් පෙළෙහි “බර පැන” දැරීමටත්, දෙස් - විදෙස්වල දහම් පිපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අනිකුත් පොත - පත ඒ අයුරින්ම එළි දැක්වීමටත් ඔවුහු උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවම දීමේ” අදහසින් අමිල වූ දහම් ඊට නිසි ශෝභන මුද්‍රණයකින්ම ධම්කාමීන අතට පත් කිරීමට පියවර ගත්හ. මුද්‍රිත පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමඟම “නැවත මුද්‍රණ” පළකිරීමෙන් දහම් අමා ගඟ වියළී යාම නොවීමට දැඩි අදිටනකින් ඇප කැපවුහ.

“පොත් අලෙවිය” පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංච්වලින් තොරව, තමන් අතට නොමියේම පත් කැරෙන “දහම් පඩුර” තුළින් ධම්දාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වත්හු තමන් ලද රස අහරක්, නෑ-හිතවතුන් සමග බෙදා-හදා ගන්නාක් මෙන් නොමසුරුව අන් දහම් ලැදියනටද දී ධර්ම දානයට සහභාගී වූහ. ඉනුදු නොනැවතී, ශක්ති පමණින් “ධර්ම ග්‍රන්ථ මුද්‍රණාලයට” උරදීමටද ඉදිරිපන්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොත් මුද්‍රණය කරවීමේ හා නැවත-නැවත මුද්‍රණය කරවීමේ බරපැන ඉසිලීමට පවා පසුබට නොවූහ.

සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමා ගඟ ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි.

“සබ්බදානං ධම්මදානං ජිනාති”

මෙයට,
සසුන් ලැදි,
කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු

පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
‘පහන් කණුව’
කන්දේගෙදර, දේවාලේගම
2000 ජූනි 05 (2544 පොසොන්)

11 වන දේශනය
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

පඨව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

මේ පින්වතුන් අද මේ වප් පුර පසොළොස්වක් පෝය දවසේ, අයහපත් කාලගුණය මධ්‍යයේ නමුත් මේ පැමිණිලා සිටින්නේ බුදු ජීයාණන් වහන්සේගේ යම් කිසි ධම් පදයකට - ධම් කොට්ඨාසයකට - ඇහුම්කන් දීමටයි. බෞද්ධ පින්වතුන් බණ අසන්න බලාපොරොත්තු වෙන්නෙ එයින් තමන්ගේ ජීවිතයට යම්කිසි ආලෝකයක් ලබා ගැනීමටයි. ජීවිතය හැඩගස්වා ගැනීමටයි. මේ අපි ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය බොහෝම දුර්ලභ එකක් හැටියට බුදු පියාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඒ වගේම ඒක වටිනා ජීවිතයක්. නමුත් මේ මනුෂ්‍යත්වයේ වටිනාකම ඉබේම ලැබෙන්නේ නෑ. ජීවිතයක වටිනාකම හෝ නොවටිනාකම මේ අපි ගත කරන ජීවිත රටාව අනුවයි කියන්න වෙන්නෙ. නිශ්චය වෙන්නෙ. අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වුනත්, ඒ නැනැත්තා ජීවිතය ගත කළේ නොවටිනා දේ සමඟ නම්, නිස්සාර දේ සමඟ නම්, ඒ ජීවිතය එහෙම පිටින්ම නිශ්ඵල නිසරු ජීවිතයක්.

ඒක නිසා නියම වටිනාකම්, නියම සාරධම්-ජීවිතයක ඇති නියම වටිනාකම-තේරුම් අරගෙන ජීවත් වීමයි බෞද්ධ පින්වතාගේ යුතුකම. සාමාන්‍යයෙන් ලෝකයේ වටිනා දේ හැටියට සලකන්නේ මිල මුදල්, රන, රිදී, මුතු මැණික් ආදියයි. නමුත් බුදු පියාණන් වහන්සේ ලෝකයාට ඊට වඩා උතුම් දේවල් හඳුන්වා දුන්නා ධම්‍යෙන්, අන්න ඒ ධම්‍යානුකූලව හඳුන්වාදීපු ඒ වටිනාකම් තේරුම් අරගෙන ජීවත් වීමට - ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට - හොඳ වටිනා දවසක් තමයි පෝය දවස. එතකොට බෞද්ධ පින්වතුන් බුද්ධ කාලයේ පවා ඒ බෞද්ධ මහෝපාසක වරුන් තම තමන්ගේ දූ දරුවන්ට ජීවිතයේ නියම වටිනා දේ තේරුම් කරදීමට වටහාදීමට මේ පෝය දවස යොදා ගත්තු බව අපට ධර්ම කතාවලින් හෙළි වෙනවා. දැන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි මාතෘකාව හැටියට තබා ගත්තු ඒ ගාථා ධර්මය දේශනා කරන්ට හේතුවුන කථා ප්‍රවෘත්තියත් නිදාන කතාවත් ඒකට සමාන දෙයක්.

මේ පින්වතුන් අහලා තියෙනවා අනාථපිණ්ඩික මහ සිටාණන් ගැන. මේ ශාසනයේ, බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කළ කාලයේ, බෞද්ධ මහෝපාසකවරුන් අතර අග්‍රගණ්‍ය - මුල් තැන තබන්ට තරම් වටිනා - කෙනෙක් තමයි අනාථපිණ්ඩික මහ සිටාණන්. කෝටි ගණනක් ධනයෙන් පමණක් නොවෙයි ධර්ම ඥානයෙන් පොහොසත්, ඒ වගේම උතුම් ලෝකෝත්තර තත්ත්වයක් හැටියට සැළකෙන ඒ සෝවාන් ඵලයත් ප්‍රත්‍යක්ෂ කරගත්තු මහෝපාසකයෙක්. ඒ අනේපිඬු සිටාණන්ගේ නිවස එහෙම පිටින්ම දාන ශාලාවක්. ඒ කියන්නේ, නිතරම වගේ බුදුපියාණන් වහන්සේටත් මහා සංඝයා වහන්සේලාටත්, එහෙම නැත්නම් සංඝයා වහන්සේලා සිය ගණනකට නිතිපතාම දානමානාදියෙන් උපස්ථාන කරපු සිටු මැදුරක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා.

‘කාල’ මේ විදියට කාලය ගතකළොත් කාලකණ්ණියෙක් වේය කියන හැඟීමෙන් අනේපිඬු සිටාණන් එක උපායක් කල්පනා කළා, මේ දරුවට තුණුරුවන් හඳුන්වා දෙන්ට ඕනෙයි කියලා. එක පෝය දවසක අනාථපිණ්ඩික සිටාණන් මේ පුතාට කතා කරලා කියනවා “පුතේ, නුඹ විහාරයට ගිහිල්ලා, සිල් සමාදන් වෙලා, බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා ආවොත් මම නුඹට මසුරන් සීයක් දෙනවා - කහවනු සීයක් දෙනවා’’ කියලා ඔය විදියට ප්‍රකාශ කළා. එතකොට මේ දරුවා ‘දෙනවමද තාත්තේ? දෙනවමද තාත්තේ? දෙනවමද තාත්තේ?’ කියලා තුන් සැරයක් පොරොන්දු කරවගෙන-ගිවිස්වාගෙන තමයි ඔන්න ඊළඟට ඒ ජේතවනාරාමයට ගිහිල්ලා සිල් සමාදන් වුණේ. නමුත් බණ අහන්න එහෙම ඕන කමක් නෑ. පැත්තකට වෙලා බුදියගෙන පස්සෙන්දා උදේ සිටුමැදුරට පැමිණියා පැමිණියාම සිටාණන් සේවකයන්ට විධාන කළා “මේ මගේ පුතා සිල්සමාදන් වෙලා ආවා, කෑම බීම හොඳට දෙන්න” කියලා. නමුත් මේ දරුවා, අර සමහර කුඩා දරුවන් පවසන ආකාරයටම “මට අර පොරොන්දු වුන මුදල දෙන තුරු මම ආහාර ගන්නේ නෑ” කියලා ප්‍රකාශ කළ නිසා සිටාණන්ට ඒ මුදල පළමුවෙන්ම දෙන්න සිද්ධ වුනා. ඒ මසුරන් මල්ල අතින් අරගෙනයි - ඒක එක අතකින් අරගෙනයි - මේ දරුවා ආහාර පවා ගත්තේ.

ඊළඟට නැවත පෝය දවසක් ආවාම අනේපිඬු සිටාණන් කල්පනා කරලා - මේ උපායට තව කොටසක් එකතු කිරීම් වශයෙන් කියනවා : “පුතේ, විහාරයට ගිහිල්ලා සිල් සමාදන් වෙලා, බුදුපියාණන් වහන්සේගෙන් බණ අහලා බණපදයක් ඉගෙන ගෙන ආවොත් මම නුඹට මසුරන් දාහක් දෙනවා”. මේ දරුවත් එතකොට මේ මුදලට තියෙන ආසාව නිසා විහාරයට ගිහිල්ලා සිල් සමාදන් වෙලා, බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන ඉස්සරහටම ගිහිල්ලා ඉඳගෙන බණ පදයක් විතරක් කොහොම හරි ඉගෙන ගෙන දුවලා ගිහිල්ලා අරමුදල ලබා ගන්න අදහසින් බණ අහන්න සූදානම් වුනා.

බුදුපියාණන් වහන්සේට මේ දරුවාගේ හිත පෙනුනා. ඒ වගේම ඒ විදියේ ජීවිතයක් ගත කළාට මොකද මේ දරුවා තුළ යම්කිසි පුණ්‍ය ශක්තියක් තිබෙන බවත් බුදුපියාණන්ට පෙනෙන්ට ඇති. කොයි හැටි හෝ වේවා, බුදුපියාණන් වහන්සේත් එක්තරා උපක්‍රමයක් යෙදුවා - සම්‍යක් ප්‍රයෝගයක් - උපායක් යෙදුවා. මොකක්ද? මේ දරුවට බණ පදය අල්ලගන්න බැරිවෙන විදිහට බණ කියන්න පටන් ගත්තා. මේ දරුවා බලාපොරොත්තු වෙන්නේ කොහොමහරි බණ පදයක් ඉගෙනගෙන ගිහිල්ලා පියාගෙන් ඒ මුදල ලබා ගන්නයි. නමුත් පියාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. මේ ළමයට එක බණ පදයක්වත් අල්ලගන්න බෑ. කොහොමහරි ඒක ලිස්සලා යනවා. ඔන්න ඔය විදියට බණ කියන්න පටන් ගත්තා. බොහොම ඕන කමින් ඇහුන්කන් දෙන්නේ. මොකද? අර මුදලට තිබෙන ආසාව නිසා, හැබැයි එක බණ පදයක් වත් අල්ලගන්න බෑ. පළමුවෙනි බණපදය බැරි වුනා. ඊළඟ එක, ඊළඟ එක, ඔහොම ගිහිල්ලා අන්තිමට බණ කියලා ඉවර වෙන කම්ම අහගෙන ඉන්න සිද්ධ වුනා. නමුත් මේ බුදුපියාණන් වහන්සේගේ ධර්ම දේශනාව කොයි තරම් පුදුමද කියතොත් මේ දරුවා ඒක අවසාන වෙනකොට සෝවාන් කියලා කියන ඒ උතුම් ලෝකෝත්තර තත්ත්වය ලබාගෙන, ආර්ය තත්වය ලබාගෙන.

නමුත් මේ කාරණය වෙන කවුරුවත් දන්නේ නෑ. මේ ළමයත් ඉතින් පසුදවසේ බුදු පියාණන් වහන්සේත් සංඝයා වහන්සේලාත් ඒ අනේපිඬු සිටාණන්ගේ සිටුමැදුරට දානෙට වඩින අවස්ථාවේදී පිටිපස්සෙන් බොහොම සන්සුන්ව ගමන් කළා. ගෙදරට ගියාම අනේපිඬු මහ සිටාණන් බුදුපියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් දානය පූජා කරලා මේ ළමයාටත් පැත්තක ආසනයක ආහාර දෙන්න සූදානම් වුනා. මේ ළමයා බොහොම සන්සුන්ව ඉන්නවා දැකලා සිටාණන් පුදුම වුනා. වෙනදා අර විදියට මුදල් දෙනකන්, කහවනු දෙනකන් මම ආහාර ගන්නේ නෑ කියලා කිව්ව දරුවා දැන් බොහොම සන්සුන්ව මේ ආහාර ගන්නවා. මේ ළමයත් කල්පනා කළා මට පියාණන් මට මේ මුදල් පිළිබඳ කතාව බුදුපියාණන් වහන්සේ ඉදිරියේ නොකියනවා නම් හොඳයි කියලා. ඒ තරමට ලැජ්ජය. මුදලක් ගැන ලෝභයෙන් ධර්මය ඇසූ එක ගැන පවා ලැජ්ජා හිතිලා මේ දරුවට. නමුත් සිටාණන් මේ කාරණය ගැන දන්නේ නෑ. ඒක නිසා ඊළඟට මේ මුදල ගෙනල්ල දෙන්න සූදානම් වුනා. දරුවා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක එපාය කිව්වා. ඒක නිසා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා “භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාගේ අද මේ ස්වරූපය - හැටි - බොහොම වෙනස්. ඉස්සෙල්ල දවසෙ නම් මෙන්න මේ විදියට පොරොන්දු වෙලා මුදලක් දෙනතුරු ආහාර ගත්තේ නෑ. අද ඇවිටිලි කරලත් මුදල ගන්න කැමති වුණේ නෑ” කියලා. පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා “සිටාණෙනි, අද ඔබේ පුතාට මේ මුදල් වලට වඩා, වෙන එකක් තබා මේ මුළු මහ පොළොවේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා, දිව්‍යලෝක ගමනටත් වඩා, මුළු ලෝකෙ අධිපති කමටත් වඩා වටිනා දෙයක් ලැබිලා තිබෙනවා. ඒකයි ඔය මුදල ගැන උනන්දු වෙන්නෙ නැත්තේ’ කියලා. එහෙම ප්‍රකාශ කරමින් අපි අර කලින් සඳහන් කළ ගාථා ධර්මය වදාළා:

පඨව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං

‘පඨව්‍යා ඒකරජ්ජේන’ - මේ මහ පොළොවේ චක්‍රවර්ති රජකෙනෙක්ව රාජ්‍යය කිරීමටත් වඩා, ‘සග්ගස්ස ගමනේන වා’ - දිව්‍යලෝකයට යාමටත් වඩා, ‘සබ්බලෝකාධිපච්චේන’ - මුළු ලෝකයේ අධිපතිකමටත් වඩා, ‘සෝතාපත්තිඵලං වරං’ - සෝවාන් ඵලය උතුම්ය, ඒ ලෝකෝත්තර තත්වය උතුම්ය, කියලා බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා.

ඉතින් මේ අනුව අපට හිතාගන්න පුළුවන්, මේ අනේපිඬු සිටාණන්ගේ උත්සාහය නිසා දරුවා අර තරම් ලෝකයේ ඉතාම උසස් තත්වයක් හැටියට සළකන ඒ සෝවාන් තත්ත්වය ලබා ගත්ත. මේ සෝවාන් ඵලය කියන එක, මේ තත්ත්වය, හිතේ ඇතිවන විශාල වෙනසක්. ආර්ය තත්වය ලැබුවා කියලා කියනවා. මේ තත්වය ලැබීමෙන් කෙනෙක් ලබන නිදහස කොයිතරම් ද කියතොත්, නැවත මේ සංසාරයේ අපායට යන්නේ නෑ. අපායට යන තරම් සිත පහත් තත්වයට වැටෙන්නේ නෑ. ඒකයි සෝවාන් වීමෙන් දකින විශේෂම ශක්තිය. ඉතින් සංසාරේ තවත් උපදිනවා නම් උපදින්නේ හත්සැරයයි. මේ විදියට සෝවාන් ඵලය ලබා ගත්තනම් - සෝවාන් ඵලය ලබා ගන්නවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය හරියටම ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. ඒ වගේම මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ඒ ත්‍රිලක්ෂණය - ලකුණු තුන - ගැඹුරින් වටහා ගැනීමයි. ඒ වටහා ගැනීම තුළින් හිත ඇතුළෙ වන වෙනස කොයි තරම්ද කියතොත් නැවත ඒ තැනැත්තා කවදාවත් අපායේ උපදින්නේ නෑ. ඒ වගේම සංසාරයේ තව හත්සරයයි උපදින්නේ. එහෙම ඉපදුනාට පස්සේ කොහොම හරි කොයි ආකාරයකින් නමුත්, රහත් වෙලා පිරිනිවන් පානවා. ඔන්න ඔය තරම් පුදුම විදියේ වෙනසක් කෙනෙකුගේ හිතේ ඇති වෙනවා සෝවාන් තත්ත්වයෙන්. එතකොට අර කාල කියන දරුවාගේ අර තරම් විශාල පරිවර්තනයක්, වෙනසක් සිද්ධ වුනා මේ ධර්මය ඇසීම නිසා එදා.

සෝවාන් ඵලය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ - මේකේ අගය - දැන් මෙතන ප්‍රකාශ වුන හැටියට, අර චක්‍රවර්ති රජකම කියන එක ලෝකයා බලාපොරොත්තු වෙන ලොකු දෙයක්, නමුත් මේ හැම එකකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ මක් නිසාද? චක්‍රවර්ති රජ කියලා මහ පොළොවට රජකම් කළත් තමන් සසර කරපු පව් නිසා අපායට යන්න ඉඩ තියෙනවා. නමුත් සෝවාන් පුද්ගලයා කවදාවක්වත් අපායට යන්නේ නෑ. අන්න ඒ නිසා තමයි මේ සෝවාන් ඵලය අනිත් හැම එකටම වඩා උසස්ස කියලා ප්‍රකාශ කලේ. මේ සෝවාන් ඵලයේ ඇති වටිනාකම බුදුපියාණන් වහන්සේ බොහොම අවස්ථාවල දක්වලා තියෙනවා. එක් අවස්ථාවක තම නිය පිටට පස් ටිකක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් අහනවා ‘මේ නියපොත්තේ තියෙන පස් ටිකද වැඩි, එහෙම නැත්නම් මුළු මහපොළොවෙ තියෙන පස් ද වැඩි?’ කියලා. එතකොට සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ නිය පිට තියෙන පස් බොහොම ටිකයි. මහ පොළොවේ පස තමයි වැඩි’ කියලා. අන්න ඒ උපමාව අනුව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ‘එසේම මහණෙනි, සෝවාන් පුද්ගලයා මේ සංසාරයෙන් තමන් නිදහස් වුන දුක් ප්‍රමාණය අන්න අර මහ පොළොවේ පස් වගේ. තව ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය, ගෙවන්න තියෙන දුක් ප්‍රමාණය, මේ නිය පිට තිබෙන පස වගේ ඉතාම ටිකයි. ඉතාම ස්වල්පයයි.’ ඒ තරම් විශාල නිදහසක් සෝවාන් වූ පුද්ගලයා ලබනවා. මේ සෝවාන් ඵලය කියලා කියන්නේ ලෝකෝත්තර තත්ත්වවලින් පළමුවෙනි එක. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල හතරක් තියෙනවා, මේ බුද්ධ ශාසනයේ.ඒවා තුළින් තමයි නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. අවසානයේ දී අරහත් තත්ත්වයෙන් තමයි අමාමහ නිවනින් සම්පූර්ණයෙන්ම සැනසිලා මේ සසර දුක් කෙළවර කරන්නේ.. එතකොට සෝවාන් ඵලය පවා මේ තරම් උතුම් දෙයක් කියලයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ.

දැන් එතකොට පොඩ් පොඩි ළමයාමේ පින්වතුන්ට හිතෙන්න පුළුවන්, මේ පොඩි ළමයා කොහොමද මේ තරම් ලොකු දෙයක් ලබාගත්තේ? මේ තරම් උතුම් ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගත්තේ කොහොමද? කියලා මේක කෙනෙකුට පුදුම හිතෙනවා. අර විදියට සංඝ උපස්ථාන කරන්නේ නැතුව, බුදු පියාණන් වහන්සේ දකින්නෙන් නැතුව හිටපු ළමයා බුදු පියාණන් වහන්සේගෙ එක ධර්ම දේශනාවක් අහලා මේ තරම් ලොකු ජයග්‍රහණයක් - ලොකු තත්ත්වයක් ලබාගත්තේ කොහොමද? මේක අපිට ටිකක් ගැඹුරින් හිතන්න හොඳ අවස්ථාවක්. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු තත්ත්ව ලබා ගන්නේ - මේ උපාසක මහත්තයලා එහෙම දන්නවා බොහොම භාවනා කරලා තමයි කෙනෙක් ඔය තත්ත්වය ලබාගන්නේ. ,මේ ළමයා එතකොට කොහොමද ලබාගත්තේ?. භාවනාවක් නැතුවද? කියලා කෙනෙක් ප්‍රශ්න කරන්ට පුළුවන්. නමුත්, පින්වතුනි, භාවනාවක් නැතුව නිවනක් හම්බවෙන්නේ නෑ. දැන් ඉතින් මේ ළමයා තුළ තිබුන භාවනාව මොකක්ද කියලා අපි ටිකක් විමසලා බලමු.

මේ කථාවෙ සවිස්තරව නැතත් අපිට හිතාගන්න පුළුවන් මේකෙ තිබෙන යම් යම් ඉඟි ආශ්‍රයෙන්, මේ ළමයගෙ හිත තුළ තිබුන භාවනාව මොකක්ද කියලා. මේ ලෝකයේ ඇති හැම දෙයකම මේ ජීවිතය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ලකුණු තුනක් තියෙනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි. මේ හැම දෙයක්ම අවසාන වශයෙන් බලනකොට දුකයි. ඒ වගේම මේ හැම දෙයක්ම මමය, මාගේය කියලා ගන්න බෑ. මේක අනාත්මයි කියලා ඒ විදියේ මහා ගැඹුරු ධර්මයක් මෙතන තියෙන්නේ. ඒක තමයි ‘ත්‍රිලක්ෂණය’ කියලා කියන්නේ. මුළු මහත් ලෝකයෙම තියෙන ලකුණු තුන. මේ ලකුණු තුන සාමාන්‍ය අවබෝධයට වැටහෙන්නේ නෑ. සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ නෑ. ගැඹුරු විදර්ශනා වශයෙන් ගැඹුරට ගිය-ඥානයටයි මේක වැටහෙන්නේ. එතකොට මේ වැටහීම කොහොමද අර ළමයා ලබාගත්තෙ? සාමාන්‍යයෙන් භාවනා කර්මස්ථානයක් කියලා කියන භාවනා මාතෘකාවක් අනුව භාවනා කරලා තමයි මේක ලැබෙන්නේ. දැන් මේ කාලගෙ භාවනා මාතෘකාව මොකක්ද? කමටහන මොකක්ද? කියල අපි ටිකක් හිතල බලමු. කාලගේ කාලගෙ කමටහන වුනේ, අනේපිඬු සිටාණන් කියපු ‘පුතේ ගිහිල්ල බණ පදයක් ඉගෙන ගෙන ආවොත් මම මසුරන් දාහක් දෙනවා’ කියල කියපු වචනයයි.

එතකොට මේ ළමයා විහාරයට යන්න ඇත්තෙ මේ මසුරන් මල්ල හිතින් අරගෙන, මම කොහොම හරි බණ පදයක් අහලා මේ මසුරන් ටික ලබාගන්නවා කියන අදහසින්, ඒකෙන් හිතේ එක්තරා තැන්පත් කමක් ඇතිව බණ අහගන්න සූදානම් වුණා. නමුත් බුදුපියාණන් වහන්සේ මේ කමටහන හරියට සුද්ද කරලා - පිළිවෙලක් කරලා - නිවනට ළං කරලා දුන්නේ කොහොමද? බුදු පියාණන් වහන්සේ මේ කාරණය දැනගෙන අර බණ පදයක්වත් අල්ල ගන්න බැරි විදියට ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. එතකොට මේ දරුවා මේ පළවෙනි බණපදය අල්ලගන්න බලනවා. ඒ ළමයට පේන්න ඇත්තේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන හැම බණ පදයක්ම මසුරන් මල්ලක් හැටියටයි. දැන් මේ කෙනෙකුට වුනත් සමහර වෙලාවට තමන් බොහොම කැමති දෙයක් හීනෙන් පේනවා වගේ පේනව නේ. යම්කිසි දෙයකට හුඟක් ආසාව තියෙනවා නම් ඒකයි හිතට වැටහෙන්නේ. ඒ වගේ දැන් මේ මසුරන් මල්ලට තිබෙන ආශාව නිසා බුදුපියාණන් වහන්සේ ඉදිරිපිට ඉඳගෙන බණ අහනකොට මේ ළමයට හැම බණ පදයක්ම පේන්නේ මසුරන් මල්ලක් හැටියට. ඉතින් ඒ පළවෙනි මසුරන් මල්ල අල්ලගන්න උත්සාහ කරනවා. ඒ එක්කම එක කොහොම හරි ඉස්සලා යනවා. ඊලඟ එක අල්ලනවා. ‘ආ, ඒක බැරිවුනා’, ඊළඟ එක අල්ලනවා. ඔහොම ඔහොම හිතාගෙන මේ ළමයා බණ පදයෙන් පදයට බුදුපියාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ඇහුම් කන් දෙනවා. ඒ අවස්ථාවේ ඒ ළමයට හිතෙන්න ඇති ටික දුරක් යනකොට, මේ එක එක මසුරන් මල්ල ලිස්සලා යනකොට “මේ එකක් වත් අල්ලගන්න බෑ නේ. මේ ඔක්කොම යනවා. මෙතන ඔක්කොම අනිත්‍යයයි. එකක්වත් අල්ලගන්න බෑ. එනවා-යනවා. බණ පදයක් අල්ලගන්න සූදානම් වෙන එක විතරයි මෙතන තියෙන්නෙ”.

එතකොට දැන් මේ පින්වතුන්ට ඉඳහිටලා ඔය දකින්න ලැබෙනවා මළ ගෙවල් ඉස්සරහ පාරෙ එහෙම සමහර විට සුදු රෙදිවල ගහලා තියෙනවා ‘සබ්බේ සංඛාරා අනිච්චා’. කියලා. ඔහොම බණ පදයක් ලියලා තියෙනවා. මොකද්ද මේකෙ අදහස? ‘සබ්බේ සංඛාරා අනිච්චා’- ‘හැම සංස්කාරම අනිත්‍යයි’, ‘අනිච්චා වත සංඛාරා’, ‘සංස්කාර කියන ජාතිය ඒකාන්තයෙන් අනිත්‍යයයි’, මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? අපට තේරෙන වචනයෙන් ගත්තොත්, සූදානම් වීම්, අර ඇඳීම, එහෙම නැත්නම් සකස්වීම. දැන් ‘සූදානම් වීම’ ගැන අපි හිතමු. කෙනෙක් මැරුණට පස්සේ එතන ඒ ‘අනිච්ඡා වත සංඛාරා’ කියන එක අපට තේරෙන විදියට කල්පනා කරලා ගත්තොත්, මේ මනුෂ්‍යයා ජීවත් වතාවක් මොකක් කළේ මොකක්ද? හැම වැඩක්ම කළේ සූදානම්වීම් ගොඩක් හැටියට. මේ තැනැත්තා මුළු ජීවිතය කියලා කළේ සූදානම් වීම් අර ඇඳීම් ගොඩක්. පින් පව් කියලා දෙයක් කලා නම්, තමන්ගේ කයින් වචනයෙන් සිතින් යම් යම් දේවල් කළා නම්, ඒ හැම එකක්ම - එක අතකින් බලනකොට - සූදානම් වීම්, අර ඇඳීම් රාශියක්. ජීවිතේ ගැන කල්පනා කරනකොට දැන් උදේ ඉඳලා රෑ වෙනකල් කරන කටයුතු හැම එකක්ම බැලුවම හැම එකක්ම සූදානම් වීම් ගොඩක් විතරයි. ගමනක් යන්න සූදානම් වෙනවා වගේ. වෙන එකක් තියා මේ ආශ්වාස ප්‍රශ්වාස කියන හුස්ම ගැනීම පවා, මේ ඔක්කොම සූදානම් වීම් ගොඩක්. එතකොට අර මරණයට පත්වුන මනුෂ්‍යයා මුළු ජීවිතයටම කළ - නොවරදවා කළ - එකම වැඩේ තමයි හුස්ම ගැනීම. මේ හුස්ම ගැනීමත් කෙළවර වුණාම ඔන්න මේ තැනැත්තා ජීවත්වීමට කළ සූදානම් වීම් අර ඇඳීම් ඔක්කොම එතනින් කෙළවර වෙනවා. ඒවා අනිත්‍යයි, නිත්‍ය තත්වයක් නෑ. හැම එකක් පිළිබඳවම එහෙමයි.

ඉතින් මේ ළමයා පිළිබඳව කල්පනා කරලා බලනවා නම්, මේ ළමයා අර බණ පදයක් අල්ල ගන්නයි බලාපොරොත්තු වුනේ. පස්සෙ බලනකොට මෙතන තියෙන්නේ බණ පදය අල්ල ගන්න සූදානම් වීම පමණයි. සූදානම් වෙනවා, ඒක හරියන්නේ නෑ. ඊළඟ එක බලනවා. එතනත් සූදානමක්. ඔය විදියට මේ ළමයට තේරෙන්න ඇති. මෙන්න මේ තමයි ‘සංස්කාර’ කියලා කියන්නේ. මෙතන තියෙන්නේ සූදානම් වීම් ගොඩක් විතරයි. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ සූදානම් වීම්, සකස්වීම්, මේ ඔක්කොම අනිත්‍යයයි. මොකද එක බණ පදයක්වත් අල්ල ගන්න බෑ. ඒක ලිස්සලා යනවා. මේ බුදු පියාණන් වහන්සේ යෙදුව එකතරා උපායක් නිසයි. මෙයින් එතකොට තමාගේ හිත දිහා බලනවා මේ ළමයා. මේ හිත ඇතුළේ මොකක්ද වෙන්නෙ? හිත ඇතුළේ බොහොම වේගයෙන් මසුරන් මලු පහළ වෙනවා. මසුරන් මලු වගේ සිතුවිලි. ඒ විදියට මසුරන් මල්ල එනවා, යනවා. ඇතිවෙනවා - නැතිවෙනවා. අනිත්‍යතාව කියන එක ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන තියෙන්නේ ඇතිවීමයි, නැතිවීමයි. එනවා - යනවා. මෙන්න මේ තත්ත්වය දකිනකොට මේ ළමයට තේරෙන්න ඇති මේවා සංස්කාර - මේ හැම එකක්ම සූදානම් වීම්, අර ඇඳීම් ගොඩක් විතරයි. එනවා, යනවා, එනවා යනවා. ඉතින් ඊළඟට මේ විදිහට එන යන ස්වභාවය ඇති සංස්කාර අල්ල ගන්න දරණ උත්සාහය තමයි අර බණ පදය අල්ලගන්න දරණ උත්සාහය.

ටික වෙලාවක් යනකොට මේ ළමයට මේකෙ වෙහෙසක් දැනෙන්න ඇති .මේ කරන උත්සාහය නිෂ්ඵල වෙනවා. එකක්වත් හරියන්නේ නෑ. එතකොට ඔන්න ටික වෙලාවක් යනකොට මේක එපා වෙන තරමට, මේ මසුරන් මල්ල පිළිබඳ අදහස නැතිවෙන තරමට, මේක මහ කරදරයක් හැටියට පෙනුණා. හැම බණ පදයක්ම ‘අල්ලගන්න’ බලනවා ,හැබැයි අහුවෙන්නේ නෑ. ඉතින් ඔහොම යනකොට, මේ ළමයට තේරෙන්න ඇති අර පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙවැනි ලක්ෂණය : මේ හැම එකක්ම දුකක්. මේ සංස්කාර හැම එකක්ම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකයි. ‘යදනිච්චං තං දුක්ඛං’ - යමක් අනිත්‍ය නම් එය දුකයි කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට තවත් එකක් බුදුපියාණන් ප්‍රකාශ කළා ‘යං දුක්ඛං තදනත්තා’ - යමක් දුක් සහගත නම් ඒක මමය, මගේය කියල ගන්න බෑ. ඒ ටිකත් සමහරවිට මේ ළමයට තේරෙන්න ඇති. දැන් අර කහවනු මලු - මසුරන් මලු - වගේ හිත් පහළ වෙලා ඒවා ලිස්සලා යනවා. එකත් වත් රැඳෙන්නෙ නෑ. ඒ එකක්වත් නොරඳන බව, ඒකත්වත් හරයක් අරටුවක් නැති බව තමයි අනාත්ම කියල කියන්නේ. මමය මගේය කියලා ගන්න - ‘අල්ල ගන්න’ - දෙයක් නෑ. අරටුවක් නෑ.ඔක්කොම සිතුවිලි පහළ වෙනවා, ගසාගෙන යනවා. මේ සිතුවිලිවල ස්වභාවය ගැඹුරින් කල්පනා වෙනවා ඊළඟට මේ ළමයට. මේ මෙතන තියෙන්නෙ එහෙම පිටින්ම සිතුවිලි ගොඩක්. පහළ වෙනවා - නැති වෙලා යනවා. අරටුවක් නෑ. මමය, මගේය කියලා අල්ලගන්න දෙයක් මෙතන නෑ, අහුවෙන්න දෙයක් නෑ.

ඉතින් බුදුපියාණන් වහන්සේ මේ ‘සංස්කාර’ කියලා වචනයට දීලා තිබෙන උපමාව බොහොම පුදුම උපමාවක්. මේක අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා : ‘සංඛාරා කදලූපමා’ කියලා. මේ සංස්කාර කියල කියන දේ හරියට කෙහෙල් කඳක් වගේ, කියලා. කෙහෙල් කඳ කියන එක මේ පින්වතුන් කවුරුත් දන්නවා. දැන් බුදු පියාණන් වහන්සේ හොඳ කථාන්තරයක් වගේ ඒක පෙන්වනවා. ඔන්න යම්කිසි කෙනෙක් ඉන්නවා කවදාවත් කෙහෙල් ගහක් දැකල නෑ. ඒ තැනැත්තා කැලේකට ගියාම කෙසෙල් ගහක් දකිනවා පළමුවෙනි වරට. ඒක බැලුවාම බොහොම කෙලින් මේ කෙසෙල් කඳ. හිතා ගන්නවා මේකෙ අරටුවක් තියනවා කියල. මේක උඩිනුයි යටිනුයි කපලා කරගහගෙන එනවා ගෙදරට, මොකද, අල්මාරියක් හරි පුටුවක් හරි හදාගන්න පුළුවන්නේ මේකේ අරටුවෙන් කියලා. මෙහෙම අරගෙන ඇවිල්ලා මේ කෙසෙල් කඳ - මේ බුදුපියාණන් වහන්සෙ මේ කථාව දෙන්නේ අපි නෙවෙයි, අපි මේක තව ටිකක් තේරුං කරන්නයි අනිකුත් විස්තර දෙන්නෙ, නමුත් උපමාව බුදුපියාණන් වහන්සේ දෙන්නේ - මේ ගෙනාපු කෙසෙල් කඳේ ඉස්සෙල්ලාම පතුරක් ගලවනවා, බලාපොරොත්තු වෙනවා අරටුවක් තියෙයි කියලා. ඊළඟට බලනකොට තවත් පතුරක් තියෙනවා. තවත් පතුරක් තියෙනවා. එකින් එක පතුරු ගලවනවා. අන්තිමට කෙහෙල් බඩේට ඇවිල්ලා. එතන තිබෙන්නේ පතුරු ගොඩක්. ඒ විදියට බලන කොට කෙහෙල් ගහේ කොහෙත්ම අරටුවක් නැති බව අර තැනැත්තා තමන්ම වටහා ගන්නවා පළමුවෙනි වරට.

ඔන්න ඔය විදියේ උපමාවක් බුදුපියාණන් වහන්සේ දෙන්නේ ඔය ‘සංස්කාර’ කියන වචනයට. අපි දැන් මේක තේරුම් කරගන්න පුළුවන් ආකාරයට සිංහල වචනයක් මේ විදියට කිව්වා - ‘සූදානම් වීමක්’, ‘අර ඇඳීමක්’, ‘සකස් වීමක්’ කියන එක. එතකොට මේ මුළු ජීවිතය තුලම කරන දේවල් ගැන කල්පනා කරලා බලන කොට,හැම එකකම ඔන්න ඔය විදියේ ස්වභාවයක් තියෙනවා, එකක් තව එකක් සඳහා, එකක් තව එකක් සඳහා, ඒ එක-එකක් බලාගෙන යනකොට එකකවත් අරටුවක් නෑ. ඒ ඔක්කොම අනිත්‍යයයි. ඒ අනිත්‍ය ස්වභාවය නිසාම - දැන් ඔය කුඩා දරුවකුගෙ ජීවිතයෙ ප්‍රර්ථනා, බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වුනා හෝ නොවුනා හෝ තව ටික දවසකින් තරුණයෙක් වෙනවා. තරුණයාගෙත් යම් යම් බලාපොරොත්තු - ඒවා ඉෂ්ට වෙන්නත් කලින්, ඒවා එක්කො, විනාශ වෙලා ගිහිල්ලා ඊළඟට දන්නෙම නැතුව මහලු වයස එනවා. මහලු කෙනාගත් යම් යම් බලාපොරොත්තු තියෙනවා. ඒවා ඉෂ්ට කර ගන්නත් කලින්, සමහර විට, මරණයට පත් වෙනවා. ඔය විදියට මුළු ජීවිතයෙම තියෙන්නේ සූදානම් වීම්, අර ඇඳීම් ගොඩක්.

ඔන්න ඔය විදියට මෙතන අරටුවක් නැති බව, අරටුවක් නැති බව, තමන්ගේ වශයෙහි - තමන්ගේ යටතෙහි - පවත්වා ගන්න බැරි බව, අර කාල කියන දරුවාටත් තේරෙන්නට ඇති. අර තමන්ගේ කර්මස්ථානෙ - භාවනා මාතෘකාව - ඔස්සේ. මොකක්ද භාවනාව? මේ මසුරන් මල්ල. මසුරන් මල්ල තුළින්ම මේ දරුවට තේරෙන්න ඇති “දැන් ඉතින් මේ වගේම තමයි අනිත් දේවලුත්” කියලා. මේ ශාසනයේ අවුරුදු හතේ දරුවන් රහත් වුනා කියලා තියෙනවා. පොතක් පතක් කියවල වත් වෙන ලොකු පණ්ඩිත කමක් උපාධියක් ඇතිව නොවෙයි. මොකද්ද සිද්ධ වෙන්නේ. අර හිත ඇතුළේ වෙන වෙනස. මේ දරුවා කල්පනා කරලා බලනවා. පුණ්‍ය ශක්තියක් තිබෙනව නම් අර පොඩි සිද්ධියක් ආශ්‍රයෙන් ගැඹුරු ධර්මයක් අවබෝධ කරනවා. මේ කාලටත් සිද්ධ වෙන්න ඇත්තේ එහෙම එකක්. මේ මසුරන් මල්ල පිළිබඳ භාවනාව තුළින්, බුදුපියාණන් වහන්සෙ බණ දේශනා කරන ඒ ක්‍රමය, ඒ ආකාරය නිසා, මේ දරුවාට ටිකෙන් ටික අර මසුරන් මල්ල තුළින් භාවනාවට අදාල වෙන කාරණා මතුවෙන්ට ඇති.

මේ ධර්මය භාවනානුයෝගීන් පිළිබඳව කියවෙන කාරණයක් තමයි, මේ සංස්කාර කියන දේවල් මෙනෙහි කරන්න ඕන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, වශයෙන්. මේ සංස්කාර පිළිබඳව ප්‍රකාශ කරන කොට - දැන් මේ හැම එකකටම අපි නොයෙකුත් නම් දීලා තිබුනට මොකද, භාවනානුයෝගියා ඒවා ගැන කල්පනා කරන්නේ නමරූප ධර්ම හැටියට. නාමරූප කිව්වම අපට හිතාගන්න පුළුවන් මෙතන තියෙන්නේ නම්ගොඩක් සහ රූප ගොඩක් විතරයි. අසුවල් අසුවල් දේ කියලා අපි ලෝකයේ නම් තබාගෙන තිබුනට මොකද, මේවා ඇතුළතින් බලනකොට, හිතට වැටහෙන ආකාරයට අනුව බලනකොට, මෙතන තියෙන ධර්ම බුදුපියාණන් වහන්සේ මේ විදියටයි දක්වලා තියෙන්නේ. මෙතන තියෙන්නේ - වේදනාවක් තියෙනවා - ‘වේදනා’ කියලා දෙයක් තියෙනවා, සංඥාවක් තිබෙනවා චේතනාවක් තිබෙනවා, ස්පර්ශයක් තිබෙනවා, මනසිකාර කියලා කියන මෙනෙහි කිරීමක් තිබෙනවා. වේදනා,සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර, මෙන්න මේ ධර්ම පහයි නාම ධර්ම හැටියට හඳුන්වලා තියෙන්නේ. දැන් ලෝකයේ අපි යම් යම් දේවල්වලට ‘මේසය’, ‘පුටුව’ කියලා එහෙම නම් දාලා තියෙනවා.දැන් අර මසුරන් කියලා කියනවා. නමුත් මෙතන මේ මසුරන් නෙවෙයි ඇත්ත වශයෙන්ම හිතට වැටහෙන්නේ මෙච්චරයි, ගැඹුරින් කල්පනා කරලා බලනකොට, අර දරුවාටත් තේරෙන්න ඇති මෙතන මේ ලෝකයේ නමක් දාලා තිබුනට මේවා රත්තරන් කියලා කිව්වට මොකද, මෙතන තිබෙන්නේ, මේ හිත ඇතුළේ මෙන්න මෙච්චරයි. යම් කිසි වේදනාවක් තිබෙනවා. මේක ලබාගන්න තියෙන බලාපොරොත්තුව නිසා සැප වේදනාවක් තියෙනවා. ඒ අනුව ගිහිච්ච යම්කිසි හැඳිනීමක් තියෙනවා. රත්තරන් කියන ජාතිය, මසුරන් කියන ජාතිය බොහොම වටිනා දෙයක් කියලා. ඒවා ලබා ගන්න චේතනාවක් - බලාපොරොත්තුවක් තියෙනවා - ඒ සිතුවිල්ල. අර බණ පදය ඇහෙන කොට හිතේ යම්කිසි ගැටීමක්, ස්පර්ශයක් තිබෙනවා. ඒ ස්පර්ශයට අනුව මෙනෙහි කිරීමක් - හිත ඒ පැත්තට යොමු වීමක් තිබෙනවා. හිත ඇතුලේ සිද්ධ වෙන්නේ ඔය ටික විතරයි. එතකොට බුදුපියාණන් වහන්සේ මෙහෙම බණ කියන අතරේ අර දරුවාට වැටහෙනවා, කියන බණ පදයක් පාසා, “මගේ හිතේ වෙන්නේ නම් මෙච්චරයි. ලැබෙන මසුරමකුත් නෑ. මෙතන වටින දෙයක්, අමුතු දෙයක් නෑ. මෙච්චරයි තියෙන්නේ” කියන හැඟීම එනවා. ඒක තමයි නාම ධර්ම පිළිබඳ අවබෝධය

ඊළඟට රූපධර්ම කියලා කියන්නේ, මෙන්න මේ දැන් ලෝකෙ තිබෙන තාක් දේවල් නොයෙකුත් පාට ගාලා ලස්සන කරල, හැඩරුව ඇතුව තිබුණට මොකද, මේ හැම එකක්ම සකස් වෙලා තිබෙන්නේත්, හැදිලා තිබෙන්නෙත් මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ධර්මයේ හඳුන්වන ධාතු හතරෙන්. පඨවි කියලා කියන්නේ මේ මහ පොළොවේ තියෙන තද ගතිය ඇති ගස් ගල් ආදියේ තිබෙන ඒ මූල ධාතුවයි. ඒ වගේම ආපෝ කියලා කියන්නේ - දැන් මේ අවස්ථාවේ වහිනවා - මේ ආපෝ ධාතුව. මහ මුහුද, ජලාශ වල තියෙන වතුර ආශ්‍රයෙන් අපි ආපෝ ධාතුව හඳුන ගන්නවා. ඒ වගේම තේජෝ ධාතුව - උණුසුම් බව, වායෝ ධාතුව - හුළඟ. ඔය විදියට මෙන්න මේ මහ පොළොවෙන්, ජලයෙන්, ගින්නෙන් හුළඟෙන් සකස් වෙච්ච දේවල් නමයි මේ අපේ ශරීර කුඩුවත් මේ අනිකුත් දේවලුත්. මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ, කහවණු රත්තරන් කියලා කිව්වත්, මේක රත් කරලා ගත්තත්, රත්-රන් වුනත්, අමු-රන් වුනත්, මේ හැම එකකම තියෙන්නේ ඔය කියපු ධාතු හතර විතරයි. හැම දෙයක් පිළිබඳවම ඔය විදියට කල්පනා කරනකොට මෙතන තියෙන්නේ වේදනා ගොඩක්, සංඥා ගොඩක්, චේතනා ගොඩක් - සිතුවිලි බලාපොරොත්තු ගොඩක්, ස්පර්ශයක්, මනසින් මෙනෙහි කිරීමක් කියලා ඒ විදියට හඳුන ගන්නවා. ඊළඟට අනිත් හැම දෙයක්ම ලෝකයේ තියෙන - වටිනා, නොවටිනා - ඒ කතන්දර මොකවත් නෑ, - හැම දෙයක් තුළම තියෙන්නේ මේ ධාතු හතරයි කියන ඔය වැටහීම තුළින් තමයි කෙනෙකුට මේ ධර්මයේ ගැඹුරු තත්ත්ව ලබාගන්නට පුළුවන් වෙන්නෙ. ඒකට කියන්නේ, නාම රූප ධර්මයන් හැටියට මෙනෙහි වෙනවා. සමහර විට කාලටත් අර විදියට අර මසුරන් මල්ල පිළිබඳ ඒ උණුසුම් බලාපොරොත්තු නැති වෙලා, ‘මේක මේ නිෂ්ඵල වැඩක්’ - ඊළඟට බලනකොට මම මොකක්ද මේ කරන්නේ, මම මේ බුදු පියාණන් වහන්සේගේ බණ පදයට ඇහුම් කන් දෙන අතරේ මේවා ගැන මේ මසුරන් මලු ගැන හිත හිතා ඉන්නවා”. ඔන්න ඊළඟට ටික ටික මේ කාලට, අර මසුරන් පිලිබඳ ආසාව නැති වුනා. මේවා ගැන කලකිරීමක් ඇති වුනා. ඇත්ත වශයෙන්ම මේ ලෝකෝත්තර තත්ත්ව ලබාගන්න උපකාර වෙනවා සසර ගැන කලකිරීම. මේ උතුම් තත්ත්ව ලබාගත් සමහරුන් ගැන කියවෙනවා ධර්මයේ - ඔය පටාචාරා, කිසාගෝතමී ආදීන් ගැන එහෙම - තමන්ගේ ජීවිතයේ යම් කිසි භයානක විදියේ විපත්තියක් සිදු වුනාම, ඔන්න කල්පනා කරනවා, ‘මේ ලෝකයේ තත්ත්වය මෙකයි’ කියලා. අන්න ඒ වගේ දැන් මෙතන කාලටත් මේ කාරණය නිසා තේරුණා මේවා නිශ්ඵල වැඩ. මේ අනිත්‍යතාව, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳ ආසායන්ව අතහැරියා

ඒ ආසාව අත්හරින කොට ඔන්න ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණ පදය අහුවෙන්න පටන් ගත්තා. පින්වතුනි, මේ බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මහා ප්‍රාතිහාර්යයක්, මහා පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා, අතහරින්න අතහරින්න අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න - මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න - ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා. එතකොට මෙයින් අපට හිතාගන්න පුළුවන් මේ මුළු මහත් ධර්මයම තේරුම් ගන්න උපකාර වෙන්නේ අතහැරීමයි. ඔය දන් දීම, සිල් රැකීම ආදී හැම දෙකින්ම කරන්නේ අතහැරීමයි. අතහරින්න අතහරින්න ඔන්න ධර්මය අහුවෙනවා. ඒක තමයි මේක අන්තිමට, ඔන්න එහෙම හිත අනුමතු වූ ලොකු විපර්යාසයකින් වෙන්ට, කාලට අර විදියේ ලෝකෝත්තර තත්ත්වයක් - සෝවාන් තත්ත්වයක් - ලබා ගන්න දායක වුනා. අනිත් සංසාරය භාවනා කරපු කෙනෙකුට වෙන්වත් පුළුවන්. යම් කිසි අහේතුවක් නිසා මේ ජීවිතයේ මුල් කාලයෙදි අර විදියට ජීවත් වුනත් බුදු පියාණන් වහන්සේගේ උපාය මාර්ගයෙන් මේ දරුවා තුළ අර විදර්ශනා ඥාන මතුවෙලා උතුම් සෝවාන් ඵලය ලබා ගත්තු බව අපට හිතාගන්න පුළුවන්.

දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් බොහොම වටිනා කාරණා කීපයක් මතුකරගන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම අර අනේපිඬු සිටාණන් යෙදූ උපක්‍රමය ගැන හිතලා බලනකොට, ඒක මේ කාලයේ මව් පියවරුන්ටත් හොඳ ආදර්ශයක්. අර විදියට පෝය දවසක තමන්ගේ දරුවා තුරුණුවන්ට ළං කිරීමට එක්තරා උපායක් යෙදුවා. ඇත්ත වශයෙන්ම තමන්ගේ දරුවන්ට දායාදය හැටියට දෙන්න තියෙන්නේ සද්ධා දායාදයයි, ධර්ම දායාදයයි. අන්න ඒ විදියට අනාථ පිණ්ඩික සිටාණන් දරුවාට මුදල් පරදුවට තියලා - මුදල් පිළිබඳ පොරොන්දුවක් දීලා හරි තුරුණුවන්ට ළංකරන්නට උත්සාහයක් යෙදුවා. ඒකත් හොඳ ආදර්ශයක්.

ඒ වගේම තමයි අපට අර ජීවිතවලට ගන්ට පුළුවන් ආදර්ශයකුත් මෙතන තියෙනවා. මොකක්ද? දැන් අර අපට ඉදිරිපත්වෙන ජීවන ගැටළු තුළින්ම පුළුවන් අපට නිවන මතුකර ගන්න. - කාලගේ ජීවිතේ ඉදිරියේ තිබූ ගැටලුව - තමයි අර බණ පදයක් ඔහොම හරි අල්ලගෙන ගිහිල්ලා මසුරන් ටික ලබාගන්න එක. ඒ ගැටළුව තුළින් අර දරුවා නිවන මතුකරගත්තා. ඒක කරගන්න නම් යම් කිසි පරිවර්තනයක් සිද්ධ වෙන්ට ඕන හිත ඇතුළෙ. ජීවන ගැටලු කියන ජාතිය හැමෝටම - හැමකෙනාටම - තිබෙනවා. නොයෙකුත් විපත්තිවලට, ආපදාවලට මුහුණ දෙනවා. නමුත් ඒවා ආශ්‍රයෙන් අර උතුම් තත්ත්ව ලබාගන්ට මේ ලෝකයා දන්නේ නෑ. . අන්න ඒ සඳහා සිදුවෙන්න ඕන යම්කිසි විශේෂ පරිවර්තනයක්. පළමුවෙන්ම, අපි ලෝකය දිහා බලන ආකාරය පිළිබඳව වෙනසක් සිද්ධ වෙන්න ඕන. ඒකට ආකල්පය කියලා කියනවා. ඒ බලන ආකාරය බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා. සාමාන්‍ය ලෝකයා ලෝකය දිහා බලන ආකාරය කොහොමද? ‘අනිච්ඡේ නිච්ච සඤ්ඤා’ - අනිත්‍ය දේ නිත්‍ය හැටියට සළකන ස්වභාවයක්, අනිත්‍ය දේ නිත්‍ය හැටියට හඳුනාගැනීමක්, ලෝකයේ තිබෙනවා. ඒ වගේම, ‘දුක්ඛේ සුඛසඤ්ඤා’ - දුක් සහිත දේ සැපය කියලා හිතන - එහෙම වටහා ගැනීමක්, එහෙම හැඟීමක් ලෝකයේ තිබෙනවා. ‘අසුභේ සුභසංඥා’ - ඒ කියන්නේ ලස්සන හැටියට ගත හැකි - එහෙම නැත්නම් හොඳ හැටියට, පිරිසිදු හැටියට ගත හැකි දෙයක් නැතත් ඒවා හොඳ හැටියට පෙනෙනවා. ඒවගේම ‘අනත්තේ අත්තසංඥා’ - ආත්මය, මමය, මගේය කියලා ගත නොහැකි දේ පවා “මමය, මගේය” කියලා ගන්නවා . ඔන්න ඔය විධියේ වැරදි වැටහීම් හතරක් ලෝකයේ තිබෙනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවාට කියන්නේ ‘විපල්ලාස ධර්ම’ කියලා, විපරීත අදහස්. විපරීත අදහස් කියලා කියන්නේ හරියට උඩු යටිකුරු කරලා ගත්තහම වගේ එහෙම පිටින්ම වැරදි අදහස්. එතකොට ඒ වෙනුවට බෞද්ධයන් විසින් කළ යුත්තේ හැම අවස්ථාවකම අර හරි ආකල්පය ඇති කරගන්න උත්සාහවත් වීමයි. කොහොමද ඒ හරි ආකාරය? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අසුභ දේ අසුභ හැටියට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. අනාත්ම දේ - මමය මගේය කියලා ගත නොහැකි දේ - මගේ නොවන බව හිතන විදියට ඒ හිත පුරුදු කර ගන්න ඕන

දැන්, ඒකම තමයි අර ළමයා තුළ සිද්ධ වුනේ. බණ අහන අතරේ ඉස්සෙල්ලා හිතා ගත්තා මේක මේක නිත්‍ය දෙයක්, සැප දෙයක්, ඔය විදියට හිතාගෙනයි මේ මසුරන් මල්ල පිළිබඳ ලොකු ආසාවකින්, ප්‍රාර්ථනාවකින්, බණ අහන්න පටන් ගත්තෙ. නමුත් පහුවෙලා, බුදුපියාණන් වහන්සේගේ උපාය මාර්ගය නිසා, ටිකෙන් ටික අර අවබෝධය ආවා. මෙතන ගන්න දෙයක් නෑ. මේක අනිත්‍යයි, දුක් සහිත දෙයක්, සුභ දෙයක් නෑ. මෙතන මගේයි කියලා ගන්න දෙයක් නෑ, කියලා අන්න අර ලෝකය දිහා බලන ආකාරය පිළිබඳ වෙනසක් සිද්ද වුනා. ඊළඟට ඒ වගේම දෙයක් තමයි - අපේ මේ ජීවිත ගැටළු තුළින් ධර්මය මතුකර ගැනීමට නම් - මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. අපි මේ හැම දෙයක්ම පිළිබඳව හිත යොදලා ඒ ගැන අවබෝධයක් ලබාගන්නට උත්සාහ කරනවා - මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීමත් ලෝකයේ වැරදි ආකාරයටයි බොහෝවිට කෙරෙන්නේ. බුදුපියාණන් වහන්සේ ඒක හඳුන්වන්නේ අයෝනිසෝමනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරය කියන එක අපි සාමාන්‍ය තේරෙන සිංහල වචනයෙන් ගත්තොත්, අනිසි මෙනෙහි කිරීම, ‘අනිසි’ - එහෙම නැත්නම් ‘නොනිසි’ නියම ආකාරයෙන් නොවන විදිහට මෙනෙහි කරනවා. ඒකට නිදර්ශනය තමයි, දැන් මෙතන අර ළමයා බුදුපියාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඉස්සෙල්ලා බණ පදයක් මෙනෙහි කරන්නට පටන් ගත්තේ මසුරං මල්ල හිතේ තියාගෙන. හිත යට - හිතේ පිටිපස්සෙන් - තියෙන්නෙ මසුරන් මල්ල පිළිබඳ අදහස. මේ විදියට මසුරන් මල්ල ලබාගැනීමේ අදහසින් බණපදය මෙනෙහි කරනකොට හරියට බණපදය අහුවෙන්නෙ නෑ. .ඒක තමයි වැරදි මෙනෙහි කිරීම. ලෝකයේ බොහෝ දෙනෙක් ඒ ඒ දේවල් මෙනෙහි කරනකොට වැරදි ආකාරයටයි මෙනෙහි කරන්නේ. නමුත් නිසි ආකාර මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. මේ හැම එකක්ම ඇතුළතින්ම පැන නගින දේවල් කියල හිතාගෙන, මෙතන තියෙන්නේ වින්දන විඳීම් ගොඩක්, හැඳිනීම් ගොඩක්, බලාපොරොත්තු ගොඩක්, ගැටීම් ගොඩක්, මෙනෙහි කිරීම් ගොඩක් කියලා - ඒ විදියට මෙතන තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියලා කියන මේ ධාතු හතර විතරයි. ඔය විදිහට මේවායේ යථා තත්ත්වය, ඇත්ත ඇති සැටියට මෙනෙහි කිරීම. ඒක තමයි දියුණු කරගන්ට ඕනෙ. ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගත්තු මේ මෙනෙහි කිරීම උපකාර වෙනවා අර නිවන් දැකීමට. අපේ වැරදි මෙනෙහි කිරීම අත්හැරලා හරියාකාරයට මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. .

ඒ වගේම තවත් එකක් තියෙනවා - මේ මෙනෙහි කිරීමටම සම්බන්ධ දෙයක්. සාමාන්‍යයෙන් ලෝකයා යම් යම් දේවල් ගැන මෙනෙහි කරන අවස්ථාවේ ඒවා දැඩිව අල්ල ගන්න උත්සාහ කරනවා - ඒකට කියනවා පරාමර්ශනය කියලා. බුද්ධ කාලයෙත් සිටියා සමහර අය - ගවයන් හැටියට ජීවත්වීමෙන්, ඒ විදියට සිල් රැකීමෙන්, නිවන් දකින්ට පුළුවන්, එහෙම නැත්නම් සසරින් මිදෙන්නට පුළුවන් කියලා විශ්වාස කළ කට්ටියක් හිටියා. ඒකට කියනවා පරාමර්ශනය කියලා. නමුත් මේ ධර්මයේ නියම ආකාරයෙන්ම යම් යම් දේවල්වලට හිත යොදන ආකාරය දක්වලා තියෙන්නේ සම්මර්ශනය කියලා. භාවනාවේදී ඒ මෙනෙහි කිරීම කරන්නේ හිතෙන් - අර ‘අත ගෑම’ වගේ ‘හිත ගෑම’ විතරයි. මේකටත් අපි තේරුම් කරගන්න අර කෙසෙල් කඳ පිළිබඳ උපමාවට යමු. අර කලින් කියපු පුද්ගලයා - පළවෙනි වරට කෙසෙල් කඳ දැකපු පුද්ගලයා - කෙහෙල් ගහ කරගහගෙන, ඒක බදාගෙන ගියේ ‘මෙකේ අරටුවක් තියෙනවා’ කියලා හිතාගෙන. මෙන්න මේ විදියට බදාගැනීම, අල්ල ගැනීම, තමයි පරාමර්ශනය කියලා කියන්නේ. ඒ විදියට කරලා කවදාවත් නිවන දකින්න බෑ. මේ දුකින් නිදහස් වෙන්ට බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? අන්න අර කෙහෙල් කඳ එක පතුරක් ගැලෙව්වට පස්සේ ඊළඟට සියුම්ව අත ගාලා බලනකොටයි ඊළඟ පතුරක් තියෙන බව අහුවෙන්නේ. එක පතුරක් අල්ලලා ඊළඟට හෙමිහිට අතගාලා බලනවා. අන්න ඒ පතුර ඉවර වෙනකොට තව පතුරක්, ඒක යට තව පතුරක්. ඔන්න ඔය විදියට සියුම්ව අත ගාලා බලනවා. මේක සම්මර්ෂණයක්. මේ අතගෑම නොවෙයි, ඇත්ත වශයෙන්ම භාවනානුයෝගියා කරන්නේ හිත ගෑම, හිතෙන් ස්පර්ශ කරනවා. රන් රිදී, මුතු මැණික්, ගස් ගල්, ඇඳ පුටු, මේස ආදී දේවල් මේ හැම එකක්ම පිළිබඳවම පළමුවෙන්ම වැටහීම එන්නේ අර ලෝකයේ ඒවාට දාපු නම් ආකාරය අනුව, ඒවාට දීපු වටිනාකම් අනුව. ‘බොහොම වටින දෙයක් හැම ගෙදරකම තිබිය යුතු දෙයක්’. මේ විදියට ආශාව, ලෝකයේ වැඩෙන හැටියටයි කෙනෙක් හිතින් අල්ලගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කරලා බලනකොට, මෙතන මොකක්ද තියෙන්නේ? මෙතන මේ හිස් දෙයක්, බොල් දෙයක් කියලයි වැටහීම එන්නේ. හිත ඇතුළෙන් නැති කරගත්තු දෙයක් පමණයි. හිතෙන් බදාගත්තු දෙයක් පමණයි කියන අවබෝධ එනවා, අන්තිමට. අර කෙසෙල්කඳ හෙමිහිට අතගාලා බලනකොට පතුරෙන් පතුර ගිහිල්ලා අන්තිමට අරටුවක් නැති බව තේරෙනවා වගේ මෙතන තියෙන්නේ සිතුවිලි ගොඩක් විතරයි සිතුවිලි ගොඩක්. මමය මාගේය කියලා ගන්න දෙයක් නෑ. සිතිවිලි රාශියක් ඇති වෙනවා නැතිවෙනවා.

අන්න ඒ විදියට හිතනකොට, කල්පනා කරන කොට තමයි, අර ධර්මය ගැඹුරින්ම අවබෝධ වෙන්නේ. චතුරාර්ය සත්‍යය කියලා ඒ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශකරලා තියෙනවා - මුළු මහත් සංසාරික පැවැත්ම, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, කියලා කියන මේ පංචස්කන්ධයම අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි. මේ හැම එකක්ම දුක් සහගතයි. දුක්ඛ සත්‍යය. ලෝකයේ දුක පිළිබඳ සත්‍යය. මේ දුක ඇති වෙන්නේ ලෝකයාට මේ පිළිබඳව ඇති තණ්හාව නිසයි. අර දරුවාට අර මසුරන් මල්ල පිළිබඳ තණ්හාව නිසයි මේ තරම් දුකක් ඇති වුනේ, අර බණ පදය අහන්න ගිහිල්ලා. අන්න එතකොට ඒ දුක පිළිබඳ අවබෝධය ඇතිවුනා. ඒ දුක යට තියෙන්නේ තණ්හාවයි. මේ තණ්හාව නැතිවුනු අවස්ථාව, සංසිඳුණු අවස්ථාව තමයි නිවන කියලා කියන්නේ. අර දරුවට මසුරන් මල්ල පිලිබඳ ආසාව අත්හැරිලා ඊළඟට ධර්මය වැටහෙන්න පටන් ගන්න කොට ඔන්න නිවන අවබෝධ වුනා. ඒකට උපකාර වන ටික තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ හරිදැක්ම, හරිදැක්ම අනුව ගිය හරි සිතුම් පැතුම්, හරි සිතුම් පැතුම් අනුව ගිය හරි ක්‍රියා මාර්ග, හරි ක්‍රියා මාර්ග අනුව ගිය හරි දිවි පැවැත්ම, හරි දිවි පැවැත්ම අනුව ගිය හරි වීර්ය කිරීම - වෑයම් කිරීම - සිත පිරිසිදු කිරීමට දරණ වැයම, ඒක තුළින් ඇති වන හරි සිහි කිරීම - සතිය කියලා කියන , ඒ සතිය ඇසුරෙන් ඇති වන සම්‍යක් සමාධිය, හරි සිතේ එකඟ බව - තැන්පත් බව. ඔන්න ඔය විදියට අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ අර හතරවන සත්‍යය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි, ලොකු හෝ වේවා, කුඩා හෝ වේවා, අවුරුදු හතක දරුවෙක් හෝ වේවා, අවුරුදු හැට හැත්තෑවක කෙනෙක් හෝ වේවා, ඕනෑම කෙනෙක් මාර්ගඵල ලබන්නේ. ඔන්න ඔය විදියේ ගැඹුරු ධර්ම ගැඹුරින් වටහා ගැනීමෙන්. මේ වචනවලින් කියන එකක් නෙවෙයි මෙතන අතුළතින්ම වටහා ගන්න ධර්මයක්. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ ධර්මයෙන් ජීවිතයට ගත හැකි ප්‍රයෝජන ගැන, ඒවා හරියට තේරුම් ගත්තා නම්, යමෙකුට තමන්ගේ ජීවිත ගැටළු තුළින්ම එදිනෙදා ජීවිතයේදීම ඒවා හැම එකක්ම භාවනා මනසිකාරයට නඟලා තමාගේ නිවනට උපකාර වන ගුණධර්ම රාශියක් - භාවනාමය කුශල ධම් රාශියක් - චිත්ත සන්තානයට ඇතුළත් කරගන්ට පුළුවන් වෙනවා. එතකොට මේ කාල නැමැති කුඩා දරුවා පිළිබඳ ධර්ම කථාවෙන් ආදර්ශ හැටියට ගන්න තියෙන්නේ මෙකයි.

මේ ලෝකයේ කොතෙකුත් දේ කළු හැටියට පෙනුනට මොකද මේවා සුදු කරගන්න පුළුවන් මේ ධර්මයේ අර වැරදි අවබෝධය අත්හැරලා, අයෝනිසෝ මනසිකාරය කියල කියන වැරදි මෙනෙහි කිරීම අත්හැරලා හරි අවබෝධය පැත්තට - යෝනිසෝ මනසිකාරය කියලා කියන හරි මෙනෙහි කිරීමට පුරුදු වෙනවා නම්. වැරදි විදියට ලෝකය දිහා බලන ඒ ආකල්පය අතහැරලා, හරි ආකාරයට ලෝකය දිහා බලන්න පුරුදු වෙනවනම් ආන්න ඒ තැනැත්තාට පුළුවන් මේ ජීවිතයේදී සමහර විට තම තමන්ගේ වැඩ කටයුතු මධ්‍යයේම, ඒවා තුළින්ම කමටහන් මතු කරගෙන ඒ මාර්ගඵල අවබෝධය ලබා ගන්න. බුද්ධ කාලයේත් නොයෙකුත් ඔය කථාන්තරවල සඳහන් වෙනවා, තෙර තෙරණියන්, සංඝයා වහන්සේලා සමහර අය පහනක් නිවෙනවා දැකලා - නිදාගන්න ගිහිල්ලා පහනක දැල්ල අඩු කරලා නිවන්න හදන කොටම රහත් වුනා. සමහර කෙනෙක් ලැව් ගින්නත් දැකලා, සමහර කෙනෙක් වතුරේ පාවෙලා යන පෙණ පිඬක් දැකලා, ඔය නොයෙකුත් දේවල් දැකලා ඒ තුළින් නිවන් අවබෝධ කලයි කියලා කියන්නේ ඔන්න ඔය විදියට. ඒ හැම එකක් තුළින්ම ලෝකය ගැන ගැඹුරු වැටහීමක් ඇති කර ගන්නවා. ලෝකයේ තියෙන එක නිදර්ශනයක් ආශ්‍රය කරගෙන, ඒ විදියටම තමයි අනිත් දේවල් කියලා නුවණින් හිතාගන්න පුළුවන් ශක්තිය ඇතිවුනාම, අන්න ඒ තැනැත්තාට පුළුවන් අර ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය ලබාගන්න. මේ කාලයෙන්, බුද්ධ කාලයේ තිබුන වගේම, සමහර විට ඊටත් වඩා, නොයෙකුත් විදියේ දුක් ගැහැට, විපත්ති ආපද, මේ ලෝකයේ, සමාජයේ, අසන්නට ලැබෙනවා. ඒවා තුලින් පුළුවන් නිවන මතුකර ගන්න.

ඒ වගේම දැන් මේ කාල ගැන ප්‍රකාශ කළ මසුරන් මල්ල - ඒ මසුරන් මල්ල වගේ මේ කාලයේත් මේ පාර තොටේ කොතෙකුත් අසන්නට ලැබෙනවා ‘ජයමලු’ ගැන, ‘වාසනාමලු’ ගැන. මේ ජයමලු, වාසනා මලු බලාපොරොත්තුවෙන් ටිකට් පත් ගන්න අය දහස් ගණන්, ලක්ෂ ගණන් ඇති. ඒ හැමෝටම මේ ජයමලු, වාසනාමලු ඇදෙන්නේ නෑ. ඒවා නොලැබුනාට කමක් නෑ. ඒවා තුළින් අර කාල නමැති දරුවා කළා වගේ - ඒවා තුළින් ධර්මයට ළංවෙන්න උත්සාහ කරන්ට ඕන. මොකද්ද මෙතන තියෙන්නේ? මේ ජය මල්ල, වාසනා මල්ල ලැබුණා හෝ නොලැබුණා හෝ මේ ජීවිතයේ ස්වභාවය මේකයි. මේ හැම දෙයක්ම අනිත්‍යයයි. අනිත්‍ය වූ දේවල් ඔස්සේ මේ කරන උත්සාහ හැම එකක්ම දුක් සහගතයි. මේ විදියට නම් ලෝකයේ සත්‍යය තිබෙන්නේ, මෙතන ‘මමය, මගේය’ කියලා ගන්න දෙයක් නෑ. හරයක්, අරටුවක් නෑ. මේ හැම එකක්ම මරණය අවස්ථාවේදී අත්හැරලා දාන්න සිද්ධ වෙනවා. මමය, මගේය සියලා ගත්තු ඒ සියළු වස්තු සම්භාර, නෑ හිතවතුන්, හැම එකක්ම අතහැරලා යන්න වෙනවා. අන්තිමට අර කොඩියක් දානවා ‘අනිච්චා වත සංඛාරා’ එහෙම නැත්නම් ‘සබ්බේ සංඛාරා අනිච්චා’ කියලා, ඥාතින් එකතුවෙලා. ඒවා දානකොට අර තැනැත්තා මිය ගිහිල්ලා ඉවරයි. ඒ ලෝකෝත්තර තත්ත්ව පිළිබඳව උත්සාහයක් කරන්න කාලයක් නෑ. ඔක්කොම - මුළු මහත් ජීවිතයම - අර ඇදීම් සමූහයක්, සූදානම් වීම් සමූහයක් කියලා අපි කිව්වා. හරියට අර ගමනක් යන්න සූදානම් වෙන සමහරු සමහර වෙලාවට හීනයක් එහෙම දකිනවා. හරියට ලොකු ගමනක් යන්න වන්දනා ගමනක් හරි විනෝද ගමනක් හරි යන්න සූදානම් වෙනවා වගේ. සූදානම් වෙන නමුත් මොකද්දෝ අඩුවක් තියෙනවා. ආයිත් දුවලා ගිහිල්ලා ඒකත් සම්පූර්ණ කරගන්නවා - ඇඳුම් පැළඳුම් පිළිබඳව. එහෙම කර කර ඉන්න අතරේ හදිසියේම ඔන්න ඇහැරෙනවා ගමන යන්නවත් ලැබෙන්නේ නෑ. ඒ වගේ දෙයක් තමයි මුළු මහත් ජීවිතයේම කරන්නේ. කුඩා දරුව ඉඳලා මහල්ලා දක්වාම, මුළුමහත් ජීවිතයම, අර ඇඳීම්, සූදානම් වීම් සමූහයක්. නමුත් මේකේ ඇති දුක් ස්වභාවය තේරෙන්නේ නෑ. හැරියට අර කෙසෙල් කඳ කරගහගෙන ගිය පුද්ගලයා වගේ, එතන තියෙන පතුරුගොඩ පේන්නෙ නෑ. ඒ පතුරු ගොඩ පේන්න තමයි අර භාවනා කරන්නේ. හිත තැන්පත් වෙන්න, තැන්පත් වෙන්න, පේනවා මෙතන තියෙන්නේ හිත තුළින් එන මෙන්න මේ වේදනා, සංඥා, චේතනා ස්පර්ශ, මනසිකාර මේ ධර්ම ටික විතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා ගැන මේ ලෝකේ බාහිර දේත් අපේ ශරීරත් මේ හැම එකක්ම සකස් වෙලා තියෙන ධාතු හතර පමණයි මෙතන තියෙන්නේ. මීට වඩා එහා දෙයක් නෑ. අනන්ත කාලයක් සංසාරේ මේවා ඔස්සෙයි අපි මේ දුවලා තියෙන්නේ මෙතන තියෙන්නේ. දිවිල්ලක් පමණයි, තණ්හාව පමණයි, පිපාසය පමණයි කියන අවබෝධය කෙනෙකුට ඇති වෙනවා.

අන්න ඒ අවබෝධය ඇතිවුන අවස්ථාවේදී තමයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා, දිව්‍යලෝක ගමනටත් වඩා, මුළු ලෝකයේ අධිපතිකමටත් වඩා උතුම් වූ ඒ සෝවාන් තත්වය ලබාගන්ට පුළුවන් වන්නේ. ඒ තත්වය ලබාගත්තා නම් තව හත් සැරයයි නැවත උත්පත්තියක් ලබන්නේ. තමන් ආපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තව දුරටත් දියුණු කරගෙන, තව දුරටත් ගැඹුරට භාවනා කරගෙන ගියා නම්, ඒ තැනැත්තාට පුළුවන් වෙනවා සකදාගාමී කියලා කියන දෙවන මාර්ග ඵලය ලබාගෙන නැවත එක් වරක් පමණක් මේ ලෝකයට ඒම විතරක් ඉතුරු කරලා අනිකුත් සංසාර දුකින් මිදෙන්න. ඊටත් එහාට භාවනාව ගැඹුරට දියුණු කරගෙන ගියොත්, ඒ තමන් කරකැවූ ධර්ම චක්‍රය නැවත වරක් කැරකැවීමෙන් අනාගාමී තත්ත්වයට පැමිණිලා, නැවත මේ ලෝකෙට එන්නේ නැතිව බ්‍රහ්ම ලෝකෙදිම නිවන් දකින්ට පුළුවන් වෙනවා. ඊටත් එහාට තව උත්සාහ කරලා, ගැඹුරින් භාවනා කරලා, කෙනෙකුට පුළුවන් වෙනවා මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැතිකරලා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ආදී මුළු මහත් සංසාර දුඃඛයෙන් අත් මිදී උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට.

එතකොට මේ කාල නමැති සිටු පුත්‍රයාගේ කථාව ආශ්‍රයෙන් අපිට නිවන් මාර්ගයේ සිත පිහිටුවා ගැනීමට පුළුවන් වුනා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ එක බණපදයක පවා ඉතා ගැඹුරට ගියොත් එතන නිවන තිබෙනවා කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ මේ ධම් සාගරයේ එක බිඳක් ගත්තොත්, ඒ හැම එකකම විමුක්ති රසය තිබෙන්නේ, නිවන් රසය තිබෙන්නේ. හැරියට අර මහා සාගරයේ කොතනකින් දිය බිංදුවක් ගත්තත් ලුණු රස තිබෙන්නා වගේ, ධර්ම සාගරයේ යම් කිසි එක සුළු බණ පදයක් ගත්තත් ඒ තුළින් අපට නිවන දක්වාම සිත යොමු කරන්ට පුළුවන්. සංසාරයේ භාවනා අරමුණු දියුණු කළ කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ පවා නිවන් දකින්ට පුළුවන් වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මාර්ගඵල අවබෝධය භාවනා ආසනයේදී පමණක් නොවෙයි, පස් තැනකදීම ලබාගන්න පුළුවන් බව, ඒකට කියනවා ‘විමුක්තායතන’ කියලා. විමුක්තිය කියලා කියන්නේ නිදහස. සංසාරයෙන් නිදහස. ආයතන කියලා කියන්නේ යම් කිසි මධ්‍යස්ථානයක් වගේ ඒ නිදහස ලබන්නට පුළුවන් තැනක්. එහෙම තැන් පහක් දක්වලා තියෙනවා. මොකක්ද ඒ තැන් පහ? කෙනෙකුට පුළුවන් දහම් අසන විට. දැන් මේ කාල නමැති දරුවා ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළින් දහම් අසන විටයි. දහම් අසන විට හොඳට එකට සිත යොමු කරගෙන, ගැඹුරින් මෙනෙහි කරන අවස්ථාව ආවාම අන්න අර ලෝකෝත්තර තත්වය ලබා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් දහම් දෙසන විට - ධම් දේශනා කරන කොටත්, ඒ ධම්යේ හිත පවත්වන අවස්ථාවේදී තමන්ටම - හරියට අර අමුත්තන් එන දවසේ කියවල ආහාර සූදානම් කරහම අමුත්තන්ට පමණක් නෙවෙයි විතර අයටත් පුළුවන් ඒ ආරාධපුරු කරන්න අන්න ඒ වගේ ධර්මය දේශනා කරන අවස්ථාවේ සමහර සංඝයා වහන්සේලා අවබෝධය ලබා ගත්තු බව දක්වලා තියෙනවා. ඒවගේම ධර්මය මෙනෙහි කරන විට පැත්තකට වෙලා ධර්මයේ ගැඹුරු කාරණයක් මෙනෙහි කරන කොට හදිසියේම හරි අවබෝධයක් ගැඹුරු අවබෝධයක් ඇවිල්ලා අර විදියේ මාර්ගඵල අවබෝධයකින් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. තවත් සමහරෙකුට, ධම්ය සජ්ඣායනා කරන විට - ධම්ය සජ්ඣායනා කරන කොට හොඳට සිත යොදගෙන, එතකොටත් අර හිත තැන්පත් වෙලා සමාධිමත් වෙලා, ගැඹුරින් ඒ පිළිබඳව අවබෝධයක් ඇවිල්ලා, සෝවාන් ආදී ඒ ඵල ලබාගන්නට පුළුවන්. රහත් වෙන්නටත් පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් දක්වලා තියෙන්නේ යම් කිසි සමාධි නිමිත්තක් - ඒක තමයි ලෝකයේ සාමාන්‍යයෙන් භාවනාව හැටියට සලකන්නේ – යම් කිසි සමාධි නිමිත්තක් මූල කරගෙන ක්‍රමානුකූලව භාවනා වඩලත් පුළුවන්. ඔය විදියට එදිනෙදා ජීවිතයේදී බණ ඇසීම, බණ දෙසීම්, දහම් මෙනෙහි කිරීම ආදී කටයුතුවල යෙදෙනවා නම් ඒ මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ අනුව අපි එදිනෙදා ජීවිතයේදීත්, තම තමන්ගේ ජීවිත වලටත් මේ ධම්යෙන් ගතහැකි ප්‍රයෝජන මේ කථාන්තරය ආශ්‍රයෙන් ගන්ට උත්සාහවත් වෙන්ට ඕන.

අද එතකොට මේ පින්වත් පිරිස මේ දහම් ශ්‍රවණයෙන් මේ අවස්ථාවේදී විශාල කුසල් රාශියක් සිද්ධ කරගත්තා. ධම් ශ්‍රවණය කියන එක සාමාන්‍ය චාරිත්‍රයක් පමණක් නොවෙයි, නිවනට සිත යොදගෙන ඒ ධම්ය අසනව නම් එක නිවනට උපනිශ්‍රය වෙනවා. අපි මේ මනුෂ්‍යාත්මභාවයක් ලැබුවෙ, ධර්මය ළැදියාවක්, නැඹුරුවක් ඇති වුනේ, දීර්ඝ කාලයක් පුරුදු හැටියට මේවා දියුණු කළ නිසයි. එතකොට සසරට පවා මේ බණ ඇසීම උපකාර වෙනවා. ඒ ඒ අවස්ථාවලදී යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම්, බණ පදයක් තුළින් අර කාල නමැති දරුවා වගේ උතුම් මාර්ග ඵල අවබෝධය ලබාගන්න පුළුවන්. එතකොට, මේ අවස්ථාවේ මේ පින්වතුන් සිල් සමාදන් වෙලා ධම් ශ්‍රවණය කළා. කුසල් වේනතා රාශියක් ඇති කර ගත්තා. පින් රාශියක් සිද්ධ කර ගත්තා - මේ ධම් ශ්‍රවණමය කුසල්, මේ පින්, මේ කුසල් උපනිශ්‍රය ජීවමන් අපට ජීවිතයේදීම සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න.

ඒ වගේම මේ රැස් කර ගත්තු පුණ්‍ය සම්භාරය ශාසනාරක්ෂක දේවතාවුන් ඇතුළු මේ ස්ථානයට අධිගෘහිත යම් දිව්‍ය භූත ආදී සත්ත්ව කොට්ඨාස ඇතොත් ඒ හැම දෙනාටම අනුමෝදන් වී අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අනුමෝදන් කර ගන්න.

ඒ විදියටම තම තමන්ගේ බන්ධු මිත්‍ර ආදී මිය පරලොව පරලෝ ගිය යම් පිරිසක් ඇතොත් ඒ අයත්, අවිචියේ පටන් අකනිටාව දක්වා වූ මේ ලෝක ධාතුවේ යම්තාක් සත්වයින් නිවන් බලාපොරොත්තු වෙනවා නම්, ඒ හැම කෙනෙක්ම මේ උතුම් කුසලය අනුමෝදන් වී ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සංසාර දුකින් අත්මිදී අජරාමර සංඛ්‍යාත උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම ප්‍රාර්ථනා කරගෙන දැන් මේ අවස්ථාවේදී මේ ගථා කියල පින් දෙන්න.

එත්තාවතා ච අම්හේහි…

12 වන දේශනය

අථ පාපානි කම්මානි - කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මෙධො, අග්ගි දඩ්ඪොව තප්පති

බාල වග්ග, ධම්මපද

සැදැහැවත් පින්වතුනි,

කර්ම විපාකවල බැරෑරුම්කම තේරුම් නොගැනීමෙන්, හරියට ඒ පිළිබඳ අවබෝධයක් නැතිකමින්, මේ සංසාරයේ සත්ත්වයින් විපතට පත්වෙන හැටි, දැවීමට තැවීමට පත්වෙන හැටි, බුදුපියාණන් වහන්සේගේ බොහොම අවස්ථාවල සාධක සහිතව දක්වා වදාළා. මේ ශාසනයේ අඥාන පුද්ගලයට යෙදෙන වචනය ‘බාලයා’ කියන එකයි. සාමාන්‍ය ව්‍යවහාරයේ බාලයා කියලා කියන්නේ කුඩා දරුවාට. කුඩා දරුවෙක් නමුත් නොදන්නාකමින් ගිනි දැල්ල අල්ලන්න ගියොත් දැවෙන්න තැවෙන්න සිද්ධවෙනවා. එකට හේතුව මොකද, ගින්නේ ස්වභාවය දවන එකයි. ඒ වගේම කර්ම නියාමතාව කියලා නීතියක් තිබෙනවා. ලෝක සාධාරණ නීතියක්. බුදුවරුන්ට රහතන්වහන්සේලාට පවා සාධාරණ වූ එක්තරා නීතියක් තියෙනවා ස්වභාව ධර්මයේම ,කර්ම නියාමතාව කියලා. ඒ කර්ම නියාමතාව අනුව කවුරුහරි පාප කර්මයක් කළොත්, නොදන්නාකමින් කළා වුණත්, කර්ම විපාක ගැන විශ්වාසයක් නැතිව, ඇදහිල්ලක් නැතිව කළා උනත්, ඒකට බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයට අදාළ නිදාන කථාවත් කර්ම විපාකවල භයානකත්වය හෙළිකරන කථාන්තරයක්.

බුදුපියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කාලයේදී එක දවසක් දා මහ මුගලන් රහතන් වහන්සේ ලක්ඛණ ස්වාමීන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයෙන් බසින අතරේ මුගලන් මහරහතන් වහන්සේ දිවැසින් දුටුවා - විසිපස් යොදුනක් විතර දිග පිඹුරෙකුගේ ස්වරූපය ඇති ප්‍රේතයෙක්. අජකර කියලා ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයාගේ හිසින් ගිනි දැල් නැගිලා ශරීරයේ කොන දක්වා යනවා. ඊලගට ශරීරයේ කෙළවරින් ගිනිදැල් නැගිලා හිස දක්වා යනවා. ශරීරයේ දෙපැත්තෙන් ගිනි දැල් පැන නැගිලා මැදින් බසිනවා. මේ විදියේ දර්ශනයක් දුටුව මුගලන් මහරහතන් වහන්සේ මඳ සිනහවක් පහළ කළා. මේ සිනහව දැකලා අර ලක්ඛණ ස්වාමීන් වහන්සේ අහනවා “මොකද සිනහවුනේ ස්වාමීන් වහන්සේ” කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා, “ඒ ප්‍රශ්නයට පිළිතුරු මම දැන් දෙන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ ඉදිරියෙදී ඒ ප්‍රශ්නය අසන්න” යි කියලා.

ඒ වගේම පසු අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් ඇතුළු පිරි සඟ පිරිස ධර්ම සභා මණ්ඩපයේ වැඩ විසින අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ලක්ඛණ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නය ඇහුවා මුගලන් මහරහතන් වහන්සේගෙන්, මොකද අර හිනාවුනේ කියලා. මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා - මම මෙන්න මෙහෙම දර්ශනයක් දුටුවා. මේ තරම් විශාල ප්‍රේත ශරීරයක් මේ විදියට ගිනිදැල් යනවා. මෙහෙම දැකලා මම කවදාවත් මේ වගේ නම් සත්වයෙක් දුටුවෙ නෑ, කියලා එකේ අද්භූත ස්වභාවය නිසා මට සිනාවක් පහළ උනා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මහණෙනි මගේ ශ්‍රාවකයින් ඇස් ඇතිව, ඥානය ඇතිව, වාසය කරනවා. මමත් ඔය දර්ශනය දුටුවා බෝධි මූලයේදීම. බුද්ධත්වය ලැබූ අවස්ථාවේදීම මම දුටුවා. නමුත් මම ඒක ප්‍රකාශ කළේ නැත්තේ මේ දර්ශනයේ ආශ්චර්යවත් ස්වභාවය නිසා සාමාන්‍ය ජනයා මේ ගැන විශ්වාස නොකර මා ගැන සැක කරලා පව් පුරවාගනීය කියලා. අකුසල් ඇතිකර ගනියි කියලා. ඒ නිසා ‍ප්‍රකාශ කළේ නෑ. දැන් මේ මුගලන් නම මේ කාරණයට මට සාක්ෂිහැටියට සිටින නිසා මම දැන් මෙය ප්‍රකාශ කරනවා. මේ ගැන ප්‍රකාශ කරනවා” කියලා බුදුපියාණන් වහන්සේ වදාළා.

ඒ අවස්ථාවෙ සංඝයා වහන්සේලා ඇසුවා “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ප්‍රේතයා අතීතයේ කළ පාප කර්මය කුමක්ද?” කියලා. බුදුපියාණන් වහන්සේ ඒ අතීත ප්‍රවෘත්තිය ගෙන හැර දැක්වුවා. කාශ්‍යප බුදුරජාණන්වහන්සෙගෙ කාලයේදී සුමංගල කියලා ඉතාමත් ධනවත් සිටුවරයෙක්, ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට ගන්ධකුටියක් - ඒ කියන්නේ විහාරයක් වැඩ වාසය කරන තැනක් - සකස් කිරීමට රන් ගඩොල් බිම අතුරුවල විශාල ප්‍රදේශයක කුටියක් තැනෙව්වා, විශාල වියදමක් කරලා. ඊළඟට ඒ වාගේම ඒ විහාර පූජාව පිළිබඳවත් විශාල වියදමක් කළා. මේ විදියට අර අපේ බුදු රජාණන් වහන්සේට අනේපිඬු සිටාණන් ජේතවනාරාමය තැනෙව්වා වගේ මේ වගේ විහාරයක් තනවලා එක දවසක් දා මේ සිටානන් බුදුපියාණන් වහන්සේ දැකීමට උදෑසන යන අතරෙ නගරයේ දොරටුව අසළ ශාලාවක නිදාගන්න එක්තරා මිනිහෙක් දැක්කා. ඒ මිනිහා සොරෙක්. ඒ සොරා නිදාගෙන හිටියාට මොකද රෑ තිස්සේ ඇවිදලා මට තවරාගෙන තිබුණා පාවල. ඒක දැකලා මේ සිටාණන් ඒ තමන් සමඟ සිටි අයට කිව්ව “මේ මනුස්සයාලා රෑ තිස්සේ ඇවිදලා මේ දැන් දවල් නිදාගන්න කෙනෙක් වෙන්න ඕන” කියලා. නිකමට වගේ ඒ සිටුවරයා ප්‍රකාශ කළා. මේක ඇහුනා අර හොරාට. හොරා ඒ හිස සිට වසාගෙන සිටියෙ කහ පාට වස්ත්‍රයකින්. කහපාට වස්ත්‍රයකින් හිස වසාගෙනයි නිදාගෙන හිටියේ. ඒ වස්ත්‍රය ඉවත් කරලා බලල අර සිටාණන් ඇඳිනගෙන “හොඳයි මම නුඹට කරන දේ දන්නවා” කියලා තද වෛරයක් ක්‍රෝධයක් ඇතිකරගත්තා.

ඊළඟට ඒ වචනයට පළිගැනීම් වශයෙන් මේ හොරා මොකද කළේ? අර සිටාණන්ගේ පැසුනු කෙත සත්වරක්ම ගිනි තැබුවා. ඒ වගේම ඒ සිටාණන්ගෙ ගවගාලේ සිටින ගොනුන්ගේ පා කැපුවා. ඊළඟට ඒ වගේම සිටාණන්ගෙ මැදුරට හත්වරක් ගිනි තැබුවා. එහෙම කරලත් අර කෝපය නිවා ගන්න බැරුව මේ මනුස්සයා ඊළඟට සිටාණන්ගෙ අත්වැසියෙක් එක්ක යාළුවෙලා අහනවා මේ සිටාණන්ට ඉතාමත්ම ප්‍රිය මොකක්ද කියලා. ඒ මෙහෙකරුවා කිව්වා, සිටාණන් අර බුදු පියාණන් වහන්සේට තැනූ විහාරය - ගන්ධකුටිය - තරම් ප්‍රිය කරන දෙයක් නැත කියලා. එතකොටමේ සොරා සිතාගත්තා “හොඳයි, මම බුදුරජාණන් වහන්සේගේ ගඳ කිළියට ගිනි තියලා මගේ කෝපය නිවා ගන්නවා” කියලා. බුදුපියාණන් වහන්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ - පිඬුසිඟා වැඩිය අතරේ ඒ කුටිය අසල තිබුණු පැන් භාජන ඔක්කොම බිඳලා දමලා කුටියට ගිනි තැබුවා. සිටාණන්ට අසන්නට ලැබුණා කුටිය ගිනි ගන්නවා කියලා. සිටාණන් එතනට එතකොට කුටිය ගිනි අරගෙන ඉවරයි. සිටාණන් ඒ ගැන කිසිම දොම්නසක් කණගාටුවක් ඇතිකර ගත්තේ නෑ. ඒ වෙනුවට බොහොම සද්දෙන් අත්පොළසන් ගැහුවා. ළඟසිටි අය ඇහුවා “ඇයි ස්වාමීනි, තමන් මේ තරම් විශාල වියදමක් කරලා තැනූ කුටිය ගිනිගත්තහම මේ වගේ අත්පොළසන් ගහන්නෙ” කියලා. එතකොට සිටාණන් ප්‍රකාශ කරනවා “මම මගේ ධනය නිදාන කලේ ගින්නෙන් සොර සතුරන්ගෙන්, ජලයෙන්, එහෙම විනාශවෙන්නෙ නැති විදියේ තැනක. ඒ කියන්නේ බුද්ධ ශාසනයක. ඒක නැති වුනේ නෑ. දැන් මට තවත් අවස්ථාවක් ලැබිල තියෙනවා, ඒ වගේම ඒ ප්‍රමාණයේම ධනයක් අර වගේ නිධන් කරන්න - පුන්‍ය නිධානයක් කරන්න. අන්න ඒ නිසා, ඒ සතුට නිසා, මම අත්පොළසන් ගැසුවා”කියලා.

එහෙම ප්‍රකාශ කරලා, ඒ කිව්ව වගේම අර සිටාණන් නැවතත් අර වගේම විශාල වියදමක් කරලා, රන් ගඩොල් එහෙම අතුරලා, බුදු පියාණන් වහන්සේට, ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට, විහාරයක් තැනෙව්වා. එහෙම තනවලා ඒ වගේම විශාල වියදමක් කරලා විහාරය පූජා කිරිමේ උත්සවය වශයෙන් හත් දිනක්ම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු විසි දහසක් සංඝයා වහන්සේලාට දානය පිළිගැන්වූවා. මේ අතරේ මේ සොරා කල්පනා කරනවා “මම මෙච්චර කරලත් මේ සිටාණන් පසුබස්වන්න පුළුවන් උනේ නෑ. දැන් ඉතින් වෙන කරන්නට දෙයක් නෑ. මේ සිටාණන් මරන්නම ඕන” කියලා ඉනේ පිහියක් සඟවාගෙන අර විහාරයේ ගැවසුනා, හත් දින තුළම සිටාණන් මරන්නට හිතාගෙන. නමුත් අවස්ථාවක් ලැබුනේ නෑ ඊට. ඊළඟට හත්වෙනි දවසේ මේ සිටාණන් බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ සංඝයා වහන්සේලාට දානය පූජා කරලා අනුමෝදනාවට ආරාධනා කරන අවස්ථාවේදී ප්‍රකාශ කරනවා - “භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මනුෂ්‍යයෙක් මා කෙරෙහි ද්වේෂයෙන් ඇතිකරගෙන මේ විදියට මගේ කුඹුර - මගේ කේත - සත් වරක් ගිනි තැබුවා. ඒ වගේම සත්වරක් ගව ගාලේ ගවයින්ගේ පා කැපුවා. සත් වරක්ම මගේ ගෙට ගිනි තැබුවා. මා හිතන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ගඳ කිළියට ගිනි තැබුවෙත් මේ මනුෂ්‍යයා වෙන්ට ඇතැයි කියලා. නමුත් මම මේ මනුෂ්‍යයාට මේ පින් කමේ පළමුවෙනි පින් කොටස දෙනවා” කියලා ඒ විදියට සිටාණන් ප්‍රකාශ කළා.

මේක අහලා අර හොරාට ලොකු සංවේගයක් ඇති උනා. “අපොයි, මේ වගේ කෙනෙකුට නේද මම, මේ වගේ සමාව දෙන, මේ වගේ පුදුම කෙනෙකුට නේද මම මෙහෙම විපත්තියක් කළේ? දැන් මම සමාව ඉල්ලුවේ නැත්නම් මගේ හිස මත හෙණයක් උනත් වැටෙන්නට පුළුවන්” කියලා විගහට දුවලා ගිහිල්ලා සිටාණන්ගේ පා ළඟ වැද වැටිලා “මට සමාවෙන්න ස්වාමීනි” කියලා කිව්වා. එතකොට සිටාණන් ඇහුවා “ඇයි මොකද මේ?” කියලා. එතකොට හොරා කිව්වා “මම ඔබට කුමකට මේ වගේ විනාශ කීයයක් කළා. හානි කීපයක් කළා” කියලා. සිටාණන්ගෙන් ඒ කාරණා අහලා ඊළඟට ඇහුවා “මොකද මේ තරම් දෙයක් කරන්න හේතුව? මම කවදාවත් ඔබ දැකලා නෑ. ඇයි මෙහෙම මා කෙරෙහි ඇතිකරගත්තේ” කියලා. සොරා එතකොට මතක් කරලා දුන්නා, අර අහවල් දවසේ අර ශාලාවේ මම නිදාගන්න අතරේ මෙන්න මෙහෙම වචනයක් කිව්වා. මට ඒකට තද කෝපයක් ඇති උනා කියලා. ඒ අවස්ථාවේ අර සිටාණන් සොරාගෙන් සමාව ඉල්ලුවා. “සමාවෙන්න, මම එහෙම එකක් කීම ගැන” කියලා. හොරාට වඩාත් සංවේගය ඇති උනා. ඊළඟට එතකොට සොරා කියනවා “ස්වාමීනි, මට සමාව අනුව නම් අඹුදරුවන් සහිතව දාසකමට ගන්න” කියලා. එතකොට සිටාණන් කියනවා “මම අර සුළු වචනයක් කීමෙන් අර තරම් ඔබ හානියක් කළා. දැන් ගෙදර නැවත්ත ගත්තොත් මම කොහොමද කථාකරන්නේ, ඔබ සමඟ? මට ඒ දාසකමෙන් අවශ්‍යතාවක් නෑ. දැන් මම සමාව දුන්නා. ඔබ නැගිටලා යන්න” කියලා.

එතකොට ඒ විදියට, මහා පුදුම විදියට අර හොරාට සිටාණන්ගෙන් සමාව ලැබුණා. සිටාණන්ගෙන් සමාව ලැබුණට කර්මයෙන් සමාව ලැබුණේ නෑ. ඒක නිසා බුදුපියාණන් වහන්සේ - අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා - “ඒ සොරා මරණින් මතු, මරණින් පස්සේ, අවීචි නිරයෙහි ඉපදිලා ඉතාම දීර්ඝ කාලයක් දැවෙමින් පැසෙමින් ඉඳලා, දැන් ඒ කර්මවල ඉතිරි කොටස වශයෙන් තමයි අර විදියේ ප්‍රේතරූපයේ ස්වරූපය ඇති ප්‍රේතයෙක් වෙලා ඉපදිලා ගිනිදැල් වලින් දැවෙන්නෙ” කියලා, එහෙම ඒ කාරණය ප්‍රකාශ කරලා අන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඔන්න ඔහොම තමයි ඒ මෝඩයින්, මෝඩ මනුෂ්‍යයින්, අඥානයින්, බාලයින්, පාපකම් කරලා ඒවායේ විපාක වශයෙන් හරියට අවබෝධයක් ලැව් ගිනි වලින් දැවෙන්න වගේ දැවෙනවා යැයි කියලා ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථාව වදාළා.

“අථ පාපානි කම්මානි - කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මේධො - අග්ගිදඩ්ඪොව තප්පති”

බාලයා-බාලයා කියලා කියන්නේ ධර්මයෙහි අර අපි කලින් කිව්වා වගේ, කුඩා දරුවා කියන අර්ථයෙන් නොවෙයි බාලයාගේ ස්වරූපය දක්වලා තියෙන්නේ

“දුච්චින්තිතචින්තී, දුබ්භාසිතභාසී, දුක්කකතකම්මකාරී”

කියලා චේතනාව බොහොම නරකයි. ඒ වගේම වචනත් නරකයි, ක්‍රියාවත් නරකයි. අන්න එබඳු පුද්ගලයාටයි බාලයා කියලා කියන්නේ. එතකොට එබඳු ඒ බාලයා පාපකම් කරමින් අර විපාක පක්ෂය දන්නේ නෑ. ඒ විපාකවල බැරෑරුම්කම දන්නේ නෑ. එහෙම ඒ විදියට පාපකම් කරමින් තමාගේම කර්මවලින් ගින්නෙන් දැවෙනවා වගේ තැවීමට පත්වෙනවා කියන අදහස දක්වමින් ඒ ගාථාව වදාළා. ඒක අහලා බොහෝ දෙනෙක් මාර්ගඵල අවබෝධ කළා කියලා ප්‍රකාශ වෙනවා.

එතකොට මෙන්න මේ කථාන්තරය ආශ්‍රයෙන් අපට මේ කථාන්තරයේ පැති දෙකක්ම තිබෙනවා ආදර්ශයට ගත හැකි දේවල් හැටියට ගන්න, සළකන්න. දැන් මේ කථාවේ අර සොරාගේ ක්‍රියා කලාපය ගැන හිතලා බලනකොට කෙනෙකුට පුදුම සිතෙනවා. ක්‍රෝධයෙන් ද්වේෂයෙන් මේ තරම් දුර යන්නට පුළුවන්ද කියලා. අර තරමට තරහ ගත යුතු වචනයක් නොවුනත්, සාමාන්‍යයෙන් සිටාණන් කිව්වා වචනය අහලා අර තරම් ද්වේෂයක් ඇතිකරගෙන ඊළඟට මේ සොරා ඒ ද්වේෂ නිවා ගන්න ගිනි තිව්වා. ගින්නෙන් ගින්න නිවාගන්න උත්සාහ කරන්නා වගේ, ඒ සිටාණන්ගේ කෙතට ගිනි තිව්වා. ගෙටත් ගිනි තිව්වා. බුදු පියාණන් වහන්සේගේ ඒ ගන්ධ කුටියටත් ගිනි තිව්වා. ඒ විදියටයි ද්වේෂය නිවාගන්න ලෝකයා උත්සාහ කරන්නේ. එබඳු නිදර්ශන මේ කාලයෙත් බොහොම තියෙනවා. ගින්න නිවා ගන්න ගිනි තියනවා. ඉතින් ඒ විදියට ගිනි තියලා අන්තිමට එහි විපාකයත් ඒ වගේමයි.

බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, බොහෝවිට කර්මවල විපාකයෙත් කර්මයේ ස්වරූපයම තිබෙනවා කියලා. මේ කර්ම නියාමතාව ලෝකයේ බලපවත්වන ධර්මතාවක්. බුදු පියාණන් වහන්සේ බොහෝ විට ඒකට නිදර්ශන වශයෙන් දක්වන්නේ බීජ නියාමයයි.

“යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං
කලාණකාරී කලාණං - පාපකාරී ච පාපකං” කියලා.

බුදු පියාණන් වහන්සෙ වදාරල තිබෙනවා, යම් ආකාරයකින් බීජයක් වපුරනවද ඒ ආකාරයෙන්මයි එහි ඵලය ලබා ගන්නේ. ඊළඟට ඒක අනුව කර්මය පිළිබඳව විග්‍රහය දක්වන්නේ “කළයාණකාරී කළයාණං” - හොඳ කර්මයක් කරනු කෙනාට හොඳ විපාකයක්, සැප විපාකයක් ලැබෙනවා. “පාපකාරී ච පාපකං” - පාප කර්මයක් කළොත් එයින් නරක විපාක ලැබෙනවා. හැරියට දැන් අඹ ඇටයක් එහෙම නැත්නම් මිදි ආදී බීජයක් එහෙම පල කළහම, එයින් මිහිරි ඵලයක් ලැබෙනවා. කොහොඹ, කරවිල වැනි දේවල්වලින් අමිහිරි ඵලයක් ලැබෙනවා. ඔය විදියට ධර්මතාවක් තිබෙනවා. එතකොට ඒ වගේම අර ගින්නෙන් දැවීම, ගින්න දුන්න අනිත් අයට, තමන්ටම ගින්න ලැබුණා. ඔය විදියට බරපතල විපාක විඳින්නට සිද්ධ වෙනවා. මේ විදියේ නිදර්ශන කොතෙකුත් ධර්මයේ තිබෙනවා.

දැන් මේ ගිජිකුළු පර්වතයෙන් බහින අතරෙ මුගලන් මහරහතන් වහන්සේ දුටු එක දර්ශනයක්. ඒ වගේ දර්ශන ගණනාවක්ම සඳහන් වෙනවා. දැන් ඔන්න එක තැනක දක්වලා තිබෙනවා, මුගලන් මහරහතන් වහන්සේ ගිජිකුළු පව්වෙන් බහින අතරෙ දුටුවා අහසින් යනවා ඇට සැකිල්ලක්. ඇට සැකිල්ල පියාඹනවා. ඇට සැකිල්ලක ස්වරූපය ඇති ප්‍රේතයෙක්. ඒ පියාඹන අතරේ උකුස්සන්, කවුඩන්, ගිජුලිහිණියන් අර ඇට සැකිල්ලේ ඉර ඇට අතරට අනිනවා. මේ ඇට සැකිල්ල විලාප තියමින් පියාඹිනවා. මේකට හේතුව බුදුපියාණන් වහන්සේ දැක්වූයේ ඒ ප්‍රේතයා මේ රජගහනුවරම ගව ඝාතකයෙක්. ගවයන් මැරුව පුද්ගලයෙක්. ඔය විදියට තවත් දක්වනවා - තවත් ප්‍රේත ශරීරයක් යනවා. අහසින් යනවා. ඒ ශරීරයේ තිබෙනවා, හරියට කඩු වගේ තියුණු ලොම්. ඒ පියාඹන අතරෙම අර කඩු වැනි තියුණු නම් උඩ පැන පැන ශරීරයටම වැටිලා ශරීරය සිදුරු කරනවා. ඒ අතරේ අර ප්‍රේතයා විලාප තියනවා. කෑ ගහනවා. ඔන්න ඔය විදියෙ පුදුම අන්දමේ දර්ශන රාශියක් දක්වනවා ඒ ප්‍රේත ආත්ම පිළිබඳව. ඒ ප්‍රේත ලෝකයෙහි. ඊටත් වඩා භයානකයි අර අවීචිය ආදී නිරය වල තියෙන දුක්. ඒවා කොයිතරම්ද කීවොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒවට දෙන්න උපමාවක් නැත කියලා. බුදු මුවකින්වත් ප්‍රකාශ කරන්න බැරි තරම් මහා භයානක දුක් සාගරයක් නිරය කියලා කියන්නේ. නිරය ප්‍රේත ලෝකය,ඊළඟට තිරිසන් ලෝකය - අපිට පෙනෙන තිරිසන් ලෝකය. ඒක පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒවා කියලා නිම කරන්නට බෑ, තිරිසන් ලෝකයේ තිබෙන දුක්. ඊළඟට එපමණක් නොවෙයි, මේ මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලත් ඒ කර්ම විපාක විඳිනවා. නමුත් කාරණය දන්නේ නෑ, ඒ අතීතයේ කළ කර්ම බව. ඒවා නොදැන තව තවත් පාපකම් කරනවා. ඔය තරම් භයානක තත්ත්වයක් තියෙන්නේ ලෝකයේ, මේ කර්ම පිළිබඳව. එතකොට ඒ කර්ම විපාක ගැන කල්පනා කරලා බලනකොට, මේ අපේ ජීවිත හැඩ ගස්සවා ගැනීමට මෙන්න මේවායින් ආදර්ශ ගන්න ඕන - මෙබඳු ප්‍රවෘත්තිවලින්. සාමාන්‍ය කථා හැටියට පමණක් නොවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ කර්ම කියන ධර්මතාව නියම ආකාරයෙන්ම. අනිකුත් ශාස්තෘවරුන්ට යම් යම් ප්‍රමාණයකට පෙනුනා ඒ කාලයේ හිටපු. නමුත් බුදු පියාණන් වහන්සේට ඒ පිළිබඳව ඉතාමත්ම ගැඹුරෙන් වැටහුනා, කර්මයත් කර්ම විපාකයත්. වෙන එකක් තබා මේ කර්මය බලපවත්වන මේ සංසාරයෙන් මිදෙන මාර්ගය පවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. බුදු පියාණන් වහන්සේ භාවනා කර්මස්ථානයක් හැටියට දක්වලා තියෙනවා එක්තරා පාඨයක්.

“කම්මස්සකෝමහි කම්ම දායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ
යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි”

කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා භාවනා කර්මස්ථානයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා, මේ කර්මය පිළිබඳ ධර්මතාවනිතර මෙනෙහි කරන්නෙයි කියලා. “අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” - නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න, නිතර මෙනෙහි කරන්න කියලා ඒක - භාවනා කර්මස්ථානයක් හැටියට. එහි අදහස “මම - කර්මය මා සතුව සිටින්නෙක්මි. කර්මය මගේ දෙයක්.” “කම්මස්සකෝම්හි - කම්මදායාදෝ” කර්මය මගේ දායාදයයි. කර්මය මගේ උත්පත්ති ස්ථානයයි. කර්මය මගේ බන්ධුවරයායි. කර්මය මගේ පිළිසරණයි. මට සිටින වශයෙන් සිටින්නෙත් කර්මයයි. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරමිද එහි දායාද කරුවෙක් වෙමි.” මේක කිව්වහම හිතෙන්න පුළුවන්, මේ කර්ම දායාදය කියලා කියන කොට, කර්මය මගේ කියලා කියන කොට, මට ඕන හැටියකට කරන්න පුළුවන් කියලා. නමුත් මේ තුළම තියෙනවා මහා භයානක සංවේග ජනක කාරණයක්. මොකද තමන්ට ඕන ක්‍රියාකිරීම නෙවෙයි මෙතන කියන්නේ. කර්මයේ තියෙනවා පැති දෙකක්, හොඳයි නරකයි කියලා. මේ හොඳ පැත්තට වැඩිය සංසාරයේ සත්ත්වයා පෙළඹෙන්නේ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, නරක පැත්තට. එක නිසා මහා භයානක වගකීමක්, බලගතු වගකීමක් මේ කර්මය පිළිබඳව තියෙන්නේ. කර්මය මගේ කියලා කියන්නේ, කර්මය මගේ දායාදය කියලා කියන්නේ, මෙයින් නරක පැත්තයි අපි වැඩියෙන් හිතන්න තියෙන්නේ. කොයි තරම් සැප විපාක මේවායින් - පින් කරලා ලබාගන්න පුළුවන් උනත් ඊට වඩා භයානක අන්දමින් සත්වයා පාපයට නැඹුරු වන නිසා සංසාරයේ වැඩිපුර රැස්වෙන්නේ පාප කර්මයි. ඔය විදියේ තත්ත්වයක් තියෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ කර්මය පිළිබඳව මේ විදියට නිතර මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට මූලික මහත් සංසාරය ගැන කළකිරීම පවා ඇතිකරගන්න පුළුවන් කියන්නේ. මේක මහා භයානක වගකීමක්, කර්මය මගේ කියලා කියන්නේ. මට ඕන හැටියට කරන්න බෑ. අර ධර්මතාවට යටයි, ලෝකයේ බලපවත්වන ධර්මතාවට යටයි.

ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කර්මය පිළිබඳව වඩාත් ගැඹුරින් - “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චෙතයිත්වා කම්මංකරෝති කායෙන වාචාය මනසා” කියලා. මේ කර්මය කියන එක හඳුනාගන්නෙ කොහොමද? යමෙක් කර්මයකට හසුවන්නේ කොහොමද කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වන්න පුළුවන්. කර්මය කියලා සාමාන්‍යයෙන් යොදනවා ක්‍රියාවටත්. නිකම්ම කෙරෙන වැඩවලටත් කර්මය කියලා සමහරු කියනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ කර්මය කියලා වචනය යොදලා කියෙන්නේ අන්න චේතනාවටයි. “චේතනාවටම මම කර්මය යැයි කියමි” බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් කර්මයට අසුවෙන්නේ මේ චේතනාව අනුවයි. “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි, මම චේතනාවට කර්මය යැයි කියමි. මොකද ඒකට හේතුව “චෙතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා” - චේතනාවක් ඇති කරගෙන තමයි කෙනෙක් කයෙන්, වචනයෙන්, සිතින් මේ කර්ම සිදුකරන්නේ, කර්ම රැස්කරන්නේ. එහෙම නැතිව ඉබේ සිදුවන ක්‍රියාවලට වගකීමක් නෑ. මේ වගකීමත් - තමන් වගකීම ගැනීම නිසා. මෙතන තියෙන්නේ මහ පුදුම විදියෙ තත්වයක්. කර්මයට වගකීම ගන්නවා.කොහොමද වගකීම ගන්නේ? අර අවිද්‍යාවෙන් ‘මමය’ ‘මගේය’ කියන හැඟීම උඩ. ඒක නිසා තමයි ධර්මය ගැඹුරින් සලකලා බලනකොට අවිද්‍යාව නිසා මේ හැම එකක්ම කරන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ ‘මමය’ ‘මගේය’ කියන එක. මමත්වය, ආත්මාර්ථකාමීත්වය. මමය මගේය. මා එක්ක තරහ නිසා මම මරණවා. මට කන්න ඕන නිසා සතුන් මරණවා. මට වස්තු නැති නිසා මම මම අනිත් එක්කෙනාගේ ඒවා සොරකම් කරගන්නවා. මට විනෝදෙට අනිත් දේවල් කරනවා. ඔය විදියට මමත්වය මුල් කරගෙන සත්ත්වයා මේ පාපකම් වලට පෙළඹෙනවා. එක නිසා අවිද්‍යාව නිසා තමයි අර සංස්කාර තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා සංස්කාර රැස්වෙනවා. මේ සංස්කාරවලම කොටසක් කමයි කර්මය කියලා කියන්නේ. පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනේඤ්ජාභිසංස්කාර කියලා, මේ සංස්කාර කියලා කියෙන්නේ කර්මයමයි. ගැඹුරින් කල්පනා කරලා බලනකොට කර්මයේම ඉතාමත් සියුම් අංශයක්.

ඒ විදියට මේ අවිද්‍යාව නිසයි රැස්වෙන්නේ කර්මයත්. තමන් ඒකට වගකියන නිසා - කර්මයට වගකියනවා නම් එහි විපාකයටත් වගකියන්නට ඕන. එක නිසා තමයි අකමැති උනත් එවාගේ පාප කර්මවල භයානාක විපාක තමනට ලබාගන්ට සිද්ධ වෙන්නෙ. ඒ විපාක ගැන දැනගෙන එතකොට එබඳු ඒ පාපකර්ම වලින් වැලකී සිටීමයි නුවණැති පුද්ගලයා විසින් කළයුත්තේ. බාලයා කියල අඥාන පුද්ගලයාට යොදනවා. පණ්ඩිතයා කියලා ප්‍රඥාවන්ත පුද්ගලයාට ධර්මයේ යොදනවා. පණ්ඩිත පුද්ගලයා බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන, සම්‍යක් දෘෂ්ටිය ඇතිකරගෙන, හොඳ නරක වටහාගෙන, පව් පින් වටහාගෙන, කුසල් අකුසල් වටහාගෙන, ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැති සාමාන්‍ය පණ්ඩිතයා බුද්ධි වාදයට යට වෙලා ‘මේක වෙන්න පුළුවන්ද?’ කියලා සැක කරමින්, සමහර විට තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් පිරිමහගන්න පාපකම්වලට යොමුවෙනවා. එබඳු පුද්ගලයකුට, ධර්මයේ යෙදෙන්නේ බාලයායි කියලා, මෝඩයයි කියලා, අඥාන පුද්ගලයයි කියලා.

අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා කෙනෙකුට මේ කර්මය තෝරා බේරා ගන්න උපකාර වශයෙන්, මේ කර්මයට තිබෙනවා හේතු. හේතු, නිදාන, කියලා කියනවා. පාප කර්මවලට හේතු වශයෙන් තියෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ මනුෂ්‍යයන්ට, සංසාර සත්වයින්ට. සංසාරගත සත්ත්වයින් තමන්ගේ සන්තානය දිහා හැරලා බලනකොට ලෝභ ද්වේෂ මෝහ තුනෙන් සන්තානය දිහා හැරලා බලනකොට පහසුවෙන් හැඳින ගන්න පුළුවන් ත්‍රිකෝණයක් වගේ කියෙන ක්ලේශ ධර්ම තුනක් තමයි මේ. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මෝහය සියලා කියෙන්නේ අර අපි කලින් කිව්ව වගේ අවිද්‍යාව. අර මමය මගේය කියන හැඟීම. අනිත් කෙනාට හෙණ ගැහිලා ගියත් මම ජීවත් වෙන්න ඕන, ආත්මාර්ථකාමීත්වය, මමත්වය අන්න ඒ විදියේ මමය මගේය කියන තදබල හැඟීම මේ මෝහය. එක නිසා තමයි මා කැමති දේට - ඒවා පිළිබඳව ලෝභය. මම විරුද්ධ එහෙම නැත්නම් මට අකමැති දේට, ඒවට ද්වේෂයයි. ඔය විදියට නුවණින් කල්පනා කරලා බලනකොට ලෝභයයි ද්වේෂයයි මෝහයයි නිසා තමයි ලෝකයේ ඇතිතාක් පාපකර්ම සිද්ධ වෙන්නේ. ඒ අතරට තව නොයෙකුත් ක්ලේශධර්ම එකතුකර ගන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ලෝභය, ද්වේෂය, මෝහය. ඊළඟට දක්වනවා කුසල් - අරවා අකුසල්.

එතකොට කුසල් පක්ෂයට ගන්න පුළුවන් මොනවාද? අලෝභ, අදෝස, අමෝහ කියලා දක්වලා තියෙනවා. ඒ අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියන්නේ ලෝභයෙන් ඉවත්වෙලා, මොහොතකට හරි, එක මොහොතකට හරි, ලෝභයෙන් සිත මුදාගත්තා නම්, එබඳු අවස්ථාව කුසලයක්. ඒක කුසල සිතක්. මොහොතකට හරි ද්වේෂයෙන් සිත ඉවත් කරගත්තා නම් - දැන් අර සිටාණන්ගේ ක්‍රියා කලාපයෙන් අපට පේනවා එතන ඒ සිටාණන් තුළ අද්වේෂ - අදෝස - කුසල් මුල් තිබුණා. අර සොරා තුළ අකුසල් මුල්. ඔන්න ඔය විදියට අපට තියාගන්නට පුළුවන්. මෝහයෙන් මමය මගේය කියන හැඟීමෙන් මොහොතකට හරි ඉවත්වෙලා යම් සිතුවිල්ලක් සිතුවා නම්, යම් වචනයක් ප්‍රකාශ කළා නම්, යම් ක්‍රියාවක් කළා නම්, ඒවා ඒ කුසල පක්ෂයට යන්නේ. ඔය විදියට කල්පනා කරලා බලනකොට බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරලා අපට ඉදිරිපත් කරල දීලා තියෙනවා. එහි විපාක පක්ෂයත් ඊළඟට ඒක හඳුනාගන්නා ආකාරයක්. ඊළඟට මේවා පිළිබඳව ක්‍රියාත්මක වීමට උපකාරවෙන තවත් විශේෂ කාරණා කීපයක් බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා.

ශීලය කියලා කියන්නේ මොකක්ද? ඒක ගැන හොඳට නුවණින් කල්පනා කරලා බලනකොට මේ ශික්ෂාපද, දැන් විශේෂයෙන්ම ධර්මයේ තියෙන මූලික ශික්ෂාපද පහ තමයි පංචශීලය. මේ පංචශීලය කියන එක හරියට දැන් ඔන්න පාරක යනකොට මේ පින්වතුන්ට දකින්නට ලැබෙනවා මාර්ග සංඥා. සමහර තැන්වල ‘හෙමින් පදවන්න’ කියලා තියෙනවා, ‘වංගු සහිතයි’ ‘පල්ලම් සහිතයි’ ඔය විදියට යම්කිසි හැඟවීමක් කරනවා අර රියැදුරාට. ඒ රියැදුරාට මේ හැඟවීම නැතිනම් මොකද කරන්නේ? අර ඒ වාහනයට යන්නට පුළුවන් වේගයෙන් ගිහිල්ලා මහා භයානක ප්‍රපාත වල වැටෙනවා. අන්න එයාගේ තමයි මේ සංසාර ගමන. මේ සංසාර ගමනෙ යන සත්ත්වයාට මාර්ග සංඥා හැටියට තමයි බුදු පියාණන් වහන්සේ මේ පංචශීලය ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද, අර පාප කර්ම අතුරිනුත් ඉතාමත්ම බරපතළ කර්ම , පහක් හැටියට දක්වලා තියෙනවා. සංසාරයෙ භයානක විපාක ගෙන දෙන දේවල් තමයි ඔය පංචශීලයට අඩංගු වෙන්නේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය, බොරු කීම, ඊළඟට සුරාමේරය කියන මත්පැන් පානය. මේවා තුළින් සංසාරයේ බලවත් පීඩනයට, දැවීමට, තැවීමට පත්වෙනවා. එක නිසා මේ සංසාර ගමන යන හැම සත්ත්වයින්ටම බුදුපියාණන් වහන්සේ පළමුවෙන්ම මේ පංචශීලය මතක් කරලා දෙනවා.

දැන් අර වාහනයක් එළවාගෙන ගියොත් ඒ මාර්ග සංඥා ගැන නොතකා, මොකද වෙන්නේ? ඉස්සෙල්ලම ඒ වාහනය පාරෙන් පිටතට පනිනවා. ඊළඟට කාණුව පල්ලෙන් ගිහිල්ලා ප්‍රපාතෙට වැටිලා සුනුවිසුනු වෙනවා. අන්න ඒ විදියට ඒ තත්වය අඟවන පද සමූහයක් තමයි නිරය පිළිබඳවත් මේ ධම්යේ සඳහන් වෙන්නේ. ‘අපායං, දුග්ගති, විනිපාතං, නිරයං’ කියලා පද හතරක් දක්වෙනවා ධම්යේ. අපාය කියලා කියන්නේ නියම මාර්ගයෙන් ඉවතට පැනීම. දුග්ගත්තින් කියලා කියන්නේ අර කානුපල්ලෙ යාම වගේ වැරදි මාර්ගයේ යාම. විනිපාත කියලා කියන්නේ ප්‍රපාතයකින් ඇදගෙන වැටීම. නිරය කියලා කියන්නේ පොඩි පට්ටම් වෙලා ගන්න දෙයක් නැති තත්වයට පත්වීම. අන්න එබඳු තත්වයකට පත්වෙනවා අර පාපකර්ම නිසා, පංචශීලය යම් කෙනෙක් රකින්නේ නැත්නම්. මේ ශිලය කියලා කියන්නේ ශික්ෂාපද. මේ ශික්ෂාපද තමාම සමාදන් වෙලා රකින්නේ මොකටද? දිනපතා මේක සිහිපත් කිරීම තුළින් මේ පුද්ගලයා කරන්නේ තමන්ගේ සිතට යම් කිසි අවවාදයක් දෙනවා ‘අද දවසේ මෙන්න මේ පංචශීලය තුළ හැසිරෙන්නට ඕන.’ හරියට අර වාහන රියැදුරා මාර්ග සංඥාව දැක්ක හැටියේ, වේගයෙන් දුවනවා නම් ඒ වාහනය, ඒක ටිකක් අඩු කරනවා. වේගය අඩු කරනවා වංගු සහිත නම්. අන්න ඒ විදියට තමන්ගේ ජීවන රටාව සකස්කර ගැනීමට උපකාර වන, ආධාරවන, කාරණා හැටියටයි මේ පංචශීලය දක්වලා කියෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් මේක මහා කරදරයක් හැටියට හිතනවා. එසේම හිතන අය හැබැයි අර පාරේදි අර තියෙන මාර්ග සංඥා ගැන නම් ඒ විදියේ දෙයක් කියන්නේ නෑ. ඒවා නැත්තම් රජයට දොස් කියනවා. ‘එතෙන්ට දාන්නා තිබුනා මේ පල්ලමක් තියෙනවායි කියලා මාර්ග සංඥාවක්.’ නමුත් මේ සංසාර ගමනෙදි ඒ විදියේ දෙයක් කල්පනා කරන්නේ නැතිව බුදුරජාණන් වහන්සේලාට, ඒ රහතුන් වහන්සේලාට, සංඝයා වහන්සේලාට, දොස් කියනවා, අපට මේවා රකින්නෙයි කියනවායි කියලා. ඒවායින් දැවෙන්න පටන් ගත්තහම, තැවෙන්න පටන් ගත්තහම, ඊළඟට - ඒ අවස්ථාවේදී තමයි අන්න තේරෙන්නේ තමන් කළ මෝඩකම. ඒක නිසා තමයි බාලයා අඥාන පුද්ගලයා කියලා, කියල තියෙන්නේ,

ඒ විදියට ගැඹුරින් කල්පනා කරලා බලන්ට ඕන මේ තමන්ට ලැබෙන සාධක ආශ්‍රයෙන්. ඒ පංචශීලය වගේම ඊළඟට ඊටම අදාළ දේවල් තමයි - දස අකුසල් වලටම අයිති - දැන් මේ ආජීවාෂ්ටමක ශීලයේ විශේෂයෙන් සඳහන් උනා වචනය පිළිබඳ කාරණා. ඒ වචනය පිළිබඳවත් සාමාන්‍යයෙන් බොරුවක් අපි මේ සුළු දෙයක් හැටියට සලකන්නේ. කේලාම් කීමත්, ඒ විදියේ දේවල් සුළු දේවල් හැටියට සළකන්නේ. නමුත් ඒවායෙන් බරපතල විපාක තිබෙනවා. ඒක නිසා තමයි අර බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම, ඒවායින් වැළකෙන්ට බුදුපියාණන් වහන්සේ මේ විදිහට ශික්ෂාපද පණවලා තියෙන්නේ. මේවානිසා තමන්ට ලැබිච්ච කතා කිරීමේ දායාදය - දුර්ලභ දායාදය - මේක පිරිහෙලා ගන්නවා. ඒ වගේම තමයි මිත්‍යා ආජීවය කියලා කියන්නේ. වැරදි ජීවිකා ක්‍රම. මේ කාලයේ කරලියට ඇවිල්ල තිබෙන්නෙමෙබඳු දේවල් ආර්ථිකය ඔස්සේ - මේ ධාර්මිකය අමතක කරන යුගයක් නිසා. නමුත් එබඳු ඒ මිත්‍යා ආජීවයෙන් විපතට පත්වෙලා - දැන් අර ගව ඝාතකයෙක් ගැන කිව්වා - එබඳු තව නොයෙකුත් අය. බුද්ධ කාලයේ පමණක් නොවෙයි එබඳු ඒ ප්‍රේත තත්ත්වයෙන් සිටින්නේ. මේ කාලයේ බොහෝදුරට අභිඥාලාභීන් හිඟ නිසා එබඳු කාරණා ප්‍රකාශ කරන්න කෙනෙක් නෑ. හිටියත්, බුදුරජාණන් වහන්සේ පවා මුගලන් මහ රහතන් වහන්සේගෙන් සාක්ෂි ලැබෙනකං අර කාරණාව ප්‍රකාශ කළේ නෑ. මොකද ප්‍රකාශ කළේ නැත්තේ? “බුදුරජාණන් වහන්සේ මේ බොරු කියනවා අපි රවට්ටන්න. පොඩි දරුවන් රවට්ටන්න වගේ මේ කථාන්තර හදලා කියනවා” කියලා. ඒ විදියට ප්‍රකාශ කරලා ඒ අය අපාය ගාමී වෙයි කියලායි බුදුපියාණන් වහන්සේ ඒ ප්‍රකාශ කළේ නැත්තේ. මුගලන් මහ රහතන් වහන්සේ ඒ කාරණයට සාක්ෂි ස්ථානයේ සිටින වෙලාව එනකල් ඒවා ප්‍රකාශ කළේ නෑ. දැන් මේ කාලයෙත් ඒ වගේ තමයි. මේ කාලෙත් කලාතුරකින් කෙනෙකු මේවා දැක්කත් ඒවා කිව්වත් විශ්වාස කරන්නේ නෑ. නමුත් මේවා විශ්වාස නොකරන මනුෂ්‍යයින්, මේ දහම් පොතේ තියෙන දේවල් මේ පරණ කථාන්තරෙයි කියලා අහක දාන අය, යම් කිසි ආකාරයකින් බටහිර විද්‍යාඥයින් මේවා පිළිබඳ යමක් ප්‍රකාශ කළොත් ඒවා නම් ඉස් මුදුනින් පිළිගන්නා සූදානම්ව සිටිනවා.

ඇත්ත වශයෙන්ම බුද්ධ වචනයට අමුතුවෙන් මුක්කු ගැසීමක් අවශ්‍ය නැතත් මේ කාලයේ නම් බටහිර විද්‍යාඥයින්ට පවා ඇස් ඇරිලා තියෙනවා, මේ කර්මය පිළිබඳව. එබඳු කාරණා නිතරම මේ පිංවතුන්ට අහන්න ලැබෙනවා ඇති, නොයෙකුත් ක්‍රම වලින්. ඇතැම් අයට ජාතිස්මරණඥානය කියලා එකක් ඇතිවෙනවා කුඩා අවධියෙදි. ඔය පුනරුත්පත්ති කථාන්තර කියලා ලෝකයේ ප්‍රසිද්ධ වෙලා යන්නේ එබඳු දේවල්. මොකද, කුඩා අවධියේදී සමහර කුඩා දරුවන්ට මතක්වෙනවා අතීත ජීවිත. බොහෝ විට පසුගිය ජීවිතයේ හිටපු ආකාරය, මැරුණු ආකාරය, එපමණක් නොවෙයි ඒ කළ කර්ම. ඒවා පිළිබඳව මහ පුදුම තොරතුරු. ඒ වගේම තවත් වශීකරණය මගින්, කෙනෙක් වශීකරණයෙන් නින්දට යවලා, ඒ අයගේ අතීත මතකයන් මතුකරලා, ඒ අය අතීතයේ සිටිතැන්, ඒ අය කළ කී දෑ, ඒවා මතුකර ගන්න ක්‍රම බටහිරින් සොයාගෙන තියෙනවා. ඒවා සමහර විට අර පූර්ව දරුවන්ගේ වැඩ වගේ, අර බුදුපියාණන් වහන්සේලා මුගලන් මහ රහතන් වහන්සේලා ගැන සලකලා බලනකොට. නමුත් මෙබඳු දේවල් පවා මේ කාලයේ කෙනෙකුට විශ්වසනීයත්වයෙන් විශ්වාස කරන්ට පුළුවන් බව හිතාගන්න හොඳ සාධක. ඒ වගේම මීට ශත වර්ෂයකට පමණ උඩදී ඒ ඇමරිකාවේ – ඇමරිකාව කියලා කියන කොට ඔය ඒ කාලේ බුද්ධ ධර්මය ගැන උනත් කර්මය, කර්මයේ ධර්මතාව ගැනවත් මොකක්වත් දන්නෙ නැති තරම්. ඒ තරම් අන්ධකාර යුගයක්. නමුත් එබඳු රටක කතෝලික මහත්මයෙක් හිටියා එඩිගා කේසි කියලා. ඒ මහත්මයා එදිනෙදා ජීවිතයේ කර්මය කියන වචනය අහලාවත් නෑ. නමුත් තමන්ම වශිකරණයෙන් වශී නින්දට වැටුනට පස්සේ තමන්ගේ අතීත ජීවිතත් ඒවාට හේතුවුනු කර්මත් තමන් ළහට එන රෝගීන්ගේ ඒ රෝගවලට හේතුවුනු කර්ම විපාකත් කීමට ශක්තියක් පවා ඒ මහතාට ඇතිඋනා. ඒ මහත්මයා ඒ තමන් ලඟට එන රෝගීන් පිළිබඳව ප්‍රකාශ කළ රෝග විස්තර තාමත් වෙනම පුස්තකාලයක තැන්පත් කරලා මහාචාර්ය වරු පවා ඒවා පිළිබඳව නොයෙකුත් විදියේ පර්යේෂණ පවත්වමින් ග්‍රන්ථ ලියනවා. ඒවායින් එකක් දෙකක් නිදර්ශන වශයෙන් සඳහන් කරනවා නම්, එක මනුස්සයෙක් ආවා එක්තරා අන්ධවීමට ආසන්න විදියේ ඇස් රෝගයකින්. ඒ අවස්ථාවේදී එඩිගා කේසි මහත්මයා ප්‍රකාශකළා ඒකට හේතුව. බෙහෙත්වලින් තව නොයෙකුත් සමාජ ශුබසාධක කටයුතු, පින් කටයුතු, වගේ දේවල්වලින් බොහෝදුරට ලෙඩේ සුව කළත් ඊට එහාට සුවකරන්න බැරිය. මොකද ඒකට හේතුව “මීට වර්ෂ දහස් ගණනකට උඩදී එක්තරා නොදියුණු ගෝත්‍රයක ඔබ ඉපදිලා සිටිය. ඔබට තිබුන රක්ෂාව මොකක්ද ඒ ගෝත්‍රිකයන් විසින් යටත් කර ගන්න සතුරන්ගේ ඇස් අන්ධ කිරීමයි. ඒ ඇස් අන්ධ කිරීමේ රාජකාරිය බොහෝ හොඳින් ඉටුකළ නිසා ඔබට මීට එහාට නම් ඇස් හොඳ කරන්ට බැරිය. ඒ අන්ධභාවයෙන් ඔබ මුදා ගන්ට බැරිය” කියලා එඩිගා කේසි මහත්මයා ප්‍රමාණ කළා.

අන්න ඒ අනුව අපට හිතාගන්ට පුළුවන් කර්මවිපාක කියන ඒවා ඒ බුද්ධ කාලයේ පමණක් නොවෙයි, මේ කාලයේ පවා ලෝකයේ පවතිනවා. ඒවා පෙනෙන අය, ඒවා ගැන කරුණු සහේතුකව ඉදිරිපත් කරන්නට පුළුවන් අය, හිඟයි. අන්න එබඳු තත්වයක් තිබෙන්නේ. ඒක නිසා ඊළඟට කල්පනා කරන්නා ඕන මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද අපි? මේ විදියට මේ අකුසල කර්මවලින් ඉවත්වෙලා, පාප කර්මවලින් ඉවත්වෙලා, හැකිතාක් දුරට ධර්ම මාර්ගයේ යාමට – දැන් බොහෝවිට මේ පාපකර්මවලට කෙනෙක් යොමුවෙන්නේ අර චේතනාව කියන එක බොහොම ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙන නිසයි, චිත්ත සන්තානයෙ. දැන් හැම කෙනෙකුටම පුළුවන් තමන්ගේ චේතනාව පිරිසිදුද අපිරිසිදුද කියන එක හිතාගන්ට, හොඳද නරක කියන එක – කෙනෙකුට චේතනාවක් ඇතිඋනා - ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා. ඒ නරක එකක් උනත් සමහර කෙනෙක් ඒ නරක චේතනාව නරක බව දැන දැනත් ඒකටම තවදුරත් රුකුල් දෙමින් ඒකටම අනුව ක්‍රියා කරනවා. වචන පාවිච්චි කරනවා. එබඳු පෙළඹීමකට හේතුව මොකක්ද? සිතේ දියුණුව නැති කමයි. අන්න ඒක නිසා තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, ශීලයෙන් පමණක් නවතින්නේ නැතුව, අර මාර්ග සංඥා ටික දීමෙන් පමණක් නවතින්නේ නැතිව - බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා ඊට වඩා ක්‍රමානුකූලවූ, ඊට වඩා ආනිසංස සම්පන්නවූ විශිෂ්ට මාර්ගයක් සංසාරයේ මේ මහා භයානක දුක් ස්වභාවයෙන් මිදෙන්ට. මේ කර්ම නියාමතාවෙන්, කර්ම විපාක වලින්, එහෙම පිටින්ම කර්මයෙන්, මිදෙන්ට පුළුවන් ශක්තියක් බුදු පියාණන් වහන්සේ මතුකරලා දෙනවා සත්ත්වයින්ට. ඒකට උපකාර වෙන්නෙ සමාධියයි ප්‍රඥාවයි. ශීලයෙන් සිත සකස් කරගෙන ඊළඟට සමාධි වශයෙන් සිත තැන්පත් කර ගන්නවා. සිත එක අරමුණක තබාගන්ට පුළුවන් ශක්තියක් ඇතිකර ගන්නවා. එබඳු පුද්ගලයෙකුට අන්න අර කලින් කියාපු තැනැත්තාට වඩා, අර චේතනාව නරක පැත්තට යනකොට වහාම ඒක නවත්ත ගන්න පුළුවන් ශක්තියක් එනවා සමාධිය නිසා. ඊටත් වඩා ගැඹුරින් මේ කර්මවේගවලින් මිදෙන්න පුළුවන් ශක්තියක් ඇතිවෙන්නේ ප්‍රඥාවෙනුයි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මමය මගේය කියලා ගන්නා දෙයක් නෑ. මෙතන තියෙන්නේ අනාත්ම තත්ත්වයයි. මේ සංසාරයෙ මහත් පැවැත්මම දුකක් ඒකට හේතුව තෘෂ්ණාවයි. මේ තෘෂ්ණාව නැති කළ තැන නිවනයි. මේකට උපකාර වන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයි කියලා මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ.

අන්න ඒ ප්‍රඥාව යම් කෙනෙක් ඇති කරගත්තා නම් ලෝකෝත්තර වශයෙන්, ඒ පුද්ගලයා පළමුවෙනි තත්වයෙන්, සෝවාන් තත්වයෙන්, චතුරාර්ය සත්‍යය අවබෝධ කළා නම් - ඒ තැනැත්තාගේ චේතනාවේ පිළිබඳ විශේෂ වෙනසක් සිදුවෙනවා. ඒ ඒ වෙනස කොයිතරම්ද කියතොත් ඒ තැනැත්තාගෙන් කෙරෙන්නේ නෑ අපායගාමී අකුසල්. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට එක සුළු මොහොතක ඇතිවන බරපතල පාපී සිතුවිල්ලක් නිසා අපායට යන්නඋනත් පුළුවන්. ඒ තරම් භයානක විදියයි සිතේ ප්‍රවෘත්තිය මේ සිත කොයි තරම් වේගයෙන් ශීඝ්‍රයෙන් ගමන් කරනවාද කියතොත් ලෝකයේ කිසිම වාහනයකට, කිසිම යන්ත්‍රයකට, සමාන කරන්නට බැරි තරම් වේගයකින් මේ සිත ක්‍රියා කරනවා. එබඳු ඒ වේගයකින් ක්‍රියා කරන සිත එක මොහොතකට හරි නරක පැත්තකට යොමු උනොත් – බුදු කෙනෙකුට පිළිබඳව, රහතන් වහන්සේ කෙනෙකුට පිළිබඳව, යම්කිසි වැරදි සිතුවිල්ලක්, වැරදි වචනයක්, වැරදි ක්‍රියාවක්, කෙරුනොත් ඒක ඇති කල්ප ගණනක් නිරයේ පැහෙන්ට. අර ඉතාමත් වේගයෙන් යන වාහනයක් දැකලා බොහෝම දෙනෙක් බොහොම සතුටු වෙනවා. නමුත් ඒකේ රියැදුරාට කියෙන්නේ මහා විශාල වගකීමක්. ඒ වාහනය ඕන හැටියට නවත්ත ගන්නට පුළුවන් ඒ යන්ත්‍ර සූත්‍ර හරියට නැත්නම්,නොයෙකුත් අඩු පාඩුකම් තියෙනවා නම්, වේගයෙන් යන අතරේ මහා භයානක අනතුරු ජීවිතවලට පත්වෙනවා. අන්න ඒ වගේ මේ සිත පිළිබඳවත් බුදුපියාණන් වහන්සේ දක්වනවා අර සීඝ්‍රගාමී ස්වභාවය නිසාම සමහර විට නරකට යොමුවුනොත් එහි බරපතළ විපාක විඳින්ට සිද්ධ වෙන බව. නමුත් අර සෝවාන් පුද්ගලයා සිත නතර කරගත්තා තරමක් දුරට.ඒ සිත නතර කරගත්තු ශක්තිය නිසා, අර සත්‍ය අවබෝධය - ප්‍රඥාව - නිසා, සෝවාන් පුද්ගලයා මුළු මහත් සංසාර පැවැත්ම ජාති හතකට පමණක් සීමා කරලා ඉන් මිදෙනවා. කියන්නේ තව හත්වරයි උපදින්නේ. එපමණක් නොවෙයි ඊළඟට ඒ සිතේ ඇතිවන වෙනස කොයි තරමිද කියතොත් – අර සක්කායදිට්ඨි කියලා කියන ආත්ම සංඥාව, ආත්මයක් තිබෙනවාය කියන හැඟීම, ඒ වැරදි සිතුවිල්ල, ඒ තැනැත්තා තුළින් ඉවත් වෙනවා. ඒ සෝවාන් පුද්ගලයා, සෝවාන් තත්ත්වය ලබා ගත්තු පුද්ගලයා, සංසාරයේ තවදුරටත් හත් වරක් පමණක් ඉපදීමෙන් ලබන සහනය පමණක් නොවෙයි ඒ තැනැත්තාට අපාය ගාමී පාප කර්ම කරන්න බෑ. මොකද හේතුව? අර සිතේ ඇතිවන වෙනසයි. සිත නවත්වා ගැනීමේ ඒ ශක්තිය තුළින්, ඒ වගේම අර ප්‍රඥාව තුළින්, ඒ තැනැත්තා කරන කර්මවල බැඳීම අඩු වෙනවා. ඒ කර්ම පිළිබඳව ඇති වගකීම අඩුවෙනවා. අප කලින් කිව්වා කර්මයක් කරන්න ගන්න වගකීම- කර්මයට ගන්න වගකීම - අනුවමයි එහි විපාක විඳින්න වගකීම ගන්න වෙන්නේ. එතකොට අර දැඩිව මමය මගේය කියලා ගත්තු ඒ දෘෂ්ටිය නිසා යම් කෙනෙකුට දීර්ඝ කාලයක් අපාය ආදී තැන්වල විපාක විඳින්නට සිද්ධ වෙනවද, අන්න ඒ තත්ත්වය අඩු වෙනවා අර සෝවාන් පුද්ගලයාට අර අවබෝධය නිසා.

ඊළඟට ඒ වගේම තමයි සකදාගාමී අනාගාමී වෙනකොට, සකදාගාමී පුද්ගලයා තව එක වරයි මේ ලෝකෙට එන්නේ. අනාගාමී පුද්ගලයා නැවතත් මෙලොවට එන්නේ නෑ. බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහිදීම පිරිනිවන් පානවා. රහතන් වහන්සේට මෙයින් පස්සේ නැවතත් උත්පත්තියක් නෑ. නමුත් අර කර්මයේ බලපෑම කොයිතරම්ද කියතොත් දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදී යම් කිසි විපාකයක් විඳින්නට සිද්ධ වෙනවා. අතීත කර්මවලින් හෝ මේ කාලයේ මේ ජීවිතයේදී කරන ලද යම් යම් කර්ම වලින් හෝ අන්න ඒ දිට්ඨධම්ම වේදනීය කියලා කියන මෙලොවදීම පමණක් විඳින්ට වන විපාක විඳින්නට සිද්ධ වෙනවා. එයින් අපට පේනවා එක පැත්තකින් කර්මය කොයි තරම් බලගතු දෙයක්ද කියලා. බුදු රහතන් වහන්සේලාටත් ඒවායේ විපාක විඳින්ට සිද්ධ උනා, අතීත කර්මවල විපාක හැටියට. කොතෙකුත් අහලා ඇති මුගලන් මහ රහතන් වහන්සේ, ඒ තරම් ඍද්ධිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක්, නමුත් අර හොරු පන්සියයක් විසින් මේ ස්වාමීන් වහන්සේගේ ඇට කුඩු කරලා අවසානයේ පිරිනිවන් පාන්ට සිද්ධ උනා. මොකද ඉතාමත්ම ඇත අතීතයේ මව් පියන්ට ඒ වගේම වධ හිංසා කරලා මරලා කියෙන නිසා. අන්න ඒ අනුව හිතා ගන්ට පුළුවන් මේ කර්මයේ භයානක කම එක පැත්තකින්. අනික් අතට හිතාගන්ට තිබෙන්නේ ඒ කර්මයෙන් මිදීමට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ පුදුම මාර්ගයයි. මේ ලෝකයේ තිබෙනවා චක්‍ර දෙකක්, කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි කියලා. මේ කර්මචක්‍රය තමයි ලෝකයේ ඉතාමත්ම භයානක අන්දමින් ක්‍රියාත්මක වෙන්නෙ. ඒකට අහුවෙන කිසිම සත්ත්වයෙකුට බේරීමක් නෑ. ඒ කර්ම නීතියෙන්. යම් යම් ආකාරයකට කර්ම කරනවාද ඒ විදියටම භයානක අන්දමට විපාක විඳින්නට සිද්ධ වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා ධර්ම චක්‍රය. අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අකුසල්වලින් ඉවත්වෙලා කුසල් මාර්ගයේ ගමන් කරමින් ඊළඟට කය වචනය ශීලයෙන් සකස් කරගෙන, සිත සමාධියෙන් කරගෙන ඊළඟට විදර්ශනා ප්‍රඥාවෙන් මේ ලෝකයේ යථා ස්වභාවය දුටුවා නම් මේ අනාත්ම තත්ත්වය – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම – කියන ත්‍රි ලක්ෂණය යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් පළමුවෙනි මට්ටමේ සෝවාන් තරමින් - ඒ පුද්ගලයා අර අපායගාමී පාපකර්ම වලින් මිදෙනවා, තව හත් වරයි උපදින්නේ. ඊළඟට ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් ගිහිල්ලා අන්තිමට රහතන් වහන්සේ මේ මුළු මහත් සංසාර පවත්වම කෙළවර කරලා ඒ උතුම් නිර්වාණ අවබෝධය ලබනවා.

අන්න ඒ අනුව මේ පින්වතුන් කල්පනා කරන්ට ඕන. එතකොට මේ කර්මය කියන එක මේක මේ අතීතයේ පොත් පත් වල තිබෙන කථාන්තර, මේවා බොරු දේවල් එහෙම නැතිනම් අතිශයෝක්තියෙන් මවාපෑ දේවල් කියලා, එහෙම හිතන්ට නරකයි. මේවා මහා ආශ්චර්යවත්, නමුත් සත්‍යයි. මොකද මේ විශ්වයේ පවතින ධර්මතාවල්, අපිට පේන දේවල්, සමහර විට පොඩි හැඩියටයි පෙනෙන්නේ. මේ අහස දිහා බැලුවහම පොඩි තරු පෙනෙන්නේ.. පොඩි තරු කැට. විද්‍යාඥයින් මේවායේ නියම ප්‍රමාණය කියන කොට අපිට තරු පේනවා. ඒ තරම් මහා පුදුම දේවල් අප අවට තියෙන්නේ. මේ තරුවක ප්‍රමාණය, අහසෙහි පෙනෙන මේ හඳ, හඳේ ප්‍රමාණය, සූර්යයාගේ ප්‍රමාණය විද්‍යාඥයින් කියනකොට අපි විශ්වාස කරනවා, ඒ අය විද්‍යාඥයින් නිසා. ඒ වගේ අපිට පුංචි හැටියට පෙනෙන දේවල් ඇත්ත වශයෙන් කොයිතරම් විශාලද? කාලයත් අවකාශයත් පිළිබඳව ඒ විදියට බුදු පියාණන් වහන්සේ වදාළ කාරණා සිතනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇතිවෙනවා. මේ තරම් කාලයක්, මේ තරම් විශාල අවකාශයක අපි මේ සත්ත්වයන් හැටියට සංසාරයේ ගමන් කරලා කියෙනවා නේද? මේ සංසාරයේ මුලක් පේන්නේ නැත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. චතුරාර්ය සත්‍යය නොදැනීමෙන් සත්ත්වයා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරයේ ගමන් කරන කාලය බුදු කෙනෙකුටවත් කියලා නිම කරන්ට බැහැ කියලා. ඒ තරම් කොනක් නැතෙයි, කියලා නිම කරන්ට බැහැ කියලා. ඒ තරම් මහ පුදුම විදියේ කෙනෙකුට සංවේගය ඇතිවෙන විදියේ තත්ත්වයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒවා ගැන විශ්වාස නොකළත් අර විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් කියන දේවල්, අනිත් අය කියන දේවල්, ලොකුවට අපි ප්‍රකාශ කරනවා, මේවා මේ මහා පුදුම දේවල් හැටියට. ඊට වඩා පුදුම දේවල් බුදුපියාණන් ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ සංසාරය පිළිබඳව. ඇත්ත වශයෙන්ම ඒ බාහිර දේවල් ගැන අවබෝධය, ඒ පිළිබඳව හෙළිකරල තියෙන දේවල්, බොහෝවිට ලෝකයා යොදාගන්නේ අකුසල් පැත්තට. තව තවත් පංචකාම සම්පත්තියට නැඹුරු වෙලා මේ ලෝකය වගාකර කර ගැනීමට.

බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, “න සියා ලොක්වඩ්ධනෝ” කියලා. ලෝක වගාව නෙවෙයි කරන්ට තිබෙන්නේ ලෝකයෙන් මිදීමයි, මේ සංසාරයෙන් මිදීමයි. අන්න ඒ සංසාරයෙන් මිදීමට උපකාර වන ටික තමයි බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කරලා තිබෙන්නේ, මේ ධර්මයේ. ඒකට තමයි මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ. මේ කර්ම චක්‍රයේ බල බිඳින්න පුළුවන් ධර්ම චක්‍රයෙනුයි. ඒක නිසා අපි කල්පනා කරන්ට ඕන, ඇත්ත වශයෙන්ම අපි තමතමන්ම ප්‍රශ්න කරලා බලන්නට ඕන, අනන්ත කාලයක් මේ සංසාරේ කර්ම චක්‍රය කරගෙන යනවාද, එහෙම නැත්නම් අපේ චිත්ත සන්තානය තුළ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම චක්‍රය කරකවන්න උත්සාහවත් වෙනවාද කියලා. ධර්ම චක්‍රය කරකවනවා කියලා කියන්නේ අන්න අර කිව්ව ආකාරයට තමන්ගේ චිත්ත සන්තානය තැන්පත් කර ගැනීම සඳහා කාය වචනය හික්මවා ගැනීම වශයෙන් ඒ ශීලය – පංචශීලය හෝ මේ පෝය අටසිල් හෝ තවත් දශසිල් ආදී වශයෙන් තියෙන යම්කිසි ශීලයක් – ආරම්භක වශයෙන් තමන් සමාදන්වෙලා එදිනෙදා ඒක හරියාකාර රකින්න උත්සාහ කිරීමයි. එයින් ඇතිකර ගන්න, කය වචනය සංසුන්කර ගැනීමෙන් ලැබෙන, ඒ විවේකය තුළින් ඊළඟට සමාධිය - තමන්ගේ සිතේ යම් කිසි කමටහනක්, මෛත්‍රී සිතිවිල්ලක් එහෙම නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොදන ආනාපාන සතිය, අශුභ භාවනාව, මරණ සතිය ආදී යම් කිසි භාවනා කර්මස්ථානයක් තුළින් මේ දුවන සිත එක සිතුවිල්ලක රඳවා ගන්නට උත්සාහවත් වෙන්ට ඕන. ඒක තුළින් ලැබෙන සමාධිය සිතේ ඇති මුළු මහත් ශක්තිය පිළිබඳව තමන්ට අවබෝධයක් ලබා දෙනවා. මතේ සිතේ මේ තරම් ශක්තියක් තියෙනවා නේද, මම මෙතෙක් කල් මේක තේරුම් ගත්තේ නෑ, මේ ඉතා සුළු කොටසකිනුයි මම වැඩ ගත්තේ කියලා අවබෝධය එනවා, යම් කිසි විදියකින් සමාධියක් මතුකර ගන්න පුළුවන් උනානම්.

ඊළඟට එතනිනුත් නවතින්නේ නෑ. මේ සිත තැන්පත් කර ගන්නේ මොකටද? මේ මගේ ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව, යථා ස්වභාවය අවබෝධ කරගැනීමටයි. මේ සංසාරයෙන් මිදීමටයි. ඒකට උපකාර වන මූලික කාරණය බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය නමින් දක්වලා තියෙනවා. ඒ දෙවිදේවතාවුන් බ්‍රහ්මයින් ඇතුළු මේ සැප විඳිනවා කියලා කියන සත්ත්වයින් ඇතුළු මේ මුළු මහත් සංසාරයම දුකක්. මොකද ඒක දුකක් වන්නේ? මේ හැම දේයක්ම අනිත්‍යයි. කිසිම දෙයක් නිත්‍ය වශයෙන් තබාගන්ට බෑ. යමක් අනිත්‍යද ඒ නිසාම එය, ඒ පෙරලෙන ස්වභාවය නිසාම, දුක් ගෙන දෙනවා. ඒක දුකක්. ඒ දුක් ස්වභාවයේ ඇති වෙනස්වන දෙය මමය මගේය කියලා තමන්ගේ වශයෙහි තබා ගන්නට බැරි, තමන්ට පාලනය කර ගත නොහැකි තත්ත්වයක් ලෝකයෙහි තිබෙනවා. ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ලකුණු තුනක්. ලෝකයේ හැම දෙයකම - නුවණින් කල්පනා කරලා බලනකොට, මේ ලකුණු දකින්ට පුළුවන්. ඒ ලකුණු දැකීමට පුළුවන් ඇසක් ඇති කර ගන්ට උත්සාහ වත් වෙන්ට ඕන. ඒ ඇසට කියන්නේ ‘විදර්ශනා ඇස’ කියලා. විදර්ශනා කියලා කියන්නේ විනිවිද දැකීම. ඒ දැකීම සඳහා ලෝකයේ නොයෙකුත් උපකරණ මේ කාලයේ නිපදවලා තියෙනවා. ඉතාම කුඩා දේවල් ලොකු කරලා දකින්ට පුළුවන් අණු දක්නයන් තිබෙනවා අන්වීක්ෂණ කියලා. අන්වීක්ෂණ යන්ත්‍ර, ඊළඟට දුරදක්න හැටියට තියෙනවා තවත් යන්ත්‍ර. මේ හැම එකක්ම යම් කිසි බාහිර උපකරණ මගින් කරන දේවල්. නමුත් මේ විදර්ශනාව කියන එක තමන්ගේ චිත්ත සන්තානය පිරිසිදුකර ගැනීමෙන් අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේ ලෝකයේ යථා ස්වභාවය දැකීමයි. අන්න ඒකට උපකාර වන දේ තමයි ලෝකයේ ඇතිවීම් නැතිවීම් පක්ෂය ගැන නිතර මෙනෙහි කිරීම. හැම කෙනෙකුන්ටම තම තමන්ගේ ප්‍රමාණයෙන් කරන්ට පුළුවන්. අපේ මේ ආශ්වාස ප්‍රශ්වාසය, අපේ මේ ශරීරයේ කොටස් ඇති වෙලා නැතිවෙන ආකාරය. මේ ආහාර පාන හැටියට ගන්නා දේවල් වලට යන කලදසාව. අපි මේ නොයෙකුත් සාප්පු වලට ගිහිල්ලා ගන්න වටිනා ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලට යන කල දසාව. මේ හැම දේකම - අපගේ මේ කුඩා දරුවන්ට, ඉතාමත්ම හුරතල් කරන දරුවන්ට යන කල දසාව. ඊළඟට ඒ අය ක්‍රම ක්‍රමයෙන් වැඩිලා මහළු වියට පත් වෙලා, හැරමිටි වලින් ගිහිල්ලා අන්තිමට නැවතත් අර කුඩා දරුවා ඔසවන්න වගේ මහළු වයසට පත් උනහම ඒ ආත්තලා මුත්තලා වෙලා ඔසවන්නට සිද්ධ වෙනවා.

ඒ විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙනවා. ඒවා ගැන නිතර මෙනෙහි කරන්ට ඕන. ඒ තුළින් තමන්ට පෙනෙනවා මේ ලෝකයේ යථා ස්වභාවය, මේ සංසාරය පිළිබඳ යම් කිසි කලකිරීමක් – කලකිරීම කියන වචනයට බොහෝ දෙනා කැමති නෑ - නමුත් මේ සංසාරය පිළිබඳ යම් ප්‍රමාණයකට කලකිරීමක් ඇතිවෙනවා නම් ඒ ප්‍රමාණයට අර සියලු විදර්ශනා ප්‍රඥාව - අර ප්‍රඥා - දියුණු වෙනවා. සංසාරයෙන් මිදීමට පුළුවන් ශක්තිය තමන් තුළ මුවහත් වෙනවා. අන්න ඒ විදියට විදර්ශනාව වඩල අතීතයේත් ඒ උපාසක උපාසිකාවන් තමන්ගේ ජීවිකාව කොයිතරම් දිළිඳු උනත් කොයිතරම් නුගත් උනත්, ධම්මානුකූලව කල්පනා කරමින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සීල සමාධි ප්‍රඥා වඩලා, වෙනකක් තබා ලෝකෝත්තර මාර්ග තත්වයන් පවා - තම තමන්ගේ නිවෙස් වලදීම - සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියල ඒ තත්ත්ව පවා ලබාගත්තු බව ධර්මයේ සඳහන් වෙනවා.

අන්න එක නිසා මේ පින්වතුන් කර්මය පිළිබඳව මේ තරම් ඇසුවේ මොකටද? මේ කර්මයෙන් මිදීමටයි. මේ කර්මයෙන් මිදීමට නම් උපකාර වන්නේ ධර්මය බව මතක තියාගෙන එතකොට අද මේ පෝය දවසේ මේ පින්වත් පිරිත ආජීව අට්ඨමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වෙලා මෙතෙක් වෙලා මේ ධර්මයට සිත යොදලා ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණමය කුශලය කියන්නේ අපේ සිත තුළ ඇතිවන යම් කිසි වැඩීමක්. මේ වැඩීම අපි වචන විශයෙන් කියනවා නම් මේක දක්වන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් සිත වැඩුනා. ලොකු ශ්‍රද්ධාවක් ඇතිවයි මේ පින්වතුන් මේ ස්ථානයට පැමිණියෙ ධර්මය ඇසීමට. ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුව මෙතෙක් වෙලාවක් - මේ නිකම්ම පොළවේ මෙහෙම ඉඳගෙන ඉන්න පුලුවන් යම්කිසි වීර්යයක් - කොහොම හරි මම මේ ධර්මය ශ්‍රවණය කරන්ට ඕන කියන අවබෝධය ඇතිව වීර්යයක් - ඇතිකර ගත්තා. ඒකත් සිතේ ඇතිවුන තත්වයක්. ශ්‍රද්ධාව, වීර්යය, ඊළඟට ධර්මශ්‍රවණය කරනකොට වචනයක් පාසා කන්දීමට යම් කිසි සතියක් සිහියක් යෙදුවා. ඊළඟට ඒ සිහිය බොහෝ වේලාවක් යොදනකොට පැයක් පමණ වෙලා කෙනෙකුට යම් කිසි ප්‍රමාණයක සමාධියක්, සිතේ එකඟ කමක් ඇතිවෙනවා. ඒ එකඟකම තුළින් තමන් ඇසූ දේවල්, කියවූ දේවල්, තැවත තැවතත් අසන්නට ලැබුනත් ඒවා පිළිබඳව ගැඹුරු වැටහීම් ඇතිවෙනවා. ඒකටයි ප්‍රඥාව කියලා කියන්නේ. ඔය විදියට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාරීවන ඉන්ද්‍රිය ධර්ම - බලධර්ම - යම් යම් ප්‍රමාණවලට තම තමන්ගේ චිත්ත සන්තාන වල තැන්පත් කරගන්ට අවස්ථාවක් ලැබුණා කියලා සතුටු වෙන්න ඕන.

එතකොට අද මේ පින්වත් පිරිස තමන් මේ ධර්මයට යොමුවීම තුළින් ඇතිකරගත්තු ශක්තිය මේක අනාගතයකට තබන්නේ නැතිව මේ ජීවිතය තුළදීම තවත් මුවහත් කරගැනීම් වශයෙන් එදිනෙදා ජීවිතයට ළංකර ගන්ට ඕන ධර්මය. මේ අනිකුත් බාහිර ආර්ථික දේවල් මේවා බටහිර රටවල් වල කොතෙකුත් දියුණු කරගෙන සම්මෘද්ධිමත් උනාට ඒ අයට තේරිලා තියෙනවා ධර්මයේ වටිනාකම. මනුෂ්‍යයින් මේ තරම් ධනය රැස්කර ගත්තත් ඒ බාහිර රටවල, පිස්සන් තත්වයට පත්වෙලා මත්ද්‍රව්‍යවලට යොමුවෙලා, තව නොයෙකුත් භයානක විපත්ති වලට පත්වෙලා දැන් ධර්මය සොයාගෙන එනවා. අපේ රටේ මනුෂ්‍යයින් ඒ වෙනුවට අපේ මේ ධර්මය පැත්තකට දමලා අර සියලු බටහිරින් එන ඒ තත්ව හොයාගෙන පරිහානි මුඛයට ගමන් කරනවා. අන්න එබඳු යුගයක මේ නුවණැති පින්වතුන් අද දවසේ මේ පැය යෙදුවේ තමන්ගේ චිත්ත සන්තානය ධර්මයෙන් පෝෂණය කරලා සංසාර දුක්ඛයෙන් මිදීමට, උතුම්වූ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට තමන් තුළ ශක්තියක් ඇතිකර ගැනීමටයි කියලා හිතලා සතුටුවෙන්ට ඕන.

දැන් කල්පනාකර ගන්ට ඕන විශේෂයෙන්ම මේ පින්වතුන්ට මේ ධර්මශ්‍රවණ ආනිසංසයෙන් අනාගතයේදී නොවමේ ජීවිතයේදීම ශීල, සමාධි, ප්‍රඥා වඩලා හැකි ඉක්මනට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් වූ අමා මහා නිවනින් සැනසෙන්නට ශක්තිය බලය ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාව තබගන්ට ඕනෑ. ඒ වගේම අපි මේ ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය විශයෙන් ඇති කරගත්තු කුශල සම්භාරයයි අපි දැන් ලෝකයාට බෙදා දෙන්නේ. මේ පින්වල වටිනාකම දන්නා අය සිටිනවා, අපේ මේ සාමාන්‍ය ලෝකයා නොදත්තත්. ඒ දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය, ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයක් මේ ස්ථානයට අධිගෘහිත යම් කිසි දෙවි දේවතාවුන් සිටිත්නම් ඒ හැම දෙනාමත් මේ අප විසින් පැයක් තුළ රැස් කර ගත්තා ලද ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය කුසලය අනුමෝදන් වේවා. අනුමෝදන් වී ඒ පැතූ යම් බෝධියෙන් උතුම් වූ අමාමහ නිවනින් සැනසෙන්වා! ඒ වගේම අපටත් ශාසනයටත් ආරක්ෂාව සලසන්වා! කියන ප්‍රාර්ථනාව ඇති කරගන්ට ඕන. ඒ වගේම අවිචියේ පටන් අකනිටාව දක්වා වූ යම්තාක් සත්වයෝ වෙත්ද අපගේ මියගිය ඥාතීන් ඇතුළු, ඒ හැම කෙනෙක්ම අපගේ මේ ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය කුසලය අනුමෝදන් වී යම් දුගති තත්වවල ඇතොත් එයින් අත්මිදී සුගතිතත්ව වලට පත්වී ධර්මමාර්ගයේ යමින් සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඒ මාර්ගඵල ප්‍රතිවේධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ අති ඝෝරවූ සංසාරදුකින් අත්මිදී උතුම් අමාමහ නිවනින් සැනසෙන්වා! එහෙම ප්‍රාර්ථනාව ඇති කරගෙන දැන් ඒ ගාථා කියලා පින් අනුමෝදන් කරන්න.

එත්තාවතා ච අම්හේහි…

13 වන දේශනය

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කංව වහතෝ පදං

යමක වග්ග, ධම්මපද

සැදැහැවත් පින්වතුනි,

බුදු කෙනෙක් ලෝකයේ පහළ වීමම හිතක ඇති ප්‍රාතිහාර්ය ශක්තිය පෙන්නුම් කෙරෙන සිද්ධියක්. හිතක දියුණුවේ, පිරිසිදු බවේ, පහන් බවේ, උපරිම මට්ටම, අපට දකින්නට පුළුවන් වෙන්නේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් තුළින්. ඒ වගේම, ඒ වගේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා, ධර්මය දේශනා කරන්නෙත්, අපේ සිත දියුණු කර ගැනීමට, පිරිසිදු කර ගැනීමට, පහන් කර ගැනීමට මහ පෙන්වීමටයි. මේ සංසාරයෙන් මිදීම කියලා කියන මේ සංසාර විමුක්තියට, සසර දුකින් මිදීම කියන මේ බරපතල වැඩේට, මේ මහා වැඩ පිළිවෙලට, මූලික වන්නේ අපේ සිතයි. මේ හිත ප්‍රයෝජනයට අරගෙනයි - වෙන විද්‍යාත්මක උපක්‍රම වලින් නොවෙයි - මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නෙ. මේ අපේ සිත, පටු වෙන්නෙ පුළුල් වෙන්නෙ, ඒ වගේම පුංචි වෙන්නේ, ලොකු වෙන්නේ, මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ, සිත ගන්නා අරමුණ අනුවයි. ඒ බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වලදී උදාහරණ සහිතවම පෙන්නුම් කරලා දීලා තියෙනවා. අපේ හිත පුංචි අරමුණක් ගත්තොත්, සිත පුංචි වෙනවා, ලොකු අරමුණක් ගත්තොත් ලොකු වෙනවා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවට අදාල නිදාන කථාවෙන් අපට මේ සිතේ ක්‍රියා කාරීත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

සැවැත්නුවර සිටියා, බොහොම ධනවත්, නමුත් ඉතාමත්ම මසුරු බ්‍රාහ්මණයෙක්, මේ බ්‍රාහ්මණයා කාටවත් කිසිදාක් කිසිවක් දුන්නේ නෑ කියන අදහසින්, ඒ අදහස අනුව, සමාජය මේ බමුණට නමක් දුන්නා, පටබැන්දා “අදින්න පුබ්බක” කියලා. අදින්න පුබ්බක කියන වචනෙ සිංහල තේරුම “නුදුන් විරූ”. කවදාවත් කාටවත් දුන්නේ නෑ කියන එක. “නුදුන් විරූ” කියලා මෙයාට නමක් වැටුනා - මේ බ්‍රාහ්මණයාට. මේ කාලේ වගේම ඒ කාලේ මිනිස්සු නම් පටබඳින්න බොහොම දක්ෂ නිසා වෙන්න ඇති. ඉතින් මේ බමුණාට සිටියා එකම පුත්‍රයෙක්. බොහොම ප්‍රියමනාපයි. පුතාට බොහොම ආදරෙයි, එකම දරුවා නිසා. නමුත් ඊට වැඩිය ආදරෙයි තමන්ගේ ධනයට. ඒක නිසා මේ පුතාට ඒ සමාජයේ චාරිත්‍රය අනුව කර්ණාභරණ හඳුනන සිද්ධඋනාම මේ බමුණා කල්පනා කළා “දැන් රන් කරුවෙක් ගෙන්නෙව්වොත් මේ වැඩේට මගෙ ධනය විනාශ වෙනවා. ඒක නිසා මමම කර්ණාභරණ හදන්න ඕන”ය කියලා. පොඩි රත්තරන් කෑලි දෙකක් තලලා මේ දරුවාගෙ කනේ එල්ලුවා. ඉතින් මේ දරුවටත් ඒ විදියටම නමත් පටබැඳුනා සමාජයෙන් මේ කණේ එල්ලපු ආභරණය අනුව “මට්ට කුණ්ඩලී” කියලා. “මට-කොඩොල්”- මට්ටම් කරපු රත්තරනින් කර්ණාභරණ - කඩුක්කන් කියලා කියන්නේ, අන්න ඒ වගේ දෙයක් එල්ලූ නිසා.

ඉතින් ඔය විදියට, මේ දරුවා ඉතාමත්ම දුක්ඛිත විදියට ජීවිතය ගත කළ නිසාම වෙන්නත් ඇති අවුරුදු දහසය වෙතර වෙනකොට පාණ්ඩු රෝගයක් හැදුනා. බරපතල පාණ්ඩු රෝගයක්. මව් බැමිණි කිව්වා බමුණට ගිහිල්ලා වෙදෙක් ගේන්න කියලා. මේ බමුණා කියනවා “පේන්නෙ නැද්ද වෙදෙක් ගෙනාවොත් මගේ ධනය විනාශ වෙන හැටි.” එහෙම කියලා ඒ වෙනුවට කළේ වෙද්දු ලඟට ගිහිල්ලා, වටින් ගොඩින් - වටින් ගොඩින් කථා තාලෙකින්, වෙද්දුන්ගෙන් ඒ බෙහෙත් පිළිවෙලක් දැන ගන්න උත්සාහ කළා. මේ මේ අසුවල් අසුවල් රෝගයට මොනවද දෙන බෙහෙත් කියලා. මේ වෙද මහත්වරු කියන අයත් බොහෝවිට ඔය වටින් ගොඩින් අහන දේවල් වලට ආවාට ගියාට කියන්නේ බෙහෙත්. ඒ වගේම ආවාට ගියාට වෙද මහත්තුරුත් කිවුවා අන්න අසුවල් අසුවල් ගස්වල පොතු මේ වගේ රෝගයට හොඳයි කියලා. මේ බමුණත් ගෙදර ඇවිල්ලා, මේ පොතු හොයාගෙන ඇවිල්ලා, මේවායින් ගොඩ වෙදකමක් කළා. මේ ගොඩ වෙදකම හරි ගියේ නෑ. මේ දරුවගේ රෝගය අසාධ්‍ය උනා, උත්සන්න උනා, මේක හොඳ කරන්ට බැරි තත්ත්වෙකට වගේ පත් උනා. කොහොම හරි බැරිම තැන මේ බ්‍රාහ්මණයා ගිහිල්ලා වෙද මහත්තයෙක් එක්ක ගෙනා ආවා. වෙද මහත්තයෙක් බැලුව හැටියේ තේරුම් ගත්තා, මම මේකට බෙහෙත් කරන්ට ගත්තොත් මගේ නමත් නරක් වෙනවා කියලා. ඒක නිසා “මට වෙන වැඩක් තියෙනවා, වෙන වෙදමහත්තයෙක් ගෙන්නන්න” කියලා හෙමිහිට පිට උනා.

එතකොට බමුණා තේරුම් ගත්තා දැන් මේ දරුවා මරණාසන්නයි කියලා. ඊළඟට කල්පනා කරනවා මේ පුතා මැරුණහම මළගෙට එන අය දකියි මගේ ගෙයි ඇතුලේ තියෙන ධනය, කියලා හිතලා මේ මරණාසන්න දරුවව පිලේ, ඒ ඉස්තෝප්පුවේ, හාන්සි කෙරෙව්වා. එතකොට මෙන්න මේ කියන දවසේ බුදු පියාණන් වහන්සේ වෙනදා වගේම උදෑසන අලුයම් කාලේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය බලා වදාරන කොට මේ මට්ටකුණ්ඩලී ඒ බුදු ඇසට පෙනී ගියා. ඒ මහා කරුණා සමාපත්ති ඥානය බුදුකෙනෙකුන්ට පමණක් විශේෂ වූ මහා පුදුම ඥානයක්. මුළු මහත් සංසාරයේ දියුණු කළ ප්‍රඥාව, මහා කරුණාව, පිහිට කරගෙන බුදු කෙනෙකුට පහළවෙන පුදුම විදියේ සමාපත්තියක්. සමාපත්තියෙන් නැගිටලා බුදු පියාණන් වහන්සේ ලෝකය බලනකොට පෙනෙන්නේ බොහෝවිට අතීත බුදුවරුන් ළඟ නොයෙකුත් කුසල් කරලා ඒවා මෝරලා තියෙන අයයි. ඉතින් කොහොම නමුත් මේ දුක්ඛිත විදියට ජීවිතය අවසාන කරන්න සූදානම් වෙලා ඉන්න මට්ටකුණ්ඩලීත් බුදු පියාණන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා.

ඉතින් බුදු පියාණන් වහන්සේ එදා මහා කරුණාවෙන් ඒ බමුණාගේ ගෙදර තියෙන වීදියට භික්ෂු සංඝයා වහන්සේලා පිරිවරාගෙන පිඬු සිහා වැඩියා. මේ ගෙදර හරියට එනකොට බුදු පියාණන් වහන්සේ දැක්කා මේ දරුවා අර ගේ ඇතුල් දිහාවට හැරිලා නිදගන්නවා. ඒ කියන්නේ බිත්තිය දිහාවට හැරිලා නිදගන්නවා. දැකලා බුදු පියාණන් වහන්සේ අවධානය යොමු කරවන්න කලේ, බුද්ධ රශ්මියක්, එක බුදු රැසක්, ඒ පැත්තට විහිදෙව්වා. එතකොට මේ බිත්තියට ආලෝකය වැටුනහම මේ දරුවා හැරිලා බැලුවා. බලලා බුදු පියාණන් වහන්සේගේ රූප කාය දැකලම විශාල ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන, “අනේ මගේ මේ මෝඩ පියා නිසා මට මේ වගේ බුදු කෙනෙක් දකින්න, උපස්ථාන කරන්න, බණ අහන්න, දන් දෙන්න, අවස්ථාවක් ලැබුනේ නැහැ” කියලා, ඊළඟට අත් දෙක ඔසවන්න උත්සාහ කළා දොහොත් මුදුනේ තබලා වඳින්න. නමුත් දුර්වල අවස්ථාව නිසා, ඇඟිලි ටික එකතු උනා විතරයි. ඊළඟට කල්පනා කළා මට දැන් කරන්න තියෙන්නේ හිත පහදවා ගැනීම පමණයි කියලා මුළු හිතින්ම, සාමාන්‍ය සැක සහිත මොකුත් නැතිව - එහෙම පිටින්ම සම්පූර්ණ හිතම යොදලා හිත පහදවා ගත්තා බුදු පියාණන් වහන්සේ කෙරෙහි. ඊළඟට බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්දෙද්දීම බුදු පියාණන් වහන්සේ කල්පනා කළා ‘මේ පින්ම ඇති මෙයාට’ කියලා. බුදු පියාණන් වහන්සේ එතනින් වැඩම කළා. බුදු පියාණන් වහන්සේ නොපෙනෙන මායිමට - නොපෙනෙන හරියට - වඩිනවත් එක්කම මේ මට්ටකුණ්ඩලී දරුවා කලුරිය කරලා, මරණයට පත්වෙලා, ඒ පැහැදුණු සිතින්ම මරණයට පත්වෙලා, තව්තිසා දිව්‍යලෝකෙ තිස් යොදුන් රන් විමානයක ස්වර්ණාභරණ වලින් සැරසුණු දිව්‍ය පුත්‍රයෙක්ව උත්පත්තිය ලැබුවා.

එතකොට එහෙම ඉපදිලා ඊළඟට බැලුවා මේ දිව්‍යසම්පත්තිය කොහොමද මට ලැබුනේ කියලා. ඒ වගේ දෙවිවරු හැමකෙනෙක්ම ඒ විදියට ආවර්ජනා කරලා බලනවා. මා මේ තත්ත්වයට ආවේ කොහොමද කියලා. එතකොට පෙනුනා තමන්ගේ පිය බමුණාගේ මේ තත්ත්වය. බමුණා කළේ මේ මළ කඳ දවලා ඉවර වෙලා හැමදාම සොහොනට ගිහිල්ලා අඬනවා. “කෝ මගේ එකම පුතා, කෝ මගේ එකම පුතා” කියලා. බමුණාගේ මේ හැසිරීම දුටුවා. දැකලා මට්ටකුණ්ඩලී දිව්‍යපුත්‍රයා කල්පනා කළා එයාට පාඩමක් උගන්වන්න ඕන කියලා. මට්ටකුණ්ඩලී ස්වරූපයෙන්ම නමුත් ස්වර්ණාභරණ ආදිය පැළඳි තරුණයෙක් හැටියට ඒ සොහොන ළඟට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. එතකොට මේ බමුණා මේ දිව්‍යපුත්‍රයා දැකලා - තමන්ගේ දරුවගේ ස්වරූපය තියෙන නිසාද කොහොද, යම් කිසි විශේෂ ඇල්මකින් ඇහුවා “මොකද අඬන්නේ” කියලා. එතකොට කියනවා “මට මේ රත්තරන් කරත්ත කුඩුවක් ලැබුනා. ඒකට හොඳ රෝද හොයාගන්නා බැරිකම නිසා ඒ දුකින් මම මේ මැරෙන්නයි බලාපොරොත්තුව” කියලා, දිවි නසා ගන්නවා කියලා. එතකොට බමුණා කියනවා “මම ඔබට ඕන නම් රත්තරන් වලින් හරි රිදියෙන් හරි ලෝහයෙන් හරි ඔබට ඕන කියන විදියට මම රෝද හදවලා දෙන්නම්” එහෙම කිව්වහම මේ දිව්‍ය පුත්‍රයා කියනවා “මට වෙන රෝද වලින් වැඩක් නෑහැ, ඉරයි හඳයි තමයි මට ඕන” කියලා. එතකොට බමුණා කියනවා “ඔය මෝඩ ළමයා මොකද මේ විදියට තමාට ලබා ගන්ට බැරි දෙයක් පතන්නේ?” කියලා. එතකොට මේ දිව්‍ය පුත්‍රයා කියනවා “මම නම් මේ දකින්න ලැබෙන ඉරයි හඳයි පතන්නේ. ඔබ පතන්නේ මිය ගිය පුත්‍රයා. දකින්ට නොලැබෙන කෙනෙක් පතන්නේ. අපි දෙන්නගෙන් වැඩිය මෝඩයා කවුද” කියලා ඇහුවම ඔන්න බමුණට නුවණ පෑදුනා. ඒ වගේම ශෝකය නිවා ගත්තා. නිවාගෙන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාට ස්තුති කරමින් ප්‍රකාශ කළා මම ශෝකය නිවා ගත්තා කියලා. ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා “මම ඔබගේ පුත්‍රයා, අවසාන මොහොතේ මේ විදියට සිත පහදවා ගෙන යම් කිසි කුසල් සිතක විපාක වශයෙන් මම මෙවැනි උත්පත්තියක් ලැබුවා” කියලා. එතකොට බමුණා කියනවා “මම දැක්කේ නෑ ඔබ දන්දෙනවා, සිල් රැකීම් ආදී ධර්මය ඇසීම් ආදී කිසි පින් කමක් කරනවා, කොහොමද මේ තත්ත්වය ලැබුනේ කියලා.” එතකොට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරනවා “මම බුදු පියාණන් වහන්සේ මෙහෙ වැඩිය අවස්ථාවේදී සිත පහදවා ගත්තා. ඒ පහන් සිතෙහි, ඒ පැහැදුන සිතෙහි, විපාකයක් වශයෙන් මේ විදියේ තත්ත්වයක් ලැබුවා” කියලා. ඊළඟට බමුණට අවවාද කරනවා “ඔබත් තුරුණුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙන්නා. බුදු පියාණන් වහන්සේ දැකලා දන්දීලා බණ අහලා ඒ විදියට ඒ කුසල් රැස්කර ගන්න” කියලා අතුරුදහන් උනා, මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා.

බමුණත් බුදු පියාණන් වහන්සේ දකින්න ගිහිල්ලා දනට ආරාධනා කරලා ඔන්න ඒ ගෙදර දන් පිළියෙල කළා. බුදු පියාණන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේලාත් දනට වැඩම කළා. ඒ වගේම මිථ්‍යා දෘෂ්ටිකයින් පවා මේ බමුණාගේ ගෙදරට පිරිසක් විශයෙන් රැස් උනා. මේ අවස්ථාවේදී බමුණා දානය පිළිගන්වලා දන් වළදලා අවසානයේදී බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා “දන්දීම් සිල්රැකීම් බණ ඇසීම් ආදී කිසිවක් නැතිව ඔබ වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් පමණකින් කොහොමටද දිව්‍යලෝක සම්පත් ලබාගන්නා පුළුවන්ද?” කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “ඇයි බමුණ, නුඹේ පුතාම ඒ කාරණය කිව්වා නේද” කියලා. මේ විදියට ඊළඟට බුදු පියාණන් වහන්සම ඒ කාරණය ප්‍රකාශ කළහම ඒ පිරිස අතර සමහර කෙනෙක් සැක ඇති කර ගත්තා. කොහොමද මේ සිත පහදවා ගැනීමෙන් පමණක් මේ තරම් ලොකු සම්පත්තියක් ලබන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ ඊළඟට අධිෂ්ඨාන කළා මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා විමානයත් සමගම මෙහි ඒවා කියලා. ඒ වගේම ඒ දිව්‍යපුත්‍රයා විමානයක් සහිතවම ඒ ස්ථානයට පැමිණිලා විමානයෙන් බැහැලා බුදු පියාණන් වහන්සේට වැඳලා එකත්පසෙක සිටියාම බුදුපියාණන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයා ලවාම ඒ කළ කර්මය පිළිබඳව කාරණා අසලා, ප්‍රශ්නෝත්තර වශයෙන් අසලා, පිරිසගෙ සැක දුරු කළා. ඒ පිරිස එකකොට ලොකු පැහැදීමක් ඇතිකර ගත්තා. බුදු ගුණය කොයිතරම් ආශ්චර්යවත්ද? බුදු කෙනෙක් පිළිබඳව හිත පහදවා ගත් පමණින් මේ තරම් සම්පත්තියක් ලබන්න පුළුවන් නේද කියලා ලොකු ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කර ගත්තා. ඒ වගේ, බුදු පියාණන් වහන්සේ ඊළඟට ඒ කාරණය පැහැදිලි කිරීම වශයෙන් අර අපි කලින් සඳහන් කළ ගාථා ධර්මයෙන් ඉතාමත්ම වටිනා ධර්ම පණිවිඩයක් ලෝකයාට දී වදාළා මේ සිද්ධිය ආශ්‍රයෙන්.

මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී

ඒ කියන්නේ, “මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා” දැන් ඔය මෙතන ධම්ම කියලා කියන එක සාමාන්‍යයෙන් තෝරනවා වේදනා, සංඥා, චේතනා, වැනි සිතේ පහළ වන ධර්මයන්. ඒ හැම එකටම මනස පෙරටු වෙනවා, සිත පෙරටු වෙනවා ඒ වගේම මනස ඒවාට ශ්‍රේෂ්ඨයි. සිත ඒවාට ශ්‍රේෂ්ඨයි. හිතෙන්මයි ඒවා සකස් වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කාරණය එහෙම නිසා “මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා” ඉතාමන්ම පැහැදුනු සිතකින් යම් කිසි පැහැදුන සිතකින් යමෙක් යමක් කියයි නම් හෝ කරයි නම් “තතො නං සුඛමෙන්වේති-ඡායාච අනපායිනී” එවිට ඒ පුද්ගලයා - ඒ කර්මය කළ පුද්ගලයා - පිටුපස තමන්ගේ ඡායාව, සෙවනැල්ල, වගේ එහි විපාක, සැප විපාක, එනවයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා. එතකොට මේ ගාථාව තුළ තියෙන අර්ථය කොයි තරම් ගැඹුරුද කියතොත් ඒ ගාථාව අහල මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වගේම අදින්න පුබ්බික බමුණා පවා සෝවාන් ඵලයට පත් උනා කියලා කියනවා. ඒ කියන්නේ සමහර විට අතීතයේ මෝරලා තිබුන කුසල් මතුවෙන්නට ඇති ඒ ගාථාව අහලා. එපමණක් නොවෙයි සුවාසු දහසක් ප්‍රාණීන්ට ධම්මාවබෝධය උනා කියලා කියනවා. එතන ඒ දහස් ගණන් කියලා කියවෙන්නෙ දේවියනුත් ඇතුළුව. මේ බණක් අපි දේශනා කරන කොට මේ පෙනෙන මනුෂ්‍යයින් පමණක් නොවෙයි නොයෙකුත් දේවිදරුන් භූත ආදී සත්ත්ව කොටස් සසර දුකින් මිදීමට කැමති, තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති, නොයෙකුත් සත්ත්ව කොට්ඨාස ඒවාට කන්දෙනවා. බුදු පියාණන් වහන්සේ ධර්මයක් දේශනා කරතකොට විශේෂයෙන්ම ඒ හැම දෙනෙක්ම ඒවාට කන්දෙනවා. අන්න ඒක නිසා තමයි ඔය දහස් ගණන් වලින් සඳහන් වෙන්නෙ ඒවයේ ආනිශංස නෙලාගත්තු අය ගැන.

එතකොට මෙන්න මේ ගාථාව ගැන අපි කල්පනා කරලා බලන්ට ඕනෑ. ඒ වගේම මේ ගාථාවට තිබෙන නිදාන කථා වස්තුවෙන් ගත හැකි ආදර්ශයත් අපේ ජීවිතවලට ළංකර ගන්ට ඕනෑ. හැම ධර්ම කථාවකින්ම, හැම ගාථාවකින්ම, අපේ ජීවිතයට යම් කිසි ආදර්ශයක්, යම් කිසි ධර්ම පණිවිඩයක්, එකතු කර ගන්ට ඕනෑ. මේ බණ අහනවා කියන එක ඇසීම් මාත්‍රයකින් පින් එකතු වෙන එකක් නොවෙයි. ඒක නිසා දැන් මේ කථාන්තරය - අපට හිතාගන්න පුළුවන් – ඉතාමත්ම හොඳ නිදර්ශනයක් තමයි මේ සිත හැම දේටම ප්‍රධාන වෙන බවට. අර අදින්න පුබ්බක ගත කළ ජීවිතය දිහා බැලුවහම ඒ කාරණය අපට පැහැදිලි වෙනවා. මේ බමුණා කොයි තරම් ධනය තිබුනත් සිතෙන් දුප්පත්. එයින් අපට පෙනෙනවා පොහොසත් වීම හෝ දුප්පත් වීම ධනයෙන් පමණක් වෙන දෙයක් නොවෙයි. විශාල ධනයක් තිබුණත් යම් කිසි කෙනෙක් මසුරු නම් ඒ තැනැත්තා හිතෙන් නිතරම දුප්පත්. ‘මේ මදි’ එහෙම නැත්නම් “මම තාම දුප්පත්. මම තාම නියම විදියට පොහොසත් උනේ නෑ” කියලා, ඒ තැනැත්තාගේ මසුරුකම නිසා හිතෙනවා. ඉතින් එක නිසා මේ අදින්න පුබ්බක බමුණත් අර තරම් ධනයක් තිබුනට මොකද සිතෙන් දුප්පත්. බොහොම දුගී පුද්ගලයෙක්. ඒ වගේම මසුරු සිතක තියෙන අඳුරු බව, පටු බව, ඒ බමුණා කළ කී දේවලිනුත් අපට පෙනුනා. මෙයින් අපට පෙනෙනවා, මේ සිතම හැම දේටම ප්‍රධාන බව. ඊළඟට ඒ වගේම තමයි දැන්, ඒ හිතක් අඳුරුවීම, ඊළඟට ඒක ආලෝකමත් වීම, කියන දේවල්. මෙන්න මේක ඉතාමත්ම ගැඹුරින් කල්පනා කළ යුතු දෙයක්. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, මේ අඳුරු ධර්ම කියලා කොටසක් තිබෙනවා, ඊළඟට ඒ වගේම ආලෝක ධර්ම, ආලෝකවත් ධර්ම කියලා කොටසකුත් තිබෙනවා.

“කණ්හං ධම්මං විප්පහාය - සුක්කං භාවෙථ පණ්ඩිතො” කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. ‘නුවණැත්තා කළු ධර්ම අතහැර සුදු ධර්ම වඩන්නේය.’ අඳුරු ධර්ම, ඒ කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ, මේවා කළු ධර්ම. අලෝභ, අද්වේශ, අමෝහ කියලා කියන ඒවා සුදු ධර්ම. මේවා ආලෝකවත් ධර්ම. ශුකලධර්ම කියලා කියනවා. මෙන්න මේ විදියට අපට පේනවා අර බමුණා අඳුරු ධර්ම නිසා සිත අඳුරු කරගෙනයි තිබුනේ. ඊළඟට අනිත් අතට අපි කල්පනා කරලා බලන කොට මේ මට්ටකුණ්ඩලී කුඩා දරුවා අර බමුණා තරම් පොහොසත් නෑ. මැරෙන අවස්ථාවේ ඉතාම දුගීව, අසරණව, කණේ එල්ලපු රත්කරන් කැලි දෙක විතරයි තිබුනෙ. නමුත් අර තරම් අර දිව්‍යාත්මභාවයක් ලැබුවේ කොහොමද? සිතෙන් පොහොසත් උනා. සිත පොහොසත් කර ගත්තා. කොහොමද සිත පොහොසත් කර ගත්තේ? ඒ කාරණය ගැන අපි හොඳට කල්පනා කරලා බලන්ට ඕනෑ. සිත පොහොසත් කර ගත්තේ ලෝකයේ ඇති අතිශයින්ම උතුම් වූ, අග්‍ර වූ රත්නය, සිතට අරමුණු කර ගත්තා. ලෝකයේ කියෙන සියළුම රත්නයන් අතර බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි, අග්‍රයි, කියල බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඔය රතන සූත්‍රයේ එහෙමත් සඳහන් වෙනවා.

‘යං කිංචි විත්තං ඉධවා හුරංවා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන’……

කියලා. ඔය විදියට සඳහන් වෙනවා. යම් රත්නයක් තියෙනවා නම් මැණිකක් තියෙනවා නම් ලෝකයේ - මෙලොව හෝ එහෙම නැත්නම් වෙන ලෝකයක හෝ නැත්නම් දිව්‍ය ලෝක වල හෝ – ඒ කිසිම රත්නයක් බුද්ධරත්නය – තථාගතයන් වහන්සේ - තරම් වටින්නේ නැත. ඒ වගේම,

‘යං කිංචි රතනං ලෝකෙ
විජ්ජති විවිධා පුථු
රතනං බුද්ධසමං නත්ථි
තස්මා සොත්ථි භවන්තු තෙ’

කියලා ආශිර්වාද ගාථා එහෙම තියෙනවා. යම් තාක් ලෝකයේ විවිධ රත්නයන් තියෙනවා නම් ඒ බුද්ධ රත්නය හා සමාන රත්නයක් නැත. එපමණක් නොවෙයි බුදු පියාණන් වහන්සේටම ප්‍රකාශ කරන්ට සිද්ධ උනා - ලෝකයා අඳුනන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ - ඒ තථාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ අග්‍රම පුද්ගලයා බව. අග්ගප්පසාද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා–

‘යාවතා භික්ඛවේ සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤීනො වා තථාගතො තෙසං අග්ගං අක්ඛායති අරහං සම්මා සම්බුද්ධා. යේ කිසිවේ බුදෙහෝ පසන්නා අග්ගය තෙ පසන්නා අග්ගො ඛෝ පන පසන්නානං අග්ග විපාකො හෝති’

මහණෙනි යම්තාක් අපා, දෙපා, සිව්පා, බහුපා, රූපී, අරූපී, සඤ‍්ඤි, අසඤ්ඤි, නෙවසඤ්ඤී නාසඤ්ඤී කියලා කියන ඒ සත්ව කොට්ඨාශ වෙත්ද . ඒ සියළුම සත්ත්වයින් අතර තථාගත අරහත් සම්මා සම්බුද්ධ කෙනෙකුත් අග්‍රවෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. මහණෙනි යම් කෙනෙකුත් ඒ අග්‍රවූ බුදු කෙනෙකුත් කෙරෙහි සිත පහදවා ගත්තාහුද, ඒ සිත පහදවා ගත්තේ ලෝකයේ අග්‍රවූ පුද්ගලයා කෙරෙහියි. ඒ අග්‍රවූ කෙනෙකුත් කෙරෙහි - අග්‍රවූ වස්තුවක් කෙරෙහි සිත පහදවා තැබීමේ විපාකයත් අග්‍රයි,” කියලා ඒ විදියට බුදු පියාණන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේ ප්‍රකාශ කොට වදාළා. එයින් අපට පෙනෙනවා බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම කොයි තරම් ආනිශංස සම්පන්නද කියලා. මේ මොහොතකට සිත පහදවා ගත්ත පමණින් මෙපමණ සම්පත්තියක් ලබන්නේ කොහොමද කියලා අපි සමහර විට කල්පනා කරනවා. මේ කාලේ විශේෂයෙන්ම, සිතට වඩා බාහිර දේවල් වලට සිත යන කාලයක් මේක. ඒවායේ ලොකුකම, විශාලකම, පුදුම බව. මේවා ගැන ලෝකයා බොහොම කතා කරනවා. මේ නොපෙනෙන හිතේ ඇති ශක්තිය, එක මොහොතක පවා හිතක ඇති කරගන්න පුළුවන් ශක්තිය, ගැන සැක උපදවා ගන්නවා. මෙච්චර දෙයක් කරලා කොහොමද මේ වගේ ලොකු සම්පත්තියක් ලබන්නේ කියල. නමුත් අපි හිතලා බලන්න ඕන මේ සිතේ ක්‍රියාකාරිත්වය බොහොම ක්ෂණිකයි, බොහොම ශීඝ්‍රයි. මේ ශීඝ්‍රව ක්‍රියා කරන සිත තුළ එක මොහොතක ඇතිකර ගන්න පුළුවන්, විශාල ආනිශංස ගෙන දෙන ශක්තියක්. දැන් මෙතන බුදුපියාණන් වහන්සේ කෙරෙහි අර සුළු මොහොතකටයි, එහෙම නැත්නම් සුළු වෙලාවකයි, අර මට්ටකුණ්ඩලී සිත පහදවා ගත්තේ. එපමණක් ඕන නෑ. දැන් ඉතාම සුළු මොහොතක්, අපි මේ ක්‍ෂණයක් කියන අසුරක් ගහන වෙලාව වගේ සුළු වෙලාවකට හරි, සිතේ යම් කිසි ප්‍රසාදයක්, විවරයක් ඇති උනා නම් අන්න ඒ තුළින් හුඟක් විශාල වටිනාකමක් ඇති ආනිශංසයක් නෙලා ගන්න පුළුවන්. දැන් මේ පින්වතුන් දන්නවා - ඔය මහා ඝනාන්ධකාර රාත්‍රියක් ගැන හිතලා බලමු. දැන් මේ කාලයේ තියෙන්නෙ වගේ මහා වැසි කුණාටු සහිත රාත්‍රියක්, අර පලන්න බැරි තරම් අඳුරක් තියෙන රාත්‍රියක් ගැන හිතලා බලමු. එබඳු ඒ රාත්‍රියක එක මොහොතකට විදුලි කෙටුවොත්, ඒ විදුලි කොටන වේලාවේදී, ඉතාම සුළු ක්‍ෂණයකින්, ඔන්න අවට තියෙන ඔක්කොම හොඳට පැහැදිලිව පෙනෙනවා. අන්න ඒ වගේ සිතේ විවරයක් ඇතිවෙනවා අර ඒ ගන්න ප්‍රසාද අරමුණ අනුව, සිත පහදවා ගැනීමේ අරමුණ අනුව. අර තරම් අර අඳුරු රාත්‍රියක, ඒ විදියට සුළු මොහොතක පහළ වෙන විදුලි එළියෙන් හුඟක් වැඩ ගන්න පුළුවන්. අතීතයේ එහෙම වැඩ ගත්ත අය ඉන්නවා. අතීතයේ කථාන්තර තියෙනවා, දැන් මේ කාලයේ වෙඩික්කාකාරයන් වගේ ඒ කාලේ දූනුවායන් තමන්ගේ දක්ෂකම් පෙන්නන්න කලේ (ඒක සඳහන් වෙන්නෙ මේ විදියටයි) දැන් මිය දුනුවාය තමාගේ දක්ෂකම පෙන්නල තෑගි දිනාගන්න, එහෙම නැතිනම් වාර්තා පිහිටුවන්න, ලැස්තිවෙලා ඊතලය ලැස්ති කරගෙන ඉන්නවා අඳුරු රාත්‍රියක. අර විදුලි කොටන වෙලාව එනකන්. එහා ඈත එල්ලලා තියෙනවා අශ්වයෙකුගේ වල්ගයකින් ගත්තු ඉතාමත් සියුම් කෙන්දක්. ඉතින් දැන් කරන්න තියෙන හපන්කම මොකක්ද? මේ අශ්ව ලෝමය පලන්න ඕන අර ඊතලෙන්. මේකට ලැස්තිවෙලා ඉන්නවා. විදුලි කොටනවත් එක්කම විදිනවා. මේක හරියට කලොත් ඔන්න ඒ තැනැත්තා දක්ෂ දූනුවායෙක්. ඉතින් මේක උපමාවකට කියනවා - අර ක්‍ෂණයක් තුළයි අර තරම් හපන්කමක් කළේ. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා කොතෙකුත් අපේ බෞද්ධ කවියන් එහෙම ප්‍රකාශ කරනවා

“අඳුරෙහි අස් ලොම විඳිනට දුර දී
විදුලිය පැහැ වැරදුන හොත් වර දී
විදුලිය වන් මේ කය ලත් තැන දී
සිදු නොකළොත් මතු සඟමොක් වර දී”

මේ අඳුරෙහි අශ්ව ලෝමයක් විදින මොහොතෙහි මේක හරියට කරගත්තොත් අන්න එතකොට පුළුවන් ඒකේ ආනිශංස නෙලා ගන්න. දැන් මේ ක්‍ෂණය ගැන මේ කාලේ බොහෝ දෙනා කථා කරනවා. මේ ජීවිතය තුළ, ක්‍ෂණිකව වැඩ කරන්ට ඕන කියලා. මේ ජීවිතය තුළ තියෙන ක්‍ෂණ ගැනයි අපි මේ කථා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ, ප්‍රකාශ කරනවා, මේ අපේ මුළු මනුෂ්‍ය ආත්ම භාවයම එක ක්‍ෂණයක් කියලා, එක මොහොතක් කියලා. ඒක හේතු සහිතවයි ප්‍රකාශ කරන්නේ. අපට නම් මේක ලොකු කාලයක් හැටියටයි හිතෙන්නේ. නමුත් මේ මනුෂ්‍ය ජීවිතය, අවුරුදු සීයකටත් වඩා අඩු ජීවිත කාලය, ඒ කල්ප ගණන් දිග බ්‍රහ්ම ආත්ම භාව සමග සංසන්දනය කරලා බලනකොට, සසඳලා බලනකොට, මේක එක ක්‍ෂණයක් වගෙයි. මේ මහා දීර්ඝ සංසාරයේ අවුරුදු කීපයක් ගත කරන මේ අපි ලොකුවට හිතන ජීවිතය, ඇත්ත වශයෙන්ම එක ක්‍ෂණයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් මනුෂ්‍ය ජීවිතයම, එක ක්‍ෂණයක් හැටියට හඳුන්වනවා. දැන් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නුම් කරනවා, මේ බුද්ධෝත්පාද කාලයේ ලබන මනුෂ්‍ය ආත්ම භාවය ක්‍ෂණයක් පමණක් නොවෙයි ක්‍ෂණ සම්පත්තියක්. ඉතාම දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ ක්‍ෂණයක් හැටියට හඳුන්වනවා - ක්‍ෂණ සම්පත්තියක්. බුද්ධෝත්පාද කාලයේ යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරෙන්න පුළුවන් විදියේ අවබෝධ ශක්තියක්, ඥාන ශක්තියක් ඇතිව ධර්මය අසන්නට පුළුවන් ප්‍රදේශයක, උත්පත්තිය ලැබුවා නම්, ඒකට කියනවා ක්‍ෂණ සම්පත්තිය කියලා. ඉතාම වටිනා ක්‍ෂණයක්. අන්න ඒ ක්‍ෂණය තමයි අර කවියා උපමා කරලා තියෙන්නේ. “විදුලිය වන් මේ කය ලත්තැන දී” කියලා කියන්නේ මේ මනුෂ්‍ය ආත්මභාවය. මේ මනුෂ්‍ය කයම, හරියට අර විදුලිය කෙටීමක් වගේ. විදුලි එලියක් වගේ ඒ තරම් සුළු මොහොතක් මේ ශරීරය පවතින්නේ, මේ ආත්මභාවය පවතින්නේ. අන්න ඒක නිසා මේ ක්‍ෂණය කියන එක අපි තේරුම් ගන්න ඕන, බෞද්ධයින් හැටියට මේ මුළු මනුෂ්‍ය ජීවිතයම එක ක්‍ෂණයක් හැටියට.

එහෙම කල්පනා කළොත් මේ කුසල් සිත් ඇති කර ගැනීම, පින් කිරීම, කියන එක අර මට්ටකුණ්ඩලී කළා වගේ අවසාන මොහොත එතකල් බලා සිටිය යුතු දෙයක් නොවෙයි. මරණාසන්න මොහොතේදී පමණක් මේක කරහම පුළුවන් අපිට දිව්‍යලෝකෙ යන්න කියලා ඒ විදියේ වැරදි අදහස් ඇති කරගන්න නරකයි. දැන් සමහර විට මේ කාලෙ සමහර අය එහෙම කල්පනා කරනවා. අයථා විධියට ධනය රැස් කරගෙන නොයෙකුත් අපරාධ කරමින් සිටිනවා. අවසාන අවස්ථාවේදී සංඝයාවහන්සේ කෙනෙක් ගෙන්වලා බණ ටිකක් අහලා දිව්‍යලෝකෙ යන්න බලාපොරොත්තු වෙනවා. ඒක අර මට්ටකුණ්ඩලී අතීතයේ බුදුවරුන් ළහ පාරමී ධර්ම පුරලා දියුණු කෙනෙක් නිසා ඒ විදියට කරන්ට පුළුවන් උනාට එපමණකින්ම මේ හැම දෙයක්ම සාර්ථක වෙන්නෙ නෑ. ඇත්ත වශයෙන්ම අර මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ඒ තරම් තත්ත්වයක් ලැබුවේ යම් කිසි ධර්මතාවක්, ඒ කර්මය පිළිබඳ යම් කිසි ගැඹුරු කාරණයක්, නිසයි. මොකද කර්මානුරුපව සත්ත්වයා ඒ ඒ තැන්වල උපදිනවා. නමුත් අර ආසන්න කර්මය කියලා කියන මරණාසන්න අවස්ථාවේ ඒ එන නිමිත්ත අනුව ඇති කරගත්තු කර්මය බොහොම බල සම්පන්නයි. එක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ මට්ටකුණ්ඩලීට ඒ ආසන්න සිත පිරිසිදු කර ගන්න, කුසල් කරන්න, අවස්ථාවක් දීමටයි ඒ වැඩම කළේ. නමුත් ඒ හපන්කම හැමෝටම කරන්න බෑ. සමහර විට ජීවිත කාලය තුළ කළ පාපකම් නිසා වෙන නිමිත්තක් ඉදිරිපත් වෙලා නරක තැනක උත්පත්තිය ලබන්නා සිද්ධ වෙනවා. අර දුනුවායා අර විදියට අස්ව ලෝමයක් විද්දේ දීර්ඝ කාලයක් ඒ විදියට යම්කිසි උත්සාහයක්, ඒ සඳහා පුහුණුවක් යොදලයි. එක පාරටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඉතින් මෙතන කියන්න තියෙන්නේ අපට - මෙතන හිතා ගන්න තියෙන්නේ – මේ මරණාසන්න අවස්ථාව, නැත්නම් වයෝවෘද්ධ අවස්ථාව, එනකන් සිටිය යුතු නෑ. මුළු මහත් ජීවිතයම එක ක්‍ෂණයක් හැටියට හිතලා, හැම තිස්සේම මෙන්න මේ සිත, පහන් සිත, මේ පැහැදුන සිත, පිරිසිදු සිත, ආලෝකවත් සිත, අප තුළ ඇති කරගන්න උත්සාහවත් වෙන්ට ඕනෑ. මොකද, අර කලු ධර්ම ඉදිරිපත් උනොත් අපි අන්ධකාරයකටයි වැටෙන්නේ. සුදු ධර්ම ඉදිරිපත් කර ගත්තොත් ඔන්න හොඳ තැනක උත්පත්තිය ලබනවා. එපමණක් නොවෙයි ක්‍රම ක්‍රමයෙන් අපට නිවනට ළං වෙන්න පුළුවන්. නිවන කියලා කියන්නේ ලෝභයයි, ද්වේශයයි, මෝහයයි කියන මේ කලු ධර්ම වලින් සිත මුදාගැනීමයි.

එතකොට මෙයින් අපට හිතා ගන්නා පුළුවන් මේ ක්‍ෂණයක ඇති වටිනාකමත්, ඒ වගේම මේක නිතරම පුරුදු පුහුණු කළ යුතු දෙයක් බවත්. අර දුනුවායා මේ ගැන උත්සාහවන් වෙනවා වගේ බෞද්ධයා කියන කෙනා හැම තිස්සෙම සිත ගැන සෙවිල්ලෙන් සිටින්ට ඕන. මේ සිතේ පහළ වන ධර්ම - මේවා සිතේ පැහැදීමට හේතු වන දේවල් ද එහෙම නැත්නම් අවුල් වෙන දේවල්ද කියලා. දැන් පැහැදීම කියන වචනය – මෙතන මේ “පසන්න” කියලා කියන්නෙ පැහැදීම. මෙතෙන්දි මේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා පිළිබඳව සඳහන් වෙන්නෙ ඒ පැහැදුන සිතේ ආනිශංසයස්. පැහැදීම කියන එකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්, දැන් වැස්සෙන් පස්සේ වතුර ගලාගෙන යනකොට මඩ සහිත ඉතාමත් අප්‍රසන්න විදියට ගලාගෙන යන වතුරක් දැක්කහම අපේ සිතේ තත්ත්වය කොහොමද? ඊළඟට හොදට පැහැදුනු දියක්, පැහැදිච්ච දියක්, දිහා බලනකොට අපේ සිත පැහැදෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ අරමුණක්, අග්‍ර අරමුණක්, අපේ සිතට එකතු කරගත්තම, අපේ සිතට ළං කර ගත්තහම, අපේ සිත පැහැදෙනවා. ඒක නිසා ශ්‍රද්ධාවත් එක්කම යන වචනයක් “පසාද” කියන එක. “සද්ධා පසනේනා” කියලා කියනවා. ශ්‍රද්ධාවත් එක්කම පැහැදීම යනවා. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඉතාමත්ම වැදගත් දෙයක් බව අපට මෙයින් පෙනෙනවා. තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති සිත විචිකිච්ඡාව , දෙගිඩියාව, සැකය - මේවා නිසා අඳුරු වෙලයි තියෙන්නේ. හරියට අර කැළඹුණු දියක් වගේ. බොරවුන දියක් වගේ, ඒ අයගේ සිත්. නමුත් බුදු පියාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධාවක් ඇති කරගත්තා නම් ඒ එක්කම සිතේ ලොකු පැහැදීමක් ඇතිවෙනවා. මේක අර පින්වතුන්ට එදිනෙදා ජීවිතයේ පවා ප්‍රත්‍යක්ෂ වෙනවා.

ඒ මට්ටකුණ්ඩලී දිව්‍ය සුත්‍රයා බුදු පියාණන් වහන්සේගේ රූප කාය, ශරීරය, දැකලයි ඒ සිත පහදවා ගත්තේ. දැන් අපට ඒ බුද්ධකාය දකින්නට ලැබෙන්නෙ නැතත් අපට ධර්මකාය දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ ගුණ ශරීරය අපට දකින්න පුළුවන්. ඒක නිසා මෙතනින් මේ, අපට විශේෂයෙන්ම හිතාගන්නා තියෙන්නෙ ‘බුද්ධානුස්සති භාවනාවේ’ වටිනාකමයි. බුදු ගුණ මෙනෙහි කිරීම. බුදුගුණ තුළින් අපට බුදු පියාණන් වහන්සේ දකින්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ නවගුණ පාඨය මෙනෙහි කරලා ඒ අරහං ආදී ඒ ගුණයන් ගැන හිත යොදවලා තමන්ගෙ හිතට ගැලපෙන යම් කිසි ගුණයක් මතුකරගෙන “අරහං අරහං අරහං” කියලා එහෙම නැත්නම් ‘බුද්ධෝ’ ‘සම්මා සම්බුද්ධෝ’ ආදී යම් කිසි පදයක් නිතර භාවනාව වගේ සිතට මතුකගරගන්න පුරුදු කර ගත්තොත්, ඒ තුළින් ලොකු ප්‍රසාදයක්, එදිනෙදා ජීවිතයේ කටයූතු වලට ආලෝකයක්, ලබාගන්න පුළුවන්. දැන් අර ගාථාවේ ප්‍රකාශ උනා, පසන්න සිතකින්, ප්‍රසාද වූ සිතකින් “භාසතිවා කරෝති වා” යම් කිසි කෙනෙකුත් යම් කිසි වචනයක් ප්‍රකාශ කරනවා නම්, එහෙම නැති නම් ක්‍රියාවක් කරනවා නම්, ඒ තැනැත්තාගේ හෙවනැල්ල වගේ එහි සැප විපාක පසු පස එනවා කියලා. අපි පාවිච්චි කරන වචනයට, කරන ක්‍රියාවට, ආලෝකය ලබලා දෙන්නේ අපේ මේ හිතයි. මේ හිත පැහැදෙනකොට හිතේ ලොකු ආලෝකයක් ඇතිවෙනවා. අර ඝනාන්ධකාර රාත්‍රියක විදුලි එළියක් වගේ.

එක නිසා තුණුරුවන් කෙරෙහි ප්‍රසාදය නිතර හිතට මතු කරගන්න නම් බුද්ධානුස්සති භාවනාව වශයෙන් බුදු ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්ට ඕන. වාහනයක ගමන් කරන අතරේ, නගරයක සිටින අතරේ, දැන්නම් කොයි වෙලාවෙද කියලා නෑ. මරණය-මරණාසන්න වෙලාවෙයි කියල හිතාගන්න ඕන දැන් හැම වෙලාවම. දැන් මේ කාලේ ගැන විශේෂයෙන් හිතනකොට සමහර කෙනෙක් මරණාසන්න අවස්ථාව කියලා හිතන්නේ අවුරුදු අසූවක් අනූවක් විතර වෙලා, ඒ අර දූ දරුවන් වට වෙලා ඉන්න අවස්ථාවක්, මේ මරණාසන්න අවස්ථාව හැටියට කල්පනා කරන්නේ. දැන් අපි පාරට බහින්න ඕනෙ මරණාසන්න අවස්ථාවෙයි කියලා. ඒ තරම් තත්වයක් තියෙන්නේ. අන්න ඒක නිසා සිත ගැන වඩාත් සැළකිලිමත්ව සිටින්ට ඕන. නරක වෙලාවක, ඒ හිත නරක් උනු වෙලාවක, හිත අඳුරු උන වෙලාවක, බොර උනු වෙලාවක, කලුරිය කළොත් - මරණයට පත් උනොත් හදිසියේ - ගිහිල්ලා උපදින්නේ කොතනද? අඳුරු තැනක. එක්කෝ නිරයේ, එක්කෝ ප්‍රේත ලෝකයේ, යක්ෂ ලෝකයේ. අපි කිව්වා නේ අර කලු ධර්ම සුදු ධර්ම කියලා කොටස් දෙකක් තිබෙනවා කියලා. මේ සිතෙන් තිබෙනවා පක්‍ෂ දෙකක්. ඉතින් ලෝකයේ තිබෙන පක්‍ෂ කෙසේ වෙතත් මේ සිතේ තිබෙන පක්‍ෂ ගැන අපි උනන්දු වෙන්න ඕන, මොකද අපේ සිතයි අපි අරගෙන යන්නේ යන තැනකට. ඒක නිසා මේ සිතේ තිබෙන කලු පක්ෂය තමයි ලෝභ දෝස මෝහ.මේ කළු පක්ෂයෙ ලොකුවට පෙනෙන තුන්දෙනයි ඔය. ඔය තුන්දෙනා ලෝභය, ද්වේශය, මෝහය. තව ඒවාට අතුරු ධර්ම රාශියක් තියෙනව. ඊළඟට අර නිවනට උපකාර වන සුදු ධර්ම, තමයි අලෝභ, අදෝස, අමෝහ. මෙතන බැලූ බැල්මට දෙයක් නෑ වගේ, අලෝභ කියලා කියනකොට, මොකක්ද මේ අලෝභ කියලා කියන්නේ? ඒක සමහර විට සිතා ගන්න අමාරුයි. මේ අලෝභ කියලා කියන්නේ ලෝභයෙන් වෙන්වීම. ලෝභයෙන් - වෙන්වීම සමහර විට, සුලු දෙයක් හැටියට සිතන්න පුළුවන්. මේක සුළු දෙයක් නොවෙයි. මේකට කියනවා විරති චෛතසිකය කියලා, වෙන්වීම, පිළිබඳ සිතිවිල්ල.

මේ වෙන්වීම පිළිබඳ සිතිවිල්ල බොහොම ශක්ති සම්පන්නදෙයක්. දැන් මේකට ප්‍රධාන වශයෙන් උපකාරී වන දෙයක් නම්‍යි ශීලය. ශීල සමාදානය. සිල් සමාදන් වෙනවා. දැන් මේ අවස්ථාවේ මේ පින්වතුන් ඔය සතුන් මැරීමෙන් වෙන් වීමට, ‘වේරමණී - ඇත්ත වශයෙන්ම සිල් සමාදන් වීමේදී ‘වේරමනී’ කියන වචනය හොඳට කියන්නට ඕන. ’පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’, ප්‍රාණඝාතයෙන් පරපණ නැසීමෙන්, සතුන් මැරීමෙන් වෙන්වීම පිළිබඳ ශික්‍ෂාපදය මම සමාදන් වෙනවා. පිළි අරගෙන මේක ක්‍රියාත්මක කරනවා කියලා තමන්ටම වෙන එක්තරා පොරොන්දුවක් මේක. සංඝයාවහන්සේලා ඉදිරියේ මේක ප්‍රකාශ කළාට මොකද, මේක ඇත්ත වශයෙන්ම තමන්ටම වෙන පොරොන්දුවක්. එහෙම නැත්නම් තමන්ගේ හිතට දානවා මම මෙන්න මේ විදියට අද දවස ගත කරනවා. ප්‍රතිපත්තිය උඩ. එතකොට එහෙම හිතාගත්තු කෙනාට ඊළඟට අපි හිතමු, යම් කිසි අවස්ථාවක් එළඹෙනවා, එක්කෝ ආහාර සඳහා, විනෝදය සඳහා, එහෙම නැත්නම් තරහ මරහ පිරිමසා ගැනීම සඳහා, කෙනෙක් මරන්න, සතෙක් මරන්න හිතෙනවා. අන්න ඒ සිතිවිල්ල එනවත් එක්කම ඒක එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අදෝස කියන එකෙන්. මෛත්‍රීය මතුකර ගන්නවා, කරුණාව, දයාව, අවිහිංසාව, මතුකරගෙන ඒ වගේම තමන් සමාදන් වූ ශීලය සිහිපත් කරලා එයින් වෙන් වෙනවා. මේ නිදර්ශනයක් හැටියට ගත්තහම. ඔන්න ඔහොම ඒ අවස්ථාව ඉතාම වටිනා අවස්ථාවක්. හිත වෙන් කරගන්න පුළුවන් ශක්තිය. ඒක තමයි විරති චෛත්‍සිකය කියල කියන්නේ. සම්ප්‍රාප්ත විරති කියලා කියනවා. ඒ කියන්නේ පාප කර්මය කරන්ට අවස්ථාව ආවා. නමුත් කරන්නේ නෑ. අත අකුලා ගන්නවා. දැන් හොරකමක් කරන්න - හොඳට වටිනා දෙයක්, වෙන කෙනෙකුගේ දෙයක් බවත් දන්නවා. ඒක තියෙනවා ඉදිරිපිට, කවුරුවත් නෑ. වට පිට බලන එක විතරයි කරන්න තියෙන්නේ. ඊළඟට හිමිහිට අත ඒ පැත්තට දිගු කරන එකයි. නමුත් අර හිත කියනවා ඒ අවස්ථාවේ ‘ඒක කරන්න එපා’ කියලා. එහෙම හිතෙන්නේ මොකද? අන්න අර සීලය සමාදන් වීම නිසා. “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.” ඔන්න ඔය අනුව පෙනෙනවා අපට මේ සිල් සමාදන් වීම කියන එක සුළු පටු දෙයක් නොවෙයි. ඒක නිකන් මේ චාරිත්‍ර මාත්‍රයක් හැටියට - දැන් හැම රැස්වීමකදීම උත්සවයක් බෞද්ධ බව පෙන්නන්න සිල් සමාදන් වීම කියලා එකක් කියනවා. නමුත් මේකෙ ගැඹුර ගැන කල්පනා කරලා බලනකොට කොයි කරම් බලසම්පන්න වැදගත් දෙයක්ද? අපේ ජීවිතයේ පළවෙනි පියවර. එතකොට මෙන්න මේ විධියට - ඒකට කියනවා “තදඪග වශයෙන්” - සිත ඈත් කරගන්නවා කෙලෙස්වලින්. ඒ ඒ මොහොතට කුසල් සිතක් දාලා, අකුසල් සිත ඈත් කර ගන්නවා. තමා ළඟ කුසල් සිතක් එකතු වෙන්නත් ඕන මේකට. මෛත්‍රිය දියුණු කරගන්ට ඕනා ද්වේෂයෙන් ඉවත්වීමට. ලෝභයෙන් ඉවත් වීමට පරිත්‍යාගය - දානය පරිත්‍යාගශීලීත්වය, පරිත්‍යාග ගුණය, දියුණු කරගන්ට ඕනෑ. මෝහයෙන් ඉවත් වීමට අවබෝධය, නුවණ, කල්පනා කිරීම, නුවණින් කල්පනා කිරීම, මෙනෙහි කිරීම කියන මෙන්න මේවා, යමක තත්ත්වය හැටියට තේරුම් ගන්න නුවණින් මෙනෙහි කිරීම, කියන මේවා උපකාර කරගන්න ඕන. ඒක නිසා මේ අලෝභ අදෝස අමෝහ කිව්ව හැටියෙම එකපාරට මේක දෙයක් නෑ වගේ තේරෙනවා. නමුත් විග්‍රහ කරලා කල්පනා කරලා බලනවා නම් අර පිටතින් එන, ආගන්තුක වශයෙන් එන, සතුරු හැටියට එන, අකුසල් ධර්ම ඒවා මැඩලා, ඒවා පස්සට එලව ගන්න පුළුවන් ශක්තියක්, මෙතන කියන්නේ. විරති කියලා කියන්නේ.

මේක එක පාරට කරන්න පුළුවන් හපන් කමක් නොවෙයි. ඒක නිසා නිරන්තරයෙන්ම අපි අර සිත භාවනා වශයෙන් දියුණු කර ගන්ට ඕනෑ. බුදු පියාණන් වහන්සෙත් භාවනාව ගැන ප්‍රකාශ කරන තැන වචන තුනක් සඳහන් කරනවා. “ආසේවති, භාවෙති , බහුලීකරොති” කියලා. යම් කිසි කුසල් අරමුණක් නිතර ඇසුරු කරනවා. දැන් අපි සිතමු බුද්ධානුස්සතිය නම් “අරහං අරහං අරහං”, එහෙම නැත්නම් ‘බුද්ධෝ’ කියලා යම් කිසි වචනයක් නිතර ආශ්‍රය කරනවා තමන්ගෙ ගේ යාළුවා වගේ, නිතර මතුකරගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා -ආසේවති. භාවේති කියන්නේ ඒක වඩනවා. දෙනුත් වරක් කියනකොට අර පළමුවෙනි වර කිවිවට වැඩිය හිතේ ලොකු ශක්තියක් එනවා. දහ වරක්, දහස් වරක්, ලක්ෂ කෝටි වරක්, ඒ ‘බුද්ධ’ කියන වචනය කියන කොට අර තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වඩ වඩාත් දියුණු වෙනවා. මේක මන්ත්‍රයක් හැටියට නිකම් කීම නෙවෙයි. හදවතත් ඒ එක්කම ක්‍රියාත්මක වෙන්ට ඕන. හදවතේ ප්‍රසාදයක් ඇති වෙන්ට ඕන. ඒ විදියටම තමයි අනිකුත් ඒවා මෛත්‍රී වඩනව නම් ‘සුවපත් වෙත්වා’ කියන වචනයන්, ඔය විදියට තමන් යෙදාගන්නා භාවනා අරමුණු අනුව ඒක නිතර ඇසුරු කරන්ට ඕන. ඒකෙන් සිත වැඩි දියුණු කර ගන්ට උත්සාහවත් වෙන්ට ඕන -භාවනා.

ඊළඟට තියෙනවා වචනයක් ‘බහුලිකම්ම’ කියලා - ‘බහුලීකරොති’ බහුල වශයෙන් කරනවා. ඒ කියන්නේ දවසක් දෙකක් පැයක් හමාරක් නෙවෙයි. බහුල වශයෙන්ම. තමන්ම උත්සාහවත් වෙන්න ඕන. තමන්ගේ එදිනෙදා ජීවිතයේ කොයි තරම් වැඩ කටයුතු තිබුණත් මේ තමන්ගේ හිතේ වටිනාකම යම් කිසි කෙනෙක් තේරුම් ගත්ත නම් - අපි මේ කය ගැන මේ තරම් වෙහෙසෙනවා. මේ ශරීරය පෝෂණය කරන්න, ශරීරය නාවන්න හෝදන්න, මේක සරසන්න, මේ හැම එකක්ම. මේ ‘දමාලා යන නරක කුණු කය’. මේකට කොයි තරම් අපි සාත්තු කරනවද? නමුත් දවසේ ඉතාම සුළු වේලාවක් වත් සිතේ වටිනාකම ගැන හිතන්නේ නෑ. මේ හිත තමයි උපකාර වෙන්නෙ මේ සංසාරයෙන් මිදීමටත්, ඒ වගේම යම්කිසි සුගති තත්ත්වයක්, ඇති කර ගැනීමටත්. එහෙම කල්පනා කරනවා නම් කෙනෙක් අන්න භාවනාව ගැන උනන්දු වෙනවා. අර ආසේවති, භාවේති, බහුලීකරොති, කියාපු ආකාරයට යම්කිසි කුසල් අරමුණක් නිතර සිතට මතුකරගෙන ඒකත් එක්ක ජීවත් වෙන්ට ඕනා. ඒක අපහසු දෙයක් අමාරු දෙයක් හැටියට මුලදී වැටහුනත්, පුරුදු උනහම තමනට ඒක නිරායාසයෙන්මවගේ නිරුත්සාහයෙන් කරන්න පුළුවන් - ඉබේම වගේ. දැන් අර කණ්ණාඩි කුට්ටමක් පළමුවෙනි වරට දාගත්තහම මහ කරදරයක්. නමුත් ටික දවසක් යනකොට මේක බොහොම පහසුවෙන්, ඒ කණ්ණාඩියක් එක්කම වැඩ කටයුතු කරන්න පුළුවන්. නිතර ටික දවසක් ගියහම ඒ කණ්ණාඩිය ඇසේ තියාගෙන “කෝ කණ්ණාඩිය” කියලා බලනවා. මොකද මේ? ඒ තරමට අර කණ්ණාඩිය තමන්ගේ ශරීරයේ කොටසක් බවට පත් උනා.

අන්න ඒ වගේ දෙයක් තමයි මේ භාවනා අරමුණත්. එතකොට අර බුද්ධානුස්සතිය වඩපු තැනැත්තාට අනතුරක් එන වෙලාවට - දැන් මේ කාලෙ සමහර විට “බුදු අම්මේ” කියලා කියන්නේ. ඒ අතීත චාරිත්‍රය අනුව අපේ සමාජයට බුදු කියන වචනය, එකතුවෙලා තියෙනවා. නමුත් ඒක ඒ විදියට වේදනාවක් ආවාම ඉබේ කියවිල්ලක් නොවෙයි. මුළු හිතෙන්ම - අර මට්ටකුණ්ඩලී අර තත්ත්වය ලැබුවේ මුළු හිතෙන්ම හිත පහදවා ගැනීමෙන්, මේක නිකම් චාරිත්‍රයක් හැටියට හරි, මන්ත්‍රයක් හැටියට හරි, කීමෙන් නෙවෙයි. අන්න ඒ විදියට කල්පනා කරන්න ඕන. මේ හැම කතාවකින්ම තමන්ට ගන්ට පුළුවන් උපරිම ප්‍රයෝජනය කල්පනා කරලා ඒක තමන් නෙලාගන්න උත්සාහ වෙන්ට ඕන. පුළුවන් උපරිම ප්‍රයෝජනය කල්පනා කරලා ඒක නමන් ලෝගන්න, උත්සාහවත් වෙන්ට ඕන. දැන් මේ ගාථාවේ කියාපු කාරණා අනුව අපට පෙනෙනවා අපි පාවිච්චි කරන වචනය, කරන ක්‍රියාව, මේ හැම එකකටම, අප හිතම ප්‍රධාන වෙන බව. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඇති විශේෂත්වය ඒකයි. මේ කාලයේ ඔය නොයෙකුත් විද්‍යාත්මක චින්තන ක්‍රම තියෙනවා. මිථ්‍යාදෘෂ්ටි අනුවයි ඒවා සකස් වෙලා තිබෙන්නේ බොහෝ විට. මොකද, මේ භෞතික දේටයි, බාහිර දේටයි, මුල් තැන දෙන්නේ. හොඳට පෙනෙන නිසා, හොඳට වර්ණ සම්පත්තිය ඇතිව තිබෙන නිසා, අපි ඒවාට රැවටෙනවා. නමුත් බුදු පියාණන්වහන්සේ සත්‍යතාව පෙන්නුම් කරලා දීල තියෙනවා. මේ දීර්ඝ සංසාරයේ අපේ මේ ගමන, මේකට ප්‍රධාන වෙන්නේ, පෙරටු වෙන්නේ - මේ අපේ කර්මවලට හොඳ හෝ නරක හෝ වීමට උපකාර වෙන්නේ - මේ අපට පහළ වෙන සිතයි.

“මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා”

එපමණකින්ම නොවෙයි අර සිතින්ම නිර්මාණය වෙලා තියෙන එක. දැන් මේ කතාන්තරය අනුව ඉතාමත් හොඳින්ම පැහැදිලි වෙනවා. හිතෙන්ම නිර්මාණය උනා අර මට්ටකුණ්ඩලීගේ ඒ දිව්‍ය ශරීරය. ඒක මනුෂ්‍යයින්ට පෙනුනා. ඒ අර අවසාන අවස්ථාවේ බමුණගේ පුතා මේ විදියට බුදු පියාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍රයකින්, මේ විදියට මේ රන් අපරණ සහිත දිව්‍ය ආත්ම භාවයක් ලැබුවා නේද කියලා, ඒ අවස්ථාවේ සිටි සත්ත්වයින්ට පෙනී ගියා. ඒක නිසා තමයි අර විදියටම ඒ ශ්‍රද්ධාව තුළින්ම අනිකුත් ඒ අවශ්‍ය ධර්ම හිතේ එක් රැස්වෙලා මාර්ග ඵල අවබෝධය ලබා ගත්තේ. අන්න ඒක නිසා අපි මේ සුළු හැටියට සිතන මේ කථා ප්‍රවෘත්තියක් තුළ ඉතාමත්ම වටිනා ගැඹුරු ධර්ම අඩංගු වෙලා තිබෙනවා.

එතකොට ඒ එක් එක් මොහොතකට සිතේ විවරයක් ඇති කර ගැනීම. ශීලාදී ගුණ ධර්ම රැකීම තුළින් කෙරෙන්නේ ඒකයි. තදංග වශයෙන්, මේ සිත පිරිසිදු කර ගැනීම කර ගැනීම, එහෙම නැත්නම් පහන් කර ගැනීම. මෙය දියුණු කර ගැනීම පිළිබඳ උත්සාහයේ අවස්ථා තුනක් තියෙනවා. ධම්යේ සඳහන් වෙනවා තදංග, වික්ඛම්භන, සමුච්ඡේද කියලා. දැන් ශීලයෙන් කරන්නේ ශීලයක් - ඒ ශික්ෂා පද රැකීමේදී ඒ ඒ මොහොතට කුසල් සිතක් ඉදිරිපත් කරලා අර අකුසලය පන්නලා අරිනවා. ඊළඟට ඊට වැඩිය ටිකක් තහවුරු වුන විදියේ ඊටත් වඩා දියුණු අවස්ථාවක් තමයි සමාධිය කියලා කියන එක. ඒකත් මෙන්න මේ විදියට දැන් භාවනාව දියුණු කරනවා නම් බුද්ධානුස්සතිය ආදියෙන්, දුවන හිත, ඒ ඒ දේවල් වලට අරමුණු වලට දුවන හිත, අර විදියට පාලනය කරගත්තා නම් යම් කිසි හොඳ කර්මස්ථානයක් තුළින්, “සුවපත් වෙත්වා” කියන වචනයෙන් එහෙම නැත්නම් ‘බුද්ධො’ ‘අරහං’ ආදී යම්කිසි භාවනා කමටහනක් තුළින් - ටික කලක් යනකොට හිත තැන්පත් වෙනවා. තැන්පත් වීම, ඒකට කියනවා සමාධිය කියලා. හිත අඳුරු කරන ධර්ම නීවරණ ධර්ම කියලා ධර්මයේ සඳහන් කරනවා. කාම සිතුවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත අලස ගති, ඊළඟට තව නොයෙකුත් කුකුස් නොසන්සුන් ගති සැක මේ හැම එකක්ම යටපත්වෙලා, අර බොර යටපත් වෙලා විලක වතුර පෑදෙනවා වගේ හිත පැහැදුනු අවස්ථාවක් එනවා. ඒක සමාධිය කියලා කියනවා. ඒකත් මේ භාවනා කර්මස්ථානයක් තුළින් කෙනෙකුට අත් දකින්න පුළුවන් අවස්ථාවක් ඒක අරිට වඩා සිතේ පහන් බව ඇති උන ඉතාම විශේෂ අවස්ථාවක්.

ඊළඟට අවසාන වශයෙන් ඊටත් වඩා ගැඹුරට යන අවස්ථාව තමයි සමුච්ඡේද කියලා කියන්නේ. හිතේ තිබෙනවා සංසාරයේ දිගට අරගෙන ආපු ඒ අනුසය ධර්ම කියන බරපතළ කෙලෙස්. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒවා වියලවන්න, ඒවා නැතිකරන්න නම් ප්‍රඥාව වඩන්න ඕන. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, වශයෙන් මේ මුළු ශරීරය, මේ ජීවිතය ගැන කල්පනා කරලා විදර්ශනා වඩලා, යම් කිසි අවස්ථාවක සිත ආලෝකවත් වෙනවා. ප්‍රඥාවෙන් ආලෝකවත් වෙනවා. ඒකට උපකාර වෙන ධර්ම තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ කියන ආකාරයට සති සම්ප්‍රජානය, සතිය දියුණු කර ගැනීම, යෝනිසෝමනසිකාරය නුවණින් මෙනෙහි කිරීම - අන්න ඒ විදියට මෙනෙහි කරලා ඊළඟට ඒ ප්‍රඥාව වැඩෙන ආකාරයට භාවනාව දියුණු කරා නම්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රි ලක්ෂණය වැඩුවා නම්, ඒ තැනැත්තාට අර මාර්ග ඵල අවබෝධ අවස්ථාවේදී විදර්ශනා ප්‍රඥාව තුළින් අර සංසාරයේ අප දිගට ගෙනයන ඒ අකුසල් වල, එහෙම නැත්නම් ඒ ක්ලේශ ධර්මවල, යට තට්ටුවත් විනාශ කරන්න පුළුවන් ශක්තියක් හිතෙන්ම ඇති කර ගන්න පුළුවන් වෙනවා.

එතකොට ශීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ, මේක තමා ශාසනය, මේකයි අපට අයිති. බුද්ධ ශාසනය කියන එක, දැන් බොහෝ දෙනා නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. නමුත් බුද්ධ ශාසනය කියන්නේ ඇත්ත වශයෙන්ම ශීල, සමාධි, ප්‍රඥා තමන්ගේ චිත්ත සන්තානය තුළ වගා කර ගැනීමයි. ඒකට උපකාර වෙන දේ තමයි, පළමුවෙන්ම අවශ්‍ය කාරණය තමයි, මේ අපේ සිතේ ඇති වටිනාකම, මේ හැම දෙකටම සිත පෙරටුවෙන බව, සිතම ශ්‍රේෂ්ඨ වෙන බව, සිතෙන්ම මේවා නිර්මාණය වන බව, අපි තේරුම් ගැනීම. ඒ අර දිව්‍ය ආත්ම භාව ගැන ඉතාමත්ම ප්‍රකටයි ඒවා හිතෙන්ම නිර්මාණය වන හැටි. වෙනෙකක් තබා, අපි එදිනෙදා කල්පනා නොකරට, අපි හිතමු ඔය දැන් කළයක් වගේ දෙයක් හදන කුඹලා, කුඹල් කරුවා, ඒ කළය පිළබඳ යම් කිසි චිත්‍රයක් සැලැස්මක් ඇතිවයි, ඒ අනුව අර මැටි පිඬ අරගෙන කළයක් මවන්නේ. ඒ වගේම මේ ඉදිරිපිට තියෙන හැම දෙයක්ම යම් කිසි කෙනෙක් නිෂ්පාදනය කළා නම්, ඒ නිෂ්පාදනය කිරීම පිළිබඳව පළමුවෙන්ම ඇති වන සංඥාව ඇති වන්නේ හිතේ. යම් කිසි සැලැස්මක් ඇතිවෙනවා. ගොඩනැගිල්ලක් හදන්න ගියත් එහෙමයි. එතකොට මේ සැලැස්ම ඇති උනේ කොතනද? හිතේ, ඒක පස්සේ අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන මේ සතර මහා භූත ධම්යන් උපකාර කරගෙන රූපයක් හැටියට මතු උනාට පස්සේ ඔන්න ඊළඟට ඒකට රැවටෙනවා. මනුෂ්‍යයින් හිතනවා මේක තමයි ලොකු දේ කියලා. නමුත් මේකට යටින් තියෙන මේ සැලැස්ම ගැන බොහෝදෙනා කල්පනා කරන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ කළේ අන්න ඒ ටික මතක් කරලා දීම ලෝකයාට. ඒ තුළින් නමයි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා නුවණින් කල්පනා කරන්ට ඕනෑ. මේක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ අර නුසුදුසු දේට, එහෙම නැත්නම් අනියම් දේට, වැරදි දේට, මුල් තැන දීමයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ, හරි දැක්ම කියලා කියන්නේ, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සංසාර දුකින් මිදීමට උපකාර වන ධර්ම මතුකර ගැනීමයි.

එතකොට මේ ගාථා ධර්මය අනුව අපි කල්පනා කරන්ට ඕන. තම තමන්ගේ ජීවිත ගැන කල්පනා කරන්ට ඕන - ඒ වයස් සීමාවක් නැතිව. මම මගේ ජීවිතය කොහොමද ගෙනියන්නේ. ලෝකයා කියන හැටියටද, සමාජය යන ආකාරයටද, එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයටද කියලා. එහෙම කල්පනා කරලා තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය යම් සැලැස්මක් සකස් කරගන්න ඕන. මේ සැලැස්ම තුළ ශීලයට තැනක් තියෙන්ට ඕනෑ. සමාධියට තැනක් තියෙන්ට ඕනෑ. ප්‍රඥාවට තැනක් තියෙන්න ඕනෑ. තැනක් කියලා කියන්නේ ඒවායේ වටිනාකම් තේරුම් අරගෙන ඒවා මතුකර ගන්න පුළුවන් විදියට තමන්ගේ එදිනෙදා ජීවිතය ගතකරන්ට ඕන. දැන් මේ අවස්ථාවේ සිල් සමාදන් උනා ආජීවෂ්ටමක ශීලය. ඒක තුළින් මේ පින්වතුන්ට පුළුවන් තදංග වශයෙන් සිත මුදාගන්න. විදුලිය එළියෙන් අශ්ව ලෝම විදින්නා වගේ, ඒ සුළු සුළු අවස්ථාවල, ඉදිරිපත් වෙන අකුසල්, පවක් කරන්නට හිත එන අවස්ථාවල, ඔන්න තමන්ගේ ශීලය ඉදිරිපත් කරගෙන ඒක පන්නලා අරිනවා. ඊළඟට යම් සිසි කෙනෙක් සමාධි ශක්තිය දියුණු කරගත්තා නම් ඊටත් වඩා දීර්ඝ කාලයක් තමන්ගේ සිතේ පැහැදීම, ප්‍රසන්න බව, ආලෝකය, තමන්ට අත්දකින්න පුළුවන්. ඊලඟට මාර්ග ඵල අවබෝධයෙන් - සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ග ඵල අවබෝධයෙන් යම් කිසි කෙනෙක් ප්‍රඥාව දියුණු කරගෙන විදර්ශනා ඥාණ දියුනු කරගෙන ඒ සංසාර විමුක්තිය ලැබුවා නම් අන්න ලෝකයේ තිබෙන ඉතාමත්ම වටිනා තත්ත්වය, තමන්ගේ හිතේ ඉතාමත්ම පිරිසිදු තත්ත්වය - අත්දකින්ට තමන්ට පුළුවන් වෙනවා.

අන්න ඒක නිසා මේ පින්වතුන් කල්පනා කරන්ට ඕන මේ සම්බුද්ධ ශාසනයෙන් වැඩගන්ට, අපිට ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩ ගන්ට. මේක මේ ඉතාමත්ම දුර්ලභ දෙයක්, දෙවියන් පවා සමහර විට කියනවා මේ මනුෂ්‍ය ආත්ම භාවය, මේ මනුෂ්‍ය ලෝකය, තමයි නිවන් දකින්ට හොඳම තැන කියලා. සුළු කෙටි කාලයක් නමුත් මේ කාලය තුළ හරියට වැඩගත්තොත් මේ මනුෂ්‍ය සිත ඉතාමත්ම උසස් තත්ත්වයකට පත්කරන්ට පුළුවන්. බුදුවරු මනුෂ්‍ය ලෝකයේම උත්පත්තිය ලබන්නේ එකයි. ඒ කියන්නේ බුදුකෙනෙක් මතුවා ලෝකයේම පහළ වෙන්නෙ ඒ හින්දයි. අන්න ඒ විදියට කල්පනා කරලා තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්ට, මේ හැම ධර්ම කථාවකින්ම තමන්ගෙජීවිතයට යම් කිසි ආදර්ශයක් ලබාගන්ට ඕනා සිතේ ඇතිවන ඒ කෙලෙස්, ක්ලේශ ධර්ම, ඒවා කළු හැටියට කල්පනා කරලා ඒවා පන්නා හැරීමට තමන්ගේ සිතේ අර ‘සුක්ක ධම්ම’ කියන ඒ කුසල ධර්ම වැඩි දියුණු කරගන්නඕන. පරිත්‍යාගශීලීත්වය, ඊළඟට මෛත්‍රිය - ඊළඟට ප්‍රඥාව, ධර්මාවබෝධය. දැන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කිරීම තුළිනුත් සිත පහදවා ගන්න පුළුවන් වෙනවා. මොකද අපි ධර්මය තුළින් අපි බුදු පියාණන් වහන්සේ දකිනවා, ධර්මය අහනකොට තමන්ගේ සිතේ තියෙන සැක කුකුස් ඉවත් වෙනවා, දෙගිඩියාවල් ඉවත්වෙනවා, හිතේ පහන් බවක් ඇති වෙනවා. හිතේ පහන් බව ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒක තුලින් තමා ලෝකයේ යථා ස්වභාවය පෙනෙන්නේ, හිත අඳුරු වෙනකොට, මෝහයෙන් අඳුරු වෙනකොට, යථා ස්වභාවය පෙනෙන්නේ නෑ. ඒක නිසා තමන්ගේ වචන වැරදි වෙනවා, වචනත් ක්‍රියාවත් හැම එකක්ම අකුසල් පැත්තට, පව් පැත්තට, නැඹුරු වෙලා යනවා. අන්න ඒක නිසා මේ සංසාරය සාමාන්‍යයෙන් කෙලෙස් වලට බරව, අඳුරට බරව, යන ගමනක්. මේකෙන් ඉවත් වීමට නම් විශාල ශක්තියක් ඇති කරගන්න ඕන.

ඇත්ත වශයෙන්ම කුසල අකුසල කියන වචන දෙකේ අර්ථය ගැන සලකළ බැලුවහම කුසල කියලා කියන්නේ දක්‍ෂවීමයි. අකුසල කියලා කියන්නේ අදක්ෂවීමයි. මේ සංසාර ගමනේ අපායට බරව යාම අදක්ෂවීමක්, සුගතිවලට බරව යාම දක්ෂවීමක්, ඊළඟට මේ සංසාරයේ දිගටම යන්ට සිදුවීම අදක්ෂ වීමක්. සසර දුක ඉක්මණින් කෙළවර කර ගැනීම දක්ෂ වීමක්. එහෙම කල්පනා කරලා බලනකොට අපි ඔය ලෞකික ලෝකෝත්තර කුසල කියලා කියන්නේ - මේ කුසල කියලා කියන්නේ දක්ෂ වීමයි දක්ෂ වීමයි. මේ දක්ෂ වීම අර දුනුවායා වගේ එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දීර්ඝ කාලයක් වඩන්න ඕන. අන්න ඒ නිසා මේ අද ඉඳලම හැම මොහොතක්ම උත්සාහවත් වෙන්ට ඕන - කාලය නැතෙයි කියලා හිතන්නේ නැතිව. එදිනෙදා ජීවිතයේ කාලය නැතෙයි කියලා කියනවා. නමුත් අපතේ යවන කාලයක් තියෙනවා මේ හැම දෙනාටම. ඒක හොඳට අඳුන ගන්න පුලුවන් සමහරවිට ධර්ම දේශනාවලදී එහෙම අහන්න නොලැබෙන නමුත් සමාජයේ නිතර අහන්න ලැබෙන වචනයක් තියෙනවා “රස්තියාදු වෙනවා” කියලා. මේ රස්තියාදු වෙනවා කියන්නේ හිතේ මළකඩ බැඳෙන වෙලාවක්, හිත අඳුරු වෙන වෙලාවක්. මේ රස්තියාදු වෙන වේලාවල් දැන් එදිනෙදා ජීවිතයේ ඔය බොහෝ විට නගර වල එහෙම අහන්ට ලැබෙනවා, “මම අහවල් කාර්යාලයට ගිහිල්ලා එතන රස්තියාදු උනා.” මඟ තොටේ රස්තියාදු වෙනවා. මෙන්න මේ අවස්ථාව ඉතාමත්ම හොඳ අවස්ථාවක් තමන්ගේ පුරුදු කර්මස්ථානය මතුකරගෙන - අපි සිතමු අර බුද්ධරත්නය, මේ සාක්කුවේ තියෙන මැණිකක් අරගෙන බල බලා සතුටු වෙන්න වගේ එබඳු අවස්ථාවල අර බුද්ධරත්නය, මෙතන ප්‍රකාශ කළ ඒ ලෝකයේ තියෙන අග්‍රම රත්නය, එළියට අරගෙන අනිත් අයට නොපෙනෙන ආකාරයට, ඒ අය කවුරුන් උදුරා ගන්නවය කියලා නෙවෙයි, ඒ අයට මේවා ප්‍රයෝජනයකුත් නෑ සමහර විට - නමුත් අර බුද්ධ රත්නය මතුකරගෙන - “බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ” එහෙම නැත්නම් “අරහං අරහං අරහං”, අන්න එතකොට එයා අර රස්තියාදු වෙන වේලාවෙන් ප්‍රයෝජනයක් අරන ගත්තා වෙනවා. එහෙම නැත්නම් “සුවපත් වෙත්වා” කියන තමන් ගත්තු යම් කිසි කර්මස්ථානයක්. එහෙම නැත්නම් තමන්ගේ ආශ්වාස-ප්‍රශ්වාසය ශරීරයන් එක්ක තියෙන, ඒකට තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ඔන්න ඔය රස්තියාදු වෙන, අපතේ යන වේලාවල් ප්‍රයෝජනයට ගත්තොත් ඒ තැනැත්තා දන්නෙම නැතුව භාවනානුයෝගියෙක් වෙනවා. අන්තිමට දන්නෙම නැතිව වගේ - අපි “දන්නෙම නැතුව” කියලා කියන්නේ ඒක එතරම් පුදුම විදියයි, මේ සිතේ පැවැත්ම - සමහර විට බලාපොරොත්තු නැති අවස්ථාවල සිත මෝරලා තියෙනවා නම් දන්නෙම නැතුව වගේ හරියට මාර්ගඵල අවබෝධය පවා ලැබෙනවා.

අතීතයේ පුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවේ බණක් අහන කොටම කෙනෙක් රහත් උනා සෝවාන් වුනා කියල කියන ඒ කියමන සමහර විට මේ කාලේ බුද්ධිවාදයක් ගත්තු උගතුන් වැරදි ආකාරයට තේරුම් ගන්නවා. අපිටත් පුළුවනි ඒ විදිහට කරන්න කියලා. අර සංසාරයේ දීර්ඝ කාලයක් බුදුවරුන් වෙත එහෙම නැත්නම් ශාසනවල ඒ ගුණධර්ම පුරුදු පුහුණු කරලා ඉහළ මට්ටමට දියුණු කරලා යන්තම් පොඩ්ඩක් විතරක් ඕන වෙලා තිබුණු හිත් වලටයි ඒ විදියට ඉක්මනින් ඒ මාර්ගඵල අවබෝධය ලබාගන්න පුළුවන් උනේ. එපමණකින් හැම කෙනෙක්ම එහෙමය කියල හිතන්න නරකයි. නමුත් අපි ඒකෙන් පාඩම ගන්න තියෙන්නේ එබඳු ඒ සුළු වෙලාවක එහෙම තත්ත්වයක් කෙනෙකුට ලබාගන්න ඕන නම් ඒක දීර්ඝ කාලයක් පුරුදු කරන්න ඕන. පුහුණු කරන්න ඕන. ඒකට අවස්ථාව තමතමන්ගේ ජීවිත තුළින් මතුකර ගන්න උත්සාහවත් වෙන්ට ඕන.

එතකොට මේ පින්වතුන් අද දින මේ වටිනා පොහොය දවසක මේ විදියට ආජීව අට්ඨමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් උනා. ඒක චාරිත්‍ර ධර්මයක් හැටියට නෙවෙයි නම් එක එකක් ගැන කල්පනා කරලා මෙතන තියෙන්නේ කය වචනය පාලනය පිළිබඳ යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් - මේ සීලය කියලා කියන්නේ. ඒක රැක ගැනීමට නම්, සිත උපකාර වෙන්ට ඕන. සිත උපකාර කරගන්නේ අන්න අර විරති චෛතසික කියලා, කියාපු අර වෙන්වීමේ සිත. මේ කියාපු කාරණා වලින් වෙනවීමේ සිත මතු කරගන්ට ඕන. මේ මේ දේවල් කරන්න එපා කියන කීම වඩා පහසුයි . අන්න ඒක නිසයි බුදු පියාණන් වහන්සේ මේ ශීලාදී ගුණ ධර්ම වල වේරමණී කියල වචනයක් යොදලා තියෙන්නේ. මේක දෙයක් නෑ. කියලා සමහරවිට උගතුන් කල්පනා කරනව. මේකෙ තමයි දෙයක් තිබෙන්නේ. ඒක නිසා මේ ආජීව අට්ඨමක ශීලය - මේ ශීලය තුළිනුත් ඒ සමාදන්වෙන අවස්ථාවේ හොඳට හිත යොදවලා කරනව නම් ඒ අවස්ථාවත් හිතේ ලොකු විවරයක් ඇතිවන අවස්ථාවක්. “මම මේ මේ දේ කළා. මෙයින් පස්සේ මම ඒවා කරන්නේ නෑ” කියලා හිතේ අධිෂ්ඨානයක් දාගන්නවා. ඒක ලොකු දෙයක්. උදෑසන ඒ අධිෂ්ඨානය ගත්තා නම්, ඒක එදා මුළු දවසේ රකින්න පුළුවන් වුනා නම්, ඒ තැනැත්තාට හිතේ ප්‍රසාදයක්, පැහැදීමක්, සතුටක්, ඇතිවෙනවා හැන්දෑවේ. අන්න ඒ විදිහට ශීලය. ඊළඟට ඒ වගේම එදිනෙදා ජීවිතයේ යම් කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කරගත්තා නම් ඒ අර කියාපු රස්තියාදු වෙච්ච වෙලාවල් වල එහෙම, අමාරුයි, වෙලාවක් නැතෙයි කියලා කියන්නේ නැතුව, ලැබෙන ලැබෙන ආකාරයට විවේක අවස්ථාවල් වල, විනෝද වෙලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවල් වල, අර භාවනා කර්මස්ථානය මතුකරගෙන සිත දියුණු කර ගත්තා නම්, අන්න එතකොට ඒ තැනැත්තා දන්නෙම නැතුව සමාධියෙනුත් වැඩෙනවා. යම් කිසි අවස්ථාවක හිත ධ්‍යානයටත් වැටෙන්න පුළුවන්. හුඟක්ම මහන්සි වෙලා වැඩ කටයුතු කරලා අර කර්මස්ථානය මෙනෙහි කරගෙන හාන්සි උනහම ඇඳේදිම සමහර විට ධ්‍යානය ලැබෙන්න පුළුවන්.

අන්න එතකොට ඔය විදියට කරලා තමයි අතීතයේ ගිහි පින්වතුන් අර නකුල මාතා, නකුල පිතා, චිත්ත ගෘහපති, අනාථ පිණ්ඩික ආදීන් ඒ විදියේ ලොකු තත්ව ලබාගත්තේ. මේවායේ යෙදෙනවා අර අනිකුත් ඒ මිල මුදල් පිළිබඳ කාරණා වල නිරත වෙලා ඒවායේ ගැලිලා ජීවත් උනු ජීවත නොවෙයි ඒ බුද්ධ කාලේ බෞද්ධ ගිහි පින්වතුන් උපාසක උපාසිකාවන් අතර තිබුනෙ. ධර්මයට නැඹුරු වෙලා, ධර්මයට කොහොම හරි කාලය සොයාගෙන, ඒ විදියට සමාධියක් දියුණු කර ගන්න පුළුවන්. ඊළඟට ඊට වඩා වටිනා දේ තමයි අන්තිමට ඒ සමාධියත් උපකාර කරගෙන ලෝකයේ යථා තත්වය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව තේරුම් ගැනීම, එදිනෙදා ජීවිතයේ මේ සිදුවන සිදුවීම් තුළින්ම. ඇත්ත වශයෙන් ලෝකයේ සිදුවෙන සෑම සිදුවීමක්ම දාන්න පුළුවන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කාරණා තුන තුළට. මේක ලකුණු තුනක්. මේ ලකුණු තුන හැම තැනම දකින්න පුළුවන්. බැලූ බැලූ තැන. නමුත් ඒකට හරියාකාර මෙනෙහි කිරීම තිබෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියලා කියන්න හරි දැක්ම තිබෙන්ට ඕන. හරි දැක්ම තියෙන පුද්ගලයාට මේ ලෝකෙ ගලන ඇළ, දොළ, ගංගා, මේ ගස්වලින් වැටෙන ගෙඩි, මල්ඵල, මේ හැම දෙයක් තුළින්ම විදර්ශනාව දියුණු කරගන්න පුළුවන්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ත්‍රි ලක්ෂණය දකින්න පුළුවන්. අන්න ඒ විදියට එදිනෙදා ජීවිතයේ තමන්ගේ සිත හසුරුවාගන්න පුළුවන් ආකාරය ගැන හොඳට කල්පනා කරන්ට ඕන. මේක බෑ කියල කල් දාන්න නැතිව, වයෝවෘද්ධ උනු අවස්ථාවේ, මරණාසන්න අවස්ථාවේ, පමණක් සිත පහදවාගෙන අර මට්ටකුණ්ඩලී වගේ දිව්‍ය ලෝකයක් යන්ට ඕන කියලා හිතගත්තොත් ඔන්න මේ ධර්ම කථාව වැරදි විදියට තෝරුම් ගත්ත වෙනවා. විපරීත විදියට තේරුම් ගත්ත වෙනවා. එහෙම නොවෙයි හිතන්න තියෙන්නේ. දැන් මේ ලෝකෙ කථාවක් තියෙනවා අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා. අන්න ඒ ඒ විදියට මේ සුළු මොහොතෙ මේ තරම් දෙයක් කරගන්න පුළුවන් නම් හිතෙන්, මේක හොඳට දියුණු කරගත්තම මොනවා කරන්න බැරිද කියලා අන්න ඒ විදියට කල්පනා කරන්ට ඕන.

එහෙම කල්පනා කරගෙන අද දින ශීල සමාදානයෙන්, ඊළඟට මේ ධර්ම ශ්‍රවණයෙන් තුණුරුවන් කෙරෙහි සිත පහදවා ගැනීමෙන්, තමන් මේ ගාථාවෙන් ප්‍රකාශ කළ ධර්ම මාර්ගයෙහි ගමන් කරන්ට ආරම්භයක් කළා. ඒ තුළින් ජනිත වූ මේ කුසල සම්භාරය, යම් කිසි අවස්ථාවක අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන නිවනට උපකාරී වන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, තමන්ගේ චිත්ත සන්තානය තුළ වගා දියුණු කර ගැනීමෙන්, මේ ජීවිතයේදීම හැකිනම් ඒ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහන්, කියන මාග් ඵල අවබෝධයෙන්, මේ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන සියලු ජාති, ජරා, ව්‍යාධි, මරණ, ආදී සංසාර දුකින් අත්මිදී අමා මහ නිවනින් සැනසීමට හැකියාව ලැබේවා, ශක්තිය ලැබේවා, බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්ට ඕන.

ඒ වගේම යම් තාක් ශාසනාරක්ෂක සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම සමූහයක් සිටිනවා නම්, ඒ විදියම මේ පූජනීය ස්ථානයට අධිගෘහිත දෙවි දේවතාදී යම් ආත්ම භාවයන් සිටිනවා නම් පිං කැමති නිවන් කැමති, ඒ සැම කෙනෙක්ම මේ අපේ ධර්ම දේශනාමය, ධම්‍ය ශ්‍රවණමය කුසලය අනුමෝදන් වේවා, අනුමෝදන් වී ඒ හැම කෙනෙක්ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා කියලා ප්‍රාර්ථනා කරන්න.නැසී මිය පරලොව ගියා වූ යම්තාක් ඥාතීහු වෙත්නම් එපමණක් නොවෙයි, අවීචියේ පටන් අකනිටාව දක්වා වූ යම්තාක් පින් කැමැති නිවන් කැමති සත්වයෝ වෙත්ද ඒ හැම කෙනෙක්ම අපගේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවනමය කුසලය අනුමෝදන් වී ඒ තම තමන්ගේ දුගති තත්වවලින් මිදී ධර්ම මාර්ගයේ යමින් හැකි තාක් ඉක්මනින් උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා කියලා දැන් මේ විදියට ගාථා කියලා පින් පමුණුවන්න.

14 වන දේශනය

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනො
වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනො

සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා

සුසුඛං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු විහරාම අනුස්සුකා

සුඛ වග්ග, ධම්මපදං

සැදැහැවත් පින්වතුනි,

සැපයට කැමති බව මුළු මනුෂ්‍ය ලෝකයේ සියලුම සත්ත්වයින්ට පොදු ධර්මතාවක්. මුළු ලෝකයම යෙදී සිටින්නේ සැපය සොයාගෙන යන ගමනකයි. නමුත් මේ සැප සොයාගෙන යන ගමන බොහෝවිට කෙළවර වන්නේ දුකෙන්. ඒකට හේතුව සාමාන්‍ය ලෝකයා, අවිද්‍යාවෙන් වැසුනු ඇස් ඇති, තණ්හාවෙන් බැඳුනු ඒ ලෝකයා, සැපය සොයන්නේ අනියම් මාර්ගයෙන්. නියම සැපතත් ඊට මාර්ගයත් හරියට දන්නේ නැති නිසයි ඒ තත්වයට වැටිලා තියෙන්නේ. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අද වැනි වෙසක් පෝය දවසක සම්බෝධිය ලබාගත්තේ ඒ සැප සොයාගෙන දුවන ලෝක සත්ත්වයාට නියම සැපතට මාර්ගයත් නියම සැපතත් හඳුන්වා දීමටයි. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් උපකාර කරගෙන බොහොම අවස්ථාවල් වල ඉදිරිපත් වෙලා ලෝක සත්ත්වයාට ඒ අනියම් මාර්ගයෙන් සැප සෙවිල්ල ඉවත් කරලා නියම සැපත හඳුන්වා දෙන්ට ධර්ම දේශනා කළා. දැන් මේ අප මාතෘකා කළ ගාථා තුනත් ඊට අදාළ කථාවෙනුත් අපට පෙන්නුම් කෙරෙන්නේ අර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය උපකාර කරගෙන මහා කරුණාවෙන් උපායමාර්ග යොදමින්, මහා ප්‍රඥාවෙන් ධර්මයේ සත්‍ය තත්වය පැහැදිලි කරමින්, ලෝකයාට ශාන්තිය උදාකළ ආකාරයයි.

ශාක්‍ය වංශයට අයිති කපිලවස්තු නගරයටත් කෝලිය වංශයට අයිති කෝලිය නගරයටත් අතරින් රෝහිණී කියලා ගංගාවක් ගලා බසිනවා. ඒ ගංගාවෙ බැම්මක් බැඳලා ඒ ජලය ප්‍රයෝජනයට අරගෙන මේ නගර දෙකේම - මේ රාජධානි දෙකේම - ගොවියන් ගොවිතැන් කරනවා. එක නියං කාලයක මේ දෙපිරිසටම වැටහුනා වතුර හිඟවේගෙන ගිහිල්ලා ‘අපි දෙගොල්ලන්ටම මේ කටයුත්ත කරන්න බෑ, එක ගොල්ලකට විතරයි මේ වතුර සෑහෙන්නේ’ කියලා. ඊළඟට මේ දෙපක්ෂය එකතුවෙලා තමන්ට වතුර අයිති කරගන්න වාද විවාද කරන්න පටන් ගත්තා. බහින් බස් වෙලා, කල කෝලාහල කරගෙන, කුලමල කියාගෙන, අන්තිමට මේ කලබලය ඒ දෙපක්ෂයේ රාජ වංශයටත් ඒ රජ ගෙදරවල් වලටත් ආරංචි උනා. අන්තිමට මහා යුද්ධයක් ඇතිවෙන තැනට කාරණා යෙදුනා. ඒ දෙපිරිසෙම රජවරු සටන් පාඨ කියමින් යුද්ධය සඳහා පිටත් වෙලා ගියා. හරියටම එදා අළුයම් කාලයේ බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා වදාරනකොට පෙනුනා ඒ තමන්ගෙ ඥාති රාජවංශ දෙක තමන් වහන්සේ එතනට වැඩම කළේ නැත්නම් ඔවුනොවුන් විනාශ කරගෙන මහා ලේ වැගිරීමක් වෙන බව. දැකලා බුදු පියාණන් වහන්සේ තනියම අහසින් වැඩම කරලා ඒ රෝහිණී ගඟ මැද අහසෙහි පළඟ පිහිටුවාගෙන - පර්යංකයෙන් - වැඩ හුන්නා.

බුදු පියාණන් වහන්සේ එතනට වැඩිය හැටියේ ඒක දැකලා අර ශාක්‍ය කෝලිය දෙවංශයේම රජවරු ආයුධ බිම හෙළලා බුදු පියාණන් වහන්සේට වන්දනා කළා. බුදු පියාණන් වහන්සේ ඇහුවා “මහ රජවරුනි, මොකද මේ කලහයට හේතුව?” කියලා. ඒ රජවරුන්ට එකහෙළා ප්‍රකාශ කරන්ට බැරි උනා, මොකක්ද මේ යුද්ධයට මූලික හේතුව කියලා. මොකද, අර ඔවුනොවුන් කුලමල කියාගත්තට පස්සේ එයින් ඇතිවුන ද්වේශය නිසයි ඇත්ත වශයෙන්ම යුද්ධයට මේ විදියට ඇදිලා ආවේ. මේක යට තියෙන හේතුව ඒ රජවරුවන් වත් දන්නේ නෑ. ඊළඟට බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළා. අපි නම් දන්නේ නෑ. සමහර විට සේනාපති නම් දන්නවා ඇතෙයි කියලා. ඊළඟට සේනාපති ගෙන්නලා අහුවා, ඒත් දන්නේ නෑ කිව්වා. සමහර විට යුවරජ දන්නවා ඇතෙයි කිව්වා. ඔය විදියට ප්‍රශ්න කරලා බලනකොට අන්තිමට අර ගොවියන් එකතුවෙලා ආරම්භ කරපු වාද විවාද නිසා මේ යුද්ධයකට කරුණු සැලසුනයි කියන එක එළිදරව් වුනා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ දෙපක්ෂයෙන් අහනවා “මහරජවරුනි මේ වතුර කොයි තරම් වටිනවද” කියලා. “වතුර නම් ස්වාමීනි ටිකයි වටින්නේ. ඒක අල්ප මාත්‍ර වටින දෙයක් වතුර කියන එක”. “මේ ක්ෂත්‍රිය රජවරු කොච්චර වටිනවද?” “ඒක නම් වටිනාකම කියන්න බෑ අනර්ඝයි.” “එහෙනම් මහරජවරුනි, ඇයි මේ එතරම් නොවටිනා දෙයක් සඳහා වටිනා මනුෂ්‍ය ජීවිත විනාශ කරන්නේ” කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරහම ඒ රජවරුන්ට ඊට දෙන්න පිළිතුරක් නැතිවුනා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කළා අර අපි මාතෘකා කළ ගාථා වලින්. නුඹලා හැම දෙනෙක්ම වෛරයෙන්, කෙලෙස් වලින්, තවත් පංචකාමයන් සෙවීම් ආදියෙන්, සිත් ඉතාමත්ම නොසන්සුන්ව තත්වයකට පත්කරගෙනයි ඉන්නේ කියන අදහස දක්වමින් එබඳු ඒ ලෝකයා අතර මම මෙන්න මේ විදියට නියම සැපතක් විඳිනවා යැයි ප්‍රකාශ කරමිනුයි අර ගාථා වදාළේ.

‘සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනො
වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනො.’

‘සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනො’ - වෛරී වූ මනුෂ්‍යයින් අතර, වෛරී වූ ලෝක සත්ත්වයා අතර, අපි-අපි කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේත් ඒ කෙලෙස් සංසිඳුවා ගත්තු උත්තමයන් වහන්සේලාත් - අවෛරීව වාසය කරමු. ‘සුසුඛං වත ජීවාම’ ඉතාමත්ම සැපසේ, ‘සුඛං’ කියලා කියන්නේ සැපය. සුසුඛං කියලා කියන්නේ ඉතාමත් සැපය. ඉතාමත්ම ඉහළම මට්ටමේ සැපයක් විඳිමින් අපි වෛරී වූ ලෝකයා අතර අවෛරීව වාසය කරමු. ‘වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනො’ වෙරි වූ සත්ත්වයින් අතර අපි අවෙරිව් වාසය කරන්නෙමු. ඒ විදියටම, ‘සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා’ – කෙලෙස් වලින් ආතුර වූ, ලෙඩ වූ, සත්ත්වයින් අතර අපි ඉතාමත්ම සැපසේ අනාතුරව - ඒ කෙලෙස් ආතුර බවක් නැතිව –වාසය කරන්නෙමු. ‘ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා’ එබඳු වූ කෙලෙස් ආතුර සත්ත්වයින් අතර අපි අනාතුරව වාසය කරමු. ඒ විදියටම ‘සුසුඛං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා’ පංචකාම සම්පත්තියක් සෙවීමේ නිරතම උත්සුකව, ඒ සඳහා වෙහෙසෙන, නොසන්සුන් සත්ත්වයින් අතර අපි සැපයෙන් වාසය කරනවා, එබඳු ඒ සෙවිලි නැතිව, කියලා අන්න ඒ විදියට බුදු පියාණන් වහන්සේ ඒ තමන් ලබාගත්තු නිර්වාණ සුඛය පදනම් කරගෙන අර විදියට ගාථා තුනක් වදාළා. ඒක අහලා බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පැමිණියා. ඒ වගේම අර යුද්ධය එතනින්ම අවසන් උනා.

දැන් එතකොට අපට මේ බුදු පියාණන් වහන්සේ දුන්න මේ ශාන්ත සැනසුම් පණිවිඩය ගැන අපි හිත යොදලා බලමු. විශේෂයෙන්ම මේ සිද්ධිය ආශ්‍රයෙන් අපට හිතාගන්න පුළුවන් ලෝකයේ ක්‍රෝධය, කෝපය, ද්වේෂය, ආදිය පැන නගින ආකාරය. යම් තාක් ලෝකයේ යුද්ධ ඇතිවෙනවා නම්, ඒ හැම එකකම ආරම්භය මිනිස් සිතයි. මිනිස් සිතක බීජ වශයෙන් ඇතිවන ද්වේෂයක් මොරා යනවා ටිකින් ටික. මේක වෛරයක් වෙලා, අන්තිමට බද්ධ වෛරයක් බවට පත් උනාට පස්සේ ඒ ක්ලේශය තමන් දවමින්, තව ලෝකයාත් දවමින්, දීර්ඝ කාලයක් විනාශය කරා සත්වයා යොමු කරනවා. ඒ වගේම මේ පින්වතුන් අහලා තියෙනවා දැන් දෙව්දත් තෙරුන් වහන්සේ පිළිබඳ ඒ අතීත කථාන්තර. ඒ දේවදත්ත ඒ අතීතයේ බෝධි සත්ත්වයන් වහන්සේ කෙරෙහි ඇති කර ගත්තු ද්වේෂය කොයි තරම් කල්ප ගණනක් ඉදිරියට ගියාද? අන්න ඒ වගේ ඒ ලෝකයේ ඇති අනිත්‍ය බව අපි පළමුවෙන්ම කල්පනා කරන්ට ඕන. විශේෂයෙන්ම මේ යුගය, මේ රටේ, ඒ වගේම ලෝකයේත්, හැම තැනම මේ ද්වේෂ ගින්න පැතිරෙන, ක්‍රෝධ ගින්න පැතිරෙන, යුගයක්. එතකොට මේ ලෝකයා සැපය හැටියට සලකන්නේ සටන් කරලා ජය ලබා ගැනීමයි. ජය පානය කරනවා කියලා එකක් තියෙනවා, බොහෝ දෙනා සටන් කරලා ඒ තමන්ට ඇතිවුන නොසන්සුන් කම හඳුනා ගන්නෙන් නැතිව සන්සුන් කමක්, සැනසීමක්, බලාපොරොත්තු වෙන්නෙ ඒ විරුද්ධ වාදියා මැඩලා, එක්කෝ මරණයට පත් කරලා, ඊට පස්සේ ජය පානය කිරීමෙන්. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙනවා -

‘ජයං වෛරං පසවති දුක්ඛං සේති පරාජිතො
උපසන්තො සුඛං සේති හිත්වා ජයපරාජයං’

යම් කෙනෙක් ජයග්‍රහණයක් ලැබුවොත් එයින් ඇති වෙන්නෙ තවදුරටත් වෛරයයි. උපශාන්ත පුද්ගලයා ජය පරාජය දෙකම අත්හැරලා සැපසේ වාසය කරනවා කියලා. ඒ වගේම වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් බුද්ධ වචනයයි. අන්න එතකොට අපට තේරෙනවා මේ වෛරය කියන සිතිවිල්ල කොතරම් විනාශයක් ලෝකය පුරා ඇති කරනවද කියලා. ආරම්භයේදීම මේකට නියම ආකාරයට බෙහෙත් වැටුණේ නැත්නම් හරියට විෂබීජයක් වගෙයි. දැන් විෂබීජ පැතිරෙන තැනක යම් කිසි එන්නත් කිරීමක්, ප්‍රතිශක්ති කරණයක්, ආදියක් අවශ්‍ය වෙනවා. ප්‍රතිශක්තිකරණයක් නැති තැන විෂබීජ භයානක අන්දමින් වැඩිලා කෙනෙක් රෝගී බවට පත්වෙනවා. ඒ වගේම තමයි මේ ද්වේෂය කියන එක. ඇතැම් කෙනෙකු තුළ මේවාට නිසි මෛත්‍රී භාවනාදිය නැති උනාම චරිතාංග බවට පත් වෙනවා. හැම තිස්සෙම නොරිස්සුම් ගතිය, ද්වේශය, ක්‍රෝධය, ඉහවහා යන ස්වභාවයක් තිබෙනවා. එබඳු පුද්ගලයා ධර්මයේ හඳුන්වන්නේ “අරුකූපමො පුග්ගලො” කියලා. ‘අරුක’ කියලා කියන්නේ තුවාලය. තුවාලයක් ඇති කෙනෙක් පිරිසක් මැදට ගියාම හැම තිස්සෙම ඒ පිරිස ටිකක් එහෙ මෙහෙ ගැටෙන කොට මේ තැනැත්තාට තරහ යනවා. තමන්ගේ තුවාලය ඉද්දෙන නිසා. අන්න ඒ වගේ තුවාල කාරයෙකුට උපමා කරලා තියෙනවා, දැඩි ද්වේෂයක් ඇති පුද්ගලයා. හැම තිස්සෙම ගැටෙන ස්වභාවයක් ඇති වෙනවා අර ද්වේෂය නිසා. හැම තැනම ගැටෙනවා. පුද්ගලයින් සමඟත්, සමහර දේ සමඟත් නිතර ගැටෙන ස්වභාවය. ඒ හැම ගැටෙන වාරයක් පාසා මේ තැනැත්තාගේ සිත තුළ ඇතිවෙන පරිවර්තනය මොකක්ද? අර ද්වේෂය කියන භයානක ක්ලේශධර්මය ඒ ඒ අවස්ථාවේ සිද්ධවෙනවා පමණක් නොවෙයි, දීර්ඝ කාලයක් සංසාරයේ ඒ කර්මානුරූපව යක්ෂ ප්‍රේත ආදී, එහෙම නැත්නම් නිරය ආදී තැන්වලට යවමින් ඒ තැනැත්තාව දිගු කාලයක් දුක් ගෙනදෙනවා. ඒ වගේම ඒ සිතිවිල්ල වැඩුනට පස්සේ එක වචනයෙන් පිටවෙනවා පරුෂ වචන වශයෙන්. ඊළඟට එතනින් කෙළවර වන්නේ නෑ. බහින් බස් වීම් ආදියෙන් පස්සේ ඊළඟට ක්‍රියාත්මක වෙලා ප්‍රාණඝාතය ආදී ඒ භයානක අකුසල් වලටත් කෙනෙක් යොමු වෙනවා. ඔන්න ඔය විදියට ද්වේෂයේ තියෙන ආදීනව පක්ෂය කලින්ම කෙනෙකුන් කල්පනා කරලා බැලිය යුතුව තිබෙනවා.

ඊළඟට බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම බද්ධ වෛරය - ‘ආඝාත’ කියලා කියනවා එකට, ආඝාත බැඳගන්නවා කියලා - එබඳු ඒ බද්ධ වෛරයක් සංසිඳුවා ගැනීමට ක්‍රම පහක් ප්‍රකාශ කරලා තියෙනවා. එකක් මේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මෛත්‍රියමයි. මෛත්‍රී භාවනාව වැඩීම. දෙවනුව කියලා තියෙන්නේ කරුණාව. ඇතැම් අවස්ථාවල කරුණාවත් උපකාරී වෙනවා ඒ තමන්ගේ විරුද්ධ වාදියාගේ දුර්වලතාවන් තේරුම් ගැනීමට, ඒක සංසාරික දුර්වලතාවයක් හැටියට සළකලා, ලෙඩක් හැටියට සලකලා, වෛරයක් ඇති කරගත්තු පුද්ගලයා එහෙම නැත්නම් ද්වේෂයක් ඇති කරගත්තු පුද්ගලයා දෙස බලන්නට තියෙන්නේ ඒ තැනැත්තා ලෙඩෙක් හැටියට තුවාල කාරයෙක් හැටියට. එතකොට ඒ කරුණාව මාර්ගය කරගෙනත්, මාධ්‍ය කරගෙනත්, කෙනෙකුට පුළුවන් තමන්ට ඇතිවෙච්ච බද්ධ වෛරයක්, එහෙම නැත්නම් දැඩි ද්වේෂයක් සංසිඳවා ගන්න. ඒ වගේම තවත් සමහර අවස්ථාවලවල උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මැදහත් බැලීම. ඒ තැනැත්තාගේ ශරීරයත් මගේ ශරීරයත් හැදිලා තිබෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන ධාතුවලින්. මේ තැනැත්තාගේ අසුවල් තැන් කෙරෙහි ද මා ද්වේෂය පවත්වන්නේ කියලා. ඒ විදියට යම් කිසි ආකාරයකින් උපේක්ෂාවක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ උපේක්ෂාවත් ඒ ද්වේෂය සංසිඳවා ගැනීමට උපකාර වෙන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ‘අසති අමනසිකාර’ කියලා කියන නොමෙනෙහි කිරීම. ද්වේෂය වැඩෙන්නේ නැවත නැවතත් ඒක සිතට මතුවීම නිසා. ඒ මතුවෙන ස්වභාවය ඉවත් කිරීමට එය නොමෙනෙහි කරන්න උත්සාහ කරන්ට ඕන. නොමෙනෙහි කිරීමට හිත පමුණුවන්න ඕන. තමන්ට කළ වරදට ඒ පිළිබඳ පළිගැනීමේ චේතනාව තිබෙන නිසයි ඒක නැවත නැවත මතුවෙන්නෙ. ඒ වෙනුවට ඒක අමතක කිරීමටඋත්සාහ කරන්ට ඕන. ඒ වගේම තවත් ක්‍රමයක් දක්වල තියෙනවා, මේ හැම සත්ත්වයින්ම කම්ම දායාද කරගෙන සිටින අය බව ධර්මයානුකූලව කල්පනා කරනවා. ඒ කියන්නෙ ධර්මතාව හිතනවා මේ කර්මානුරූපව ඒ ඒ තැනැත්තා කරන දේවල්වලට ඒවායේ ඵල විපාක විඳිනවා කියලා දැන් බොහෝ දෙනෙකුට ද්වේශය ඇති වෙන්නේ - සාධාරණ කෝපය කියලා දෙයක් ඇතිවෙන්නේ - අනිත් අයට යම්කිසි ‘පාඩමක් ඉගැන්වීමටයි’. “ඒ අයට පාඩමක් උගන්වන්න ඕන” කියලා ඒ විදියට හිතාගෙන. නමුත් තමා තුළ තිබෙන ද්වේශය තමාට පේන්නේ නෑ. ඒක වංචක ධර්මයක් වශයෙන් යට වෙනවා. අන්න ඒක නිසා හිතන්න තියෙන්නෙ මේක මේ ලෝකෙ ධර්මතාවක්., කර්මානුරූපව කෙනෙක් වැරදි කළොත් ඒකට විඳින්න වෙනවා. අපි ඒකට උපකරණ වීමට සුදුසු නෑ. එසේ උපකරණ උනොත් ඒ අයට දඬුවම් කිරීම වශයෙන්, අපටත එහි ප්‍රතිඵලයත් විඳින්නට සිද්ධ වෙනවා. ඔය විදියට බුදු පියාණන් වහන්සේ ක්‍රම පහක් දක්වලා තියෙනවා, ඒ බද්ධ වෛරය සංසිඳවා ගැනීමට.

මේක එදිනෙදා ජීවිතයේ තමන්ට තමන්ව අත් දකින්ට පුළුවන්, ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම මේ ශාසනයේ මෛත්‍රී කරුණා ආදී ගුණ වලින් ඉතාමත්ම ප්‍රකට ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අග්‍ර ශ්‍රාවක සැරියුත් මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එක අවස්ථාවක සංඝයා වහන්සේලාට ක්‍රම පහක් දක්වා වදාළා, මේ ‘ආඝාත’ කියලා කියන බද්ධ වෛරය සංසිඳුවා ගැනීමට. ඉතාමත්ම පුදුම විදියේ උපමා උන්වහන්සේ දක්වන්නේ. උන්වහන්සේ පෙන්නුම් කරනවා, දැන් මෙන්න යම්කිසි කෙනෙකුට ද්වේෂයක් එහෙම නැත්නම් වෛරය ඇති උනා තව කෙනෙකු පිළිබඳව. ඒ තැනැත්තාගේ කායික හැසිරීම් අපිරිසිදුයි, ඒ කියන්නේ කායික හැසිරීම ඉතාමත් නරකයි, නමුත් වාචසික හැසිරීම ඉතාමත් ප්‍රියමනාපයි, හොඳයි. එහෙම නැත්නම් වාචසික හැසිරීම් වල දෝෂයක් නෑ. අන්න එබඳු පුද්ගලයා ගැන කෙනෙකුට වෛරය ඇති උනාම පිළිපැදිය යුතු ආකාරය ඒ සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා උපමාවකින්. දැන් ඔය පංශුකූල සිව්රු පරිහරණය කරන සංඝයා වහන්සේලා මාර්ගයේ, වීදියේ, යන අතරේ යම්කිසි රෙදිකඩක් හමු උනාම වම්පයින් එක කොනක් පාගාගෙන දකුණු පයින් අර හොඳ රෙදි කෑල්ල ඇදල ඉරලා ඒ ටික අරගෙන පිටත් වෙලා යන්නා වගේ, ඒ අවස්ථාවේ අර පුද්ගලයාගේ නරක කායික හැසිරීම් මෙනෙහි නොකළ යුතුයි. කායික හැසිරීම් ගැන හිතන්නේ නැතිව හොඳ පැත්ත විතරක් හිතනවා. වාචසික හැසිරීම් හොඳයි කියන එක ඉදිරිපත් කරගෙන තමන්ගේ ද්වේශය සංසිඳවා ගන්නවා. මෙන්න මේ උපමාවක් දෙන්නේ. ඒක ඉතින් අර සංඝයා වහන්සේලාට පොදු එකක් හැටියට නෙවෙයි තම තමනුත් ඒ උපමාව ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. මේ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා, එහෙම නැත්නම් අපි කියමු මේ නරක පැත්ත තමයි කායික හැසිරීම, හොඳ පැත්ත තමයි වචනයේ හැසිරීම. ඉතින් තමන්ගේ ද්වේශය වඩා ගන්න ඕනෙ නම්, වෛරය වඩා ගන්න ඕනෙ නම්, අර නරක පැත්තයි අප හිතන්න පෙලඹෙන්නේ. සමහර විට කන්දක් තරම් වටිනා ගුණයක් තියෙන කෙනෙකුගේ ඒ ගුණය මකන්න පුළුවන් කෙන්දක් තරම් පොඩි දෝෂයකින්. එක්තරා අස්ථාන රුචියක්, එක්තරා අස්ථාන ප්‍රීතියක්, භුක්ති විඳිනවා අර ද්වේෂ සිතුවිල්ලෙන්. ඒක තමන්ට තියෙන්නේ නෑ. තමන් දැවෙනවා. ඒක වෙන්නෙ අර නොමෙනෙහි කළයුතු දේ මෙනෙහි කිරීම නිසා. එතකොට සැරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර උපමාව සිතට අරගෙන - පංශුකූල සිවුරු දරන ස්වාමීන් වහන්සේලා කෙනෙකුට අරවිදියෙ කිලිටි රෙදි කඩක් හමුවුනාම ඒක අත්හැරලා යනවත් නොවෙයි. එයින් ගත යුතු ටික විතරක් ගන්නවා. අන්න ඒ වගේ අර පුද්ගලයාගේ හොඳ පැත්ත සිහිපත් කරලා තමන්ගේ සිත මෛත්‍රියට නැඹුරු කරගන්නවා. කරුණාවට නැඹුරු කරගන්නවා. අර තමන්ගේ භයානක විපාක දෙන ඒ බද්ධ වෛරය සංසිඳුවා ගන්නවා.

ඒ වගේම ඊළඟට දෙන උපමාව, ඒකේ තියෙන්නේ යම්කිසි කෙනෙක් ඉන්නවා, ඒ තැනැත්තාගේ කායික හැසිරීම පිරිසුදුයි, වාචසික හැසිරීම අපිරිසුදුයි. ඒ කියන්නේ කයින් කරන වැඩ හොඳයි නමුත් වචනයෙන් කරන දේවල් නරකයි. අන්න එබඳු පුද්ගලයා පිළිබඳව ඇති වන බද්ධ වෛරය සංසිඳුවා ගැනීමට සැරියුත් ස්වාමීන් වහන්සේ දෙන උපමාව මොකක්ද, ඔන්න යම්කිසි කෙනෙක් මහා නියං කාලයක, ග්‍රීෂ්ම කාලයක, දැඩි පිපාසයකින් එනවා වතුර හොයාගෙන. විලක් තියෙනවා, ඒ විලේ වතුර දිය සෙවෙල්වලින් වැහිලා. එතකොට වතුර බොන්න ඕනෑ නිසා කොහොම හරි අර දිය සෙවෙල් අත් දෙකෙන් ඉවත් කරලා තමන්ට ඕනෑ තරම් වතුර බීලා පිටත් වෙලා යනවා. අන්න ඒ වගේ එතන අර දිය සෙවෙල්වලට උපමා කරලා තියෙන්නේ අර තැනැත්තාගේ අර වචනයේ ඇති අඩු පාඩුකම්. ඒවා මෙනෙහි කරන්නේ නැතිව හොඳ ටික විතරක් ගන්නයි කියන එකයි ඒකෙන් දැක්වෙන්නේ. අන්න ඒ විදිහට ඒ ඒ පුද්ගලයාගේ විවිධත්වය අනුව සැරියුත් ස්වාමීන් වහන්සේ තමන්ගේ හැඟුම් හික්මවා ගන්න ක්‍රමයක්, නියම මෙනෙහි කිරීමේ ක්‍රමයක් එතනට දක්වලා තියෙනවා.

ඊළඟට තුන්වෙනුව දක්වනවා, ඔන්න යම් කිසි කෙනෙක් සිටින්න පුළුවන් ඒ තැනැත්තාගේ කායික හැසිරීමුත් ඉතාම නරකයි. වාචසික හැසිරීමුත් ඉතාම නරකයි. නමුත් ඉඳහිටලා, විටින් විට, හිතේ පිරිසිදු පැහැදුණු ස්වභාවයක් මතුවෙනවා, කලාතුරකින් වගේ. අන්න එබඳු පුද්ගලයා පිළිබඳව ඇතිවෙච්ච වෛරය සංසිඳවා ගන්න සැරියුත් ස්වාමීන් වහන්සේ දෙන උපමාව මහා පුදුමයි. ඔන්න යම්කිසි නියං කාලයක ඉතාමත් පිපාසිතව කෙනෙක් වතුර හොයාගෙන යනවා. යන අතරේ වෙන කොහේවත් වතුර නෑ. හරකෙක් අඩිය තියපු තැනක වතුර ටිකක් තියෙනවා. මේක දැක්කම මේ තැනැත්තා කල්පනා කරන්නේ නෑ “දැන් මම පනිට්ටුවක් ගෙනල්ලා මේ වතුර ටික බොන්න ඕන” කියලා වත් “මේකට අත් දෙක දාලා බොන්න ඕන” කියලා වත්. මොකද, එතකොට වතුර කැලතෙනවා. ඒක කරන්න බැරි දෙයක්. ඒක නිසා ඒ අවස්ථානුකූලව ඒ තැනැත්තා මොකද කරන්නේ, හරකෙක් වගේ බිම හතර ගාතෙන් වැටිලා දිව ගාලා අර වතුර ටික බොනවා. මොකද, නියං කාලේ පිපාසේ නිසා. ඔය උපමාව ආශ්‍රයෙන් සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරන්නේ මොකක්ද, අර පුද්ගලයාගේ කොයිතරම් නරක පැත්ත තිබුණත් - කායික හැසිරීම්වල ගන්න දෙයක් නෑ, වාචසික හැසිරීම් ගන්න දෙයක් නෑ - නමුත් ඉඳහිටලා යන්තම් අර මහා ඝනාන්ධකාර රාත්‍රියක පොඩි විදුලි කෙටිල්ලක් වගේ හිතේ පොඩි විවරයක් එනවා - ඒ ටික ඇති කෙනෙකුට මෛත්‍රී වඩන්න, කරුණාව ඇති කරගන්න. ඒකයි සැරියුත් ස්වාමීන් වහන්සේ දෙන පාඩම. අර නුසුදුසු පැත්ත අමතක කරලා “අනේ මේ මෙච්චර මෙහෙම උනත් ටිකක් තියෙනවා නේද මේ තැනැත්තාගේ ගන්න” කියලා ඒක මෙනෙහි කරලා තමන්ගේ ද්වේෂය සංසිඳවා ගන්නවා. මේ ඔක්කොම තමන් වෙනුවෙන් කරන්නේ. තමන්ගේ හිතේ අර ද්වේෂ ගින්න වැඩුණොත් තමන්ට සාංසාරික වශයෙනුත් බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. එපමණක් නොවෙයි මේ ජීවිතයේ පවා ඒක වැඩිලා ගිහිල්ලා අන්තිමට කල කෝලාහල මිනී මැරුම් ආදිය දක්වාම යන නිසා. ඔන්න එතකොට ඒ තුන්වෙනි උපමාව.

ඊළඟට සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා ඔන්න කෙනෙක් ඉන්න පුළුවන් අර කායික හැසිරීම - ඒත් බොහොම නරකයි. ගන්න දෙයක් නෑ. වාචසික හැසිරීම - ඒත් ගන්න දෙයක් නෑ. ඊළඟට කියනවා ඒ තැනැත්තාට ඉඳහිටලාවත්, විදුලි කොටනවා වගේ වත්, හිතේ හොඳක් මතුවෙන්නේ නෑ. එහෙම නැතිනම් ප්‍රසාද ස්වභාවයක් මතුවෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් “ගන්නම දෙයක් නැති” තරම් කෙනෙක්. නමුත් එබඳු පුද්ගලයා පිළිබඳව පවා ගතයුතු ආකල්පය ඊළඟට දක්වනවා. ඔන්න යම්කිසි කෙනෙක් දකිනවා ඉතාමත්ම දුගී රෝගී අසරණ පුද්ගලයෙක් කාන්තාර මාර්ගයක යනවා. ඒ තැනැත්තාට ගෙනියන්න ආහාරයක් නෑ. බොන්න වතුරක් නෑ. මාර්ගය පෙන්වන කෙනෙක් නෑ. ආහාර නෑ. බේත් නෑ. අන්න ඒ තත්ත්වයෙන් ඉතාම දුක්ඛිත අසරණ අන්දමින් ඒ තැනැත්තා ගමන් මාර්ගයේ යනවා. ඒක දකින යම් කිසි නුවණැති පුද්ගලයෙක් කල්පනා කරන්නේ කොහොමද? “අනේ මේ අසරණ මනුෂ්‍යයාට කවුරුහරි පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා නම් මාර්ගය දක්වන්න. කවුරුහරි ආහාර ටිකක් දෙනවා නම්, බෙහෙත් ටිකක් දෙනවා නම්, මේ තැනැත්තා විනාශයට පත් නොවී කොහොම හරි ජීවිතය රැකෙන ආකාරයට” කියලා කරුණා සිතිවිල්ලක් මතුකර ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක් දකිනකොට කරුණාව ඇතිවෙන අයට එහෙම සිතිවිලි ඇති වෙනවා. අන්න ඒ උපමාව ආශ්‍රයෙන් අපට හිතන්න තියෙන්නේ අර ඒ තමන්ට යම් කිසි වරදක් කළ පුද්ගලයාගේ ගත යුතු කොහෙත්ම දෙයක් නැත්නම් ඒත් ඒ පුද්ගලයාට කරුණාව දැක්විය යුතු බවයි. මේ හැම උපමාවකින්ම අපි දක්වන්නේ, තමන්ගේ හිත ඒ උපමාවට යොදලා ඒ ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතයට ගතයුතු ටික ගැනීමයි. ඒ හතරවෙනි පුද්ගලයා පිළිබඳව.

ඊළඟට පස්වෙනුව දක්වනවා, දැන් සමහර විට සමාජයේ මෙහෙම දේවලුත් සිදුවෙනවා. කෙනෙකුගේ කායික හැසිරීම ඉතාම හොඳයි. වාචසික හැසිරීම ඉතාම හොඳයි. කියන්න කිසිම වරදක් නෑ වගේ, නමුත් මොකක් නමුත් හේතුවක් නිසා ද්වේෂයක් ඇතිවෙනවා, පෞද්ගලික කාරණයක් නිසා හෝ. අන්න එබඳු ද්වේෂයක් ඇති උනාම ඒක නම් සංසිඳවා ගන්න බොහොම පහසුයි. ඒකටත් සැරියුත් ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. ඒත් අර නියං කාලේ කෙනෙක් පිපාසිතව වතුර හොයාගෙන යන අතරේ හමුවෙනවා හොඳට පිරුණු විලක්, පොකුණක්, හොඳ සෙවන ඇති, පිරිසිදු ජලය ඇති, සෙවණ ඇති ගස් වටේට තිබෙනවා. අන්න ඒ තැනැත්තා කිසිම කරදරයක් නැතිව ඕන හැටියට වතුර බීලා නාලා, ඒ ගසක් යට සංසුන්ව සැපසේ ඉන්නවා වගේ අර තැනැත්තාගේ හොඳ පැත්ත ගැන මෙනෙහි කරලා මේ තැනැත්තා නිසා මට මේ විදියට ද්වේෂයක් ඇති උනත් මේ තරම් හොඳ ගුණ ඇති කෙනෙක් කියලා හිතලා ඒ ගුණය නාලා - ඒ ගුණ ගඟේ නාලා - තමන්ගේ ද්වේෂ ගින්න සංසිඳවා ගත යුතු බව සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා.

ඔන්න ඔය විදියට අපිට දැන් කල්පනා කරන්ට තියෙන්නේ. මේක තුළින් අපට පෙනෙන්නේ මොකක්ද? අපේ ජීවිතය යන මාර්ගය, අපි කරන ක්‍රියාවල් හැම එකකටම යටින් තිබෙන්නේ අපි යමක් පිළිබඳව ගන්න ආකල්පයයි. යමක් පිළිබඳව අපි දරණ ආකල්පයයි. ‘ආකල්පය’ කියලා කියන්නේ අපි යමක් දිහා බලන ආකාරයයි. ඒක අපිට වෙනස් කර ගන්න පුළුවන්. ඒක ස්ථිර දෙයක් නොවෙයි. අපිට පුළුවන් ඒක වෙනස් කරගන්ට. ඒක වෙනස් කිරීම කළ යුත්තේ ධර්මානුකූලව බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා - දැන්, නුවණින් මෙනෙහි කිරීම අනුවණින් මෙනෙහි කිරීම - එහෙම නැතිනම් නිසියාකාර මෙනෙහි කිරීමත් අනිසි මෙනෙහි කිරීමත් - කියලා දෙකක් ධර්මයෙහි තිබෙනවා. අනිසි මෙනෙහි කිරීම කියන එක ධර්මයේ දක්වන්නේ අයෝනිසෝ මනසිකාර කියලා. කෙලෙස් සියල්ලම ඇති වෙන්නේ, ඒවාට අදාළ දේවල්, අර අනිසි විදියේ මෙනෙහි කිරීමෙන්. එතකොට ඒවායින් මිදීමට නම් නිසියාකාර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දැන් සැරියුත් ස්වාමීන් වහන්සේ මෙතන මේ උපමා මගින් දක්වලා තිබෙන්නේත් අන්න නිසි ආකාර මෙනෙහි කිරීම. බුදු පියාණන් වහන්සේ කොටින්ම අවසර දීලා තිබෙනවා යම් ආකාරයකින් අකුසල් යට යනවා නම් කුසල් මතුවෙනවා නම් අන්න ඒ ආකාරයෙන් මෙනෙහි කළ යුතුයි. මොනම උපමාවක් හෝ උපකාර කරගෙන, මොනම ක්‍රමයක් හෝ උපයෝගී කරගෙන, අකුසල් - අකුසල් කියලා කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය - ඒවාට අදාළ දේවල්, ඒවා යටපත් වෙන ආකාරයටයි මෙනෙහි කරන්ට ඕනෙ. ඒවා නැති වෙන ආකාරයටයි. ඒවා වැඩෙන ආකාරයට නෙවෙයි. ඉතින් ඒකට නම් තමන්ටම අයිතියි යම් කිසි උපමාවක්, එහෙම නැතිනම් යම්කිසි මානසික චිත්‍රයක්, හොඳ සිතිවිල්ලක් මුල් කරගෙන හිත හසුරුවා ගන්න. අන්න ඒ විදියට ක්‍රමානුකූලව වැඩීමෙන් තමයි ආකල්පය කියලා දෙයක් ඇතිවෙන්නේ. දැන් අපි හිතමු කොහෙත්ම මෛත්‍රී භාවනාවක්, මෛත්‍රියක්, කියන එක දන්නෙවත් නැති කෙනෙක් ලෝකය දිහා බලන දෘෂ්ටි කෝණය, එහෙම නැතිනම් ලෝකය දිහා බලන ආකාරය, කොයි වගේද කියතොත් ඒ තැනැත්තා හැම තැනම ගැටෙනවා. මුළු ජීවිතයම අවුලක් කර ගන්නවා. තමනුත් විනාශ වෙලා අනිත් අයත් විනාශ කරනවා.

එහෙම නැතිව යම්කිසි කෙනෙක් ටිකෙන් ටික හරි පටන් ගන්නවා නම්, තමන්ගේ හිතට දානවා නම්, අපි අර මේ දේශනාව ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රකාශ කළ වාක්‍යය - ඒ කියන්නෙ සැපයට කැමති බව මුළු සත්ත්ව ලෝකයා තුළම තියෙන ධර්මතාවක්. එතකොට මෛත්‍රිය කියලා කියන්නේ මෙන්න මේ ලෝකයේ තියෙන සැප කැමති බව කියන අදහස තමන්ගේ හිතට ජීර්ණ කර ගැනීමයි. මේ හිත හැම තිස්සේම විසිරෙන්නේ, එක අරමුණක නොපිහිටින්නේ, මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ කෙලෙස් මතුවීම තුළිනුයි. එතකොට මේකට ලෝකයාට පොදු යම් කිසි ධර්මතාවක් අපේ හිතට දුන්නොත්, හැම දෙනාම සැපයට කැමතියි කියලා, ඒක තුළ පුළුවන් අපේ හිත තැන්පත් කරගන්න. ඉතින් ඒක ‘සුවපත් වේවා’ හරි, ‘සුවපත් වෙත්වා’ හරි, එක වචනයක් තුළට නැඟීමෙන්, ඒක නිතර හිතට මතුකර ගැනීමෙන්, නිතර නිතර සිතට මතුකර ගැනීමෙන්, අන්න තමන්ගේ ආකල්පයක් වෙනස් වෙනවා. ඒ වගේම සමාධිය ආදි ඒ අනිකුත් ගුණධර්ම රාශියක් ඒ නිසා වැඩෙනවා.

ඒවායේ ආනිසංසත් බුදු පියාණන් වහන්සේ කොතෙකුත් දක්වලා තියෙනවා. මේ පින්වතුන් අහලත් ඇති, ‘මෙත්තානිසංස’ සූත්‍රයේ එහෙම එදිනෙදා අත් දකින ආනිසංස මෛත්‍රී භාවනාවෙන් - ඒ මෛත්‍රී භාවනාව තුළින් කෙනෙකුගේ සිත විමුක්ත උනොත්, සිත විමුක්ත වෙනවා කියලා කියන්නේ මොකක්ද? දැන් ‘බද්ධ වෛරය’ කියලා කියනකොට එතනම තියෙනවා බැඳීම - බන්ධනය, සිත බැඳෙනවා. යම්කිසි පටිඝ නිමිත්තක්, එහෙම නැත්නම් තමන්ට කරන ලද වැරැද්දක් නිසා පළිගැනීමේ චේතනාව උඩ, ඒ සිත හැම තිස්සේම රෑ දවල් දෙකේම ගැටෙමින් පවතින්නේ. ඒක බන්ධනයක් වගේ. ඒක බරපතල බන්ධනයක් - ද්වේෂ බන්ධනයක්. ඒක තමයි සංසාරයේ සමහරු දිගින් දිගට එකිනෙකාගෙන් පළිගනිමින් යන්නේ. එතකොට ඒ වෙනුවට ඉදිරිපත් කර ගන්නවා සිතේ විමුක්තිය. ඒකට කියනවා ‘මෙත්තා චේතෝවිමුක්තිය’ කියලා. මෛත්‍රී භාවනාව හොඳට සිතට ජීරණ වෙන අන්දමින්, මුළු මහත් ලෝකයා වෙත පැතිරුණු ඒ පිරිසිදු මෛත්‍රී සිත ඇති තත්ත්වය චේතෝ විමුක්තිය හැටියට දක්වනවා - මෛත්‍රීචේතෝවිමුක්ති. එබඳු ඒ චේතෝ විමුක්ති තත්ත්වයට - මෛත්‍රී චේතෝ විමුක්ති තත්ත්වයට පත්වුනු සිතක - ඇතිවෙන සැනසීම එයින් එදිනෙදා ජීවිතයේ පවා ලැබෙන ආනිසංස බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා, එකොළහක් හැටියට. ඉතාමත්ම සැප නින්දක්, එදිනෙදා ජීවිතයේ සැප නින්දක් ලබන්ට පුළුවන්. ඊළඟට ප්‍රබෝධවත්ව නැගිටින්න පුළුවන්. නරක හීන පෙනෙන්නේ නෑ. ඊළඟට මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව පවා සැලසෙනවා. ඒ වගේම තමන්ට පැමිණිය හැකි යම් යම් උපද්‍රව වලින් - වස විස ආයුධ ආදියෙන් පැමිණිය හැකි උපද්‍රව - බොහෝවිට අර මෛත්‍රී සිතේ බලයෙන්ම වැළකී යනවා. ඒ වගේම ඉක්මණින්ම සිත තැන්පත් වෙනවා. සමාධිමත් වෙනවා. මුහුණේ වර්ණය, එහෙම නැත්නම් ශෝභාව, වැඩිවෙනවා. ඒ වගේම මිය පරලොව යන අවස්ථාවේ හොඳ සිහියෙන් කාලක්‍රියා කරන්ට පුළුවන් වෙනවා. යම්කිසි මාර්ගඵල ආදියක් ලබලා නැත්නම්, නිවන් ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නැත්නම්, යටත් පිරිසෙයින්, අවම වශයෙන්, බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා කියලා ඔය විදියට අර මෛත්‍රී භාවනාව හොඳට චේතෝ විමුක්ති තත්ත්වයටම දියුණු කරගන්නා පුද්ගලයාට ලැබෙන ආනිසංස රාශියක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා.

අන්න ඒක නිසා දැන් මෙබඳු මේ උතුම් වෙසක් පොහොය දිනක අපි අධිෂ්ඨාන කරගන්න ඕන - අපේ ජීවිතය යහමගට ගෙන යාමට වැඩි දෙයක්ම අවශ්‍ය නෑ. ඉතාම සුළු වෙනසයි කරන්ට ඕන. දැන් දන්නවා විශාල යන්ත්‍රයක් පවා, සමහර විට නතරවෙල තිබෙන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න, පොඩි ඇණයක් විතරයි ඕන කරන්නේ. එහෙම නැතිනම් යම්කිසි අඩුපාඩුවක් හරිගස්සගන්න. අන්න ඒ වගේ ලොකු දෙයක් නෙවෙයි මෙතන මේ තමන්ගේ ආකල්පය වෙනස් කරගන්න උපකාර වෙන්නේ. සමහර විට එක වචනයයි. ‘සුවපත් වේවා’ කියන අදහස, ඒ වචනය, භාවනාමය වශයෙන් තමන්ගේ හිතට දාගන්නවා. භාවනාව කියලා කියන්නේ අමුතු දෙයක් නොවෙයි. යම් කිසි කුසල් හිතක්, කුසල් අරමුණක් නැවත නැවත හිතට ඇතිකර ගැනීමෙන් ඇති කරගන්න විශේෂ ශක්තියක්. ඒ ශක්තියට කියනවා ‘ආසේවන’ කියලා. ඒ කියන්නේ නැවත නැවත ඇසුරුකිරීම තුළින් කෙනෙකුගේ හිතේ විශාල ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා තමයි භාවනාව ගැන කියනකොට ආසේවිතා, භාවිතා, බහුලීකතා - ආසේවනය කරනවා නිතර ඇසුරු කරනවා, ඒ වගේම වඩනවා, ඊළඟට බහුල වශයෙන් කරනවා. මෛත්‍රී සිතිවිල්ල නිතර ඇසුරු කිරීම කියලා කියන්නේ නිතර නිතර හිතට නගාගන්නවා ඒක.

ඒ විදියට ඒ සිතුවිල්ල තුළ තිබෙනවා සිත විමුක්ත කරවන ස්වභාවයක්. මොකද, සිත පටුවෙලා කොටු වෙලයි තිබෙන්නේ. ආත්මාර්ථකාමීත්වය නමැති ඒ වැට කඩුල්ල තුළ ලෝක සත්ත්වයාගේ සිත් පටුවෙල කොටුවෙලයි තිබෙන්නේ. ඒ ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ අනිත් අය සැපවත් වෙත්වා කියන ඒ සිතිවිල්ල පවත්වන්න. ඒ සැපවත් කිරීම බොහෝවිට ආරම්භවන්නේ තමන්ගෙ අවට සිටින අයගෙන්, තමන්ගේ ඥාතීන්ගෙන් මව් පිය දූ දරුවන් ආදීන්ගෙන්. නමුත් එතනින් නවත්වන්න නරකයි. ඊළඟට අසල්වාසීන් ඊළඟට මැදිහත් අය අවසානයේ සතුරන් පවා ඒ හැම දෙනාම. නියම ආකාරයෙන්ම සතුරන් ජය ගන්නවා කියලා කියන්නේ අර කියාපු විදියට යුද්ධ ආදියෙන් නොවෙයි. සතුරා ජයගැනීම අර ද්වේෂ සිතිවිල්ල සංසිඳවා ගැනීමෙන් කරන දෙයක්. හිත ඇතුළෙයි සතුරා ඉන්නේ, බාහිරව සිටින සතුරා නොවෙයි. ඒ පුද්ගලයාම තමයි. නමුත් අර තරහඋනාට පස්සේ එයා සතුරා වෙනවා. සතුරාත් මිතුරාත් අතර වෙනස තිබෙන්නේ වෙන එකක් නොවෙයි. තමන් ඒ තැනැත්තා කෙරෙහි ඇති ආකල්පයයි. ඒක නිසා ඒ ආකල්පය වෙනස් උන හැටියෙ අන්න ඒ සතුරා මිතුරා වෙනවා. ඒක නිසා තමයි අර බෞද්ධ පඬිවරු ප්‍රකාශ කරලා තිබෙන්නේ - එක් උපමාවක් හැටියට - මේ පොළොවේ තිබෙන තාක් කටු - දැන් අපිට පොළොවේ ඇවිදින්න ඕන නම් - මේ ඔක්කොම කටු ඉවත් කරලා ඉවරවෙලා ඇවිදින්න පටන් ගන්න හිතුවොත් ඒක කවදාවත් කෙරෙන්නේ නෑ. ඒ වෙනුවට තමන් පාවහන් දාගත්තහම අර කටුවලින් තමන්ට හානියක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ ලෝකයේ ඉන්න තරම් සතුරන් මරලා ඉවරවෙලා මම හොඳට සැප සේ නිදා ගන්නවා කියලා හිතුවොත්, ඒක කවදාවත් කරලා ඉවර කරන්න බෑ. ලෝකයේ සතුරන් මරලා තමන්ට කැමති අය විතරක් ඉතුරුකර ගන්න එක කවදාවත් සාර්ථක වෙන දෙයක් නොවෙයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ තමන් අර පාවහන් දා ගැනීමේ උපමාව වගේ එතන දක්වන්නේ තමන්ගෙ හිත. තමන්ගෙ හිතේ සිටින සතුරා මැරු කල - තමන්ගේ හිතෙයි මේ සතුරා ඉපදිලා තිබෙන්නේ - ඒ සතුරා මැරුවොත් අර ඔක්කොම සතුරන් මැරුවා වගේ වෙනවා. අන්න ඒ විදියට ඒ බෞද්ධ දාර්ශනිකයන් එහෙම දක්වලා තිබෙනවා නොයෙකුත් න්‍යායයන් උපන්‍යාසයන්. ඒ ආශ්‍රයෙන් තම තමන්ගේ සිත් සතන් භාවනාමය වශයෙන් දියුණු කරගැනීම තුළින් තමයි ඒ ආනිසංස දකින්න පුළුවන් වන්නේ.

එතකොට ඒ ද්වේෂය පිළිබඳව එහෙමයි. අනෙකුත් කෙලෙස් පිළිබඳවත් අර යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර, කියන ඒ ධර්මතාව අනුව අපි නිතර කල්පනා කරල බලන්ට ඕන. මේ සංසාරයේ දිගු කාලයක් අපව ගෙන යන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ කියන ඒ ක්ලේශ ධර්ම තුනයි. දැන් ලෝභය තමයි අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ එතන ආතුර වශයෙන්. ලෝකයා නිතරම ලෙඩින් සිටින්නෙ. කෙලෙස් ආතුර - කෙලෙස් ආතුර භාවයක්, ඒ කෙලෙස් ආතුර භාවයෙන් මිදීමට නම් අර තෘෂ්ණාව, ආශාව, ලෝභය කියන ක්ලේශ ධර්ම සංසිඳවා ගැනීමට සිදුවෙනවා. ඒ වගේම, ලෝකයා උත්සුක බවකින්, නිතරම නොසන්සුන් ස්වභාවයකින් සිටින්නේ. ඒ ඉමක් කොනක් නැති සෙවිල්ල නිසා, පංචකාම සම්පත්තිය, ඒවා පිළිබඳව ඇති දැඩි ගිජුබව නිසා දැන් ලෝකයේ කොතෙකුත් ඔය විවිධ විලාසිතාවන්, මෝස්තර, එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැති දේවල් සොයමින් ලෝකයා දුවන දිවිල්ල නිසා කොයි තරම් විනාශයක් එහෙම නැත්නම් දුක් රාශියක් එකතු කර ගන්නවාද කියලා අපිට පෙනෙනවා. සමහර විට ණය තුරුස් වෙලා, නොයෙකුත් දුක් රාශියක් රැස්කර ගන්නේ නියම සැනසීම, සැනසීම් සුවය, පිළිබඳ අවබෝධයක් නැති නිසයි. අන්න ඒක නිසා බුද්ධ වචනය අනුව අපි හැම තිස්සෙම කල්පනා කරන්ට ඕන විශේෂයෙන්ම මෛත්‍රියෙන්. මේ යුගය ද්වේෂයෙන් මුළු මහත් ලෝකයම විනාශවන යුගයක්. ඒක නිසා එදිනෙදා ජීවිතයේ තමන්ගේ ‘වැඩපොල’ හැටියට සලකන්ට ඕනෙ යම්කිසි භාවනා කර්මස්ථානයක්. එදිනෙදා ජීවිතය ගෙනයාම සඳහා නොයෙකුත් විදියේ කර්මාන්ත කරනවා, වැඩ කටයුතු කරනවා. නමුත් මේ හැම එකක්ම තමන්ගේ ශරීරය පවත්වා ගැනීමට - සැප විඳිනවා කියලා හිතන ඒ ශරීරය පවත්වා ගැනීමට පමණයි - උපකාර වෙන්නේ. මුළුමහත් සංසාරයේ අපව ගෙන යන්නේ මේ හිතයි. ශරීර කූඩුව අපි මෙතන අතහැරලා යනවා. නමුත් හිතේ ඇති කර ගත්තු ඒ කෙලෙස්වලට, ඒ කරනලද කර්මවලට ණය ගෙවීම් වශයෙන් තමයි දිගු කාලයක් සංසාරයේ සත්ත්වයා ගමන් කරන්නේ.

අන්න ඒක නිසා මීට වඩා විශේෂ සැලකිල්ලක් යෙදිය යුතුව තියෙනවා - මේ කය ගැන සැලකිල්ලට වඩා - මේ අපේ හිත ගැන. මේ හිත ඉතාමත්ම පහසුවෙන්ම කිළිටි වෙන්න පුළුවන්. ලෝකයේ තිබෙන නානා විධ අරමුණු ගලාගෙන ඇවිල්ල, එක්කෝ ද්වේෂයෙන් එහෙම නැතිනම් රාගයෙන්, එහෙම නැතිනම් මෝහයෙන් හිත කැළඹෙන ස්වභාවයක් තියෙනවා. මේක වැළැක්වීමට නම් හිත සමාධිමත් කරන්න යම්කිසි උපක්‍රමයක් යෙදිය යුතුව තියෙනවා. දැන් කෙනෙක් ‘සුවපත් වේවා’ කියන ඒ සිතිවිල්ල උදෑසන නැඟිටින්න වෙලාවෙම හිතට දමාගෙන ඊළඟට විනාඩි කිහිපයක් හෝ අධිෂ්ඨාන කරගෙන ඒ සිතිවිල්ල තුළ හිත පවත්වාලා පුරුදු වුණා නම්, ඒ තැනැත්තාට ක්‍රම ක්‍රමයෙන් පුළුවන් වෙනවා බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සතර ඉරියව්වෙම, අනිකුත් කටයුතු කරන අතරේ පවා, ඒ සිතිවිල්ල විටින් විට මතුකරගන්න. ඒ වගේම සමා ඉඩිරියට එන හැම කෙනෙකුටම ඒ අර මෛත්‍රී සිතිවිල්ල - මෛත්‍රී සිතිවිලි ධාරාව - නිකුත් කරන්න පුළුවන් ශක්තියක් ඒ තැනැත්තාට ඇති වෙනවා. ඒ විදියේ මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති උන පුද්ගලයා තමයි අර බුදුපියාණන් වහන්සේ වදාළ ආකාරයට ආනිසංස රාශියක් අත් දකින්නේ මෛත්‍රියෙන්.

ඊළඟට ඒ වගේම උපකාර වෙන දෙයක් තමයි කරුණාව. මෛත්‍රිය සාමාන්‍යයෙන් අර තමා හා සමාන වගේ සිටින සත්ත්වයින් පිළිබඳව. කරුණාව බොහෝවිට දුකට පත්වන අයටයි. දුකට පත්වෙනවා කියලා කියන්නේ සමහර විට ඒක තමන් ඉදිරියේ නොපෙනී ඉන්න අය, එහෙම නැතිනම් තුවාලයක් කරගත්තු කෙනෙක්, දැකලා අපිට සමහර විට කරුණාවක් ඇති වෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව වගේ අපිට හින්න තියෙන්නේ මේ සංසාරයේ සිටින හැම සත්ත්වයන්ම කරුණාවට අරමුණු විය යුතු බවයි. සසර දුකට වැටිලා සිටින හැම සත්ත්වයෙක්ම කරුණාවට අරමුණු කරගන්න පුළුවන්. එහෙම හිතලා තමයි අර ද්වේෂ සිතිවිල්ල ඉවත් කර ගන්න කරුණාව අපි උපකාර කර ගන්නේ.

ඒ වගේම එදිනෙදා ජීවිතයේ අර බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සුවසේ විසීමට - ‘සුසුඛං’ කියලා කියන ආකාරයට සුවසේ විසීමට - උපකාර වෙන මුදිතාව කියලා කියන ගුණය. මේක බ්‍රහ්ම විහාර වශයෙන් දැක්වෙනවා. බොහෝවිට සමාජයේ තියෙනවා ඊර්ෂ්‍යාව. තමාට වඩා ඉහළින් කෙනෙක් පෙනී සිටිනවා නම්, වඩා සුඛෝපභෝගී දේවල් පාවිච්චි කරනවා නම්, ඒ තැනැත්තා කෙරෙහි ඊර්ෂ්‍යාව. එතනත් තියෙන්නේ හොරැස්සුම් ගතිය, නුරුස්සන බවයි. ඒ වෙනුවට මුළු මහත් ලෝකයාම සැපයට කැමතියි. හැම දෙනෙක්ම. ඒ අය සැපවත් වීම තමා සැපවත් වීම හැටියට හිතාගන්න ඕන. ඒකයි මේ මුදිතාව කියලා කියන්නේ. තමාට උනත්. දැන් මේ මව්පියෝ තමන්ගේ දරුවන් හැදෙන වැඩෙන කොට සතුටු වෙනවා. නමුත් ඒ මව්පියන්ම තමන්ගේ අසල්වාසීන් යම් කිසි දියුණුවක් ලබනකොට ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්නවා. අන්න එතනින් පෙනෙනවා එතකොට අර හිතේ තියෙන යම් කිසි අඩුපාඩුවක්, පඩුවක්, නිසයි ඒක එහෙම වෙන්නේ. ඒ වෙනුවට හිතන්න තියෙන්නේ තමන්ගේ දූ දරුවන් ගැන හිතන්නා වෙසෙසින් මුළු මහත් ලෝකයාම සැපයට කැමතියි. හැම දෙනෙක්ම සුවපත් වීම මා සුවපත් උනා වෙසෙසින් කියලා හිතාගෙන ඒ විදියට මුදිතා ගුණය. මුදිතා ගුණය සමාජයේ ඉතාමත්ම දුර්ලභ ගුණයකි. වැඩිපුර ඊර්ෂ්‍යාව ආදිය පැතිරෙන්නේත් ඒ නිසයි.

ඊළඟට ඒ වගේම තමයි උපේක්ෂාව. ලෝකයේ බොහෝ දේවල් තිබෙනවා අපට වෙනස් කරන්න බෑ. ඒවා ඒ හැටියටමයි. අපි ඒවා දිහා බලාගෙන ඉන්නවා මිසක්, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මිසක්, ඒවා එක්ක ගැටෙන්න ගියොත් ඒක අපේ පරිහානියට හේතු වෙනවා. ඒ මොකද, ඒ එක එක පුද්ගලයා අරස් ආයු කළ නිසයි. ඒ ඒ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරීත්වය කර්මානුරූපව පැමිණි දෙයක්. එයින් අපට යම් කිසි ප්‍රමාණයකින් ඒ තැනැත්තාට උදව් වෙන්න පුළුවන් නම් මෛත්‍රී කරුණා ආදී ඒ නුවණැති ක්‍රියා මාර්ගයකින් උදව්වෙන එකයි අපට තියෙන්නේ. යම්කිසි විදියකින් එහෙම බැරිනම් උපේක්ෂාවයි ගෙනැවිත් තියෙන්නේ. මැදිහත් බවයි. එය පුද්ගලයාගේ කර්මයයි. කර්මානුරූපව ඇතිවෙච්ච දෙයක්. ඒ පිළිබඳව මට වෙහෙසිය යුතු දෙයක් නෑ. වෙහෙසෙන්න ක්‍රමයක් නෑ, කියලා ඒක ගැන උපේක්ෂාව ඇති කර ගන්න ඕන.

ඔය විදියට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ඒ ගුණ සමාජයේ වැඩිවෙනකොට තමන්ට අර බුදු පියාණන් වහන්සේ වදාළ අර ‘සුසුඛං’ කියලා කියන ඒ උතුම් සුවය අත්දකින්න පුළුවන් වෙනවා. එතකොට අපේ මේ ජීවිතය හැඩගස්වා ගැනීම පිළිබඳව අපි කිසිම උත්සාහවත් උනේ නැත්නම් මේ සමාජයේ පැතිරීගෙන යන භයානක ද්වේෂ ගින්නට, ක්‍රෝධ ගින්නට, අහුවෙලා අපේ මේ ජීවිතය විනාශ වෙනවා. දැන් නොයෙකුත් ජනමාධ්‍ය වලින් මුළු දවස තිස්සේම ඇසෙන්නේ ද්වේෂයට ක්‍රෝධයට වෛරයට තුඩුදෙන අරමුණු. ඒවා අහන්න ලැබෙනකොට, දකින්න ලැබෙනකොට, ඒ තුළින් හිත තුළ අවිද්‍යාවක් ඇති නොවන ආකාරයට යම්කිසි ආකල්පයක්, ආකල්ප ශක්තියක්, ඇති කරගන්නොත් අන්න ඒ තැනැත්තාට පුළුවන් අර මහා කටු ඇති ප්‍රදේශයක පාවහන් දාගෙන ඇවිදින්න වගේ ආරක්ෂිතව සමාජයේ ජීවත් වෙන්න. ඒක නිසා මේ හැම එකකටම උපකාර වෙන්නේ අපේ මේ හිතේ වැඩිමයි. හිත ගැන නොතකා, හිතක ශක්තිය ගැන නොතකා, එදිනෙදා ජීවිතයේ තමන්ගේ රැකීරක්ෂා ආදියේ, අනිකුත් ලෞකික කටයුතුවල පමණක් යෙදෙමින් එපමණකින් සෑහීමකට පත්වෙන්න කෙනෙක් හිතුවොත් ඒ තැනැත්තාගේ විනාශය ඉතාමත්ම ළඟයි. බුදු පියාණන් වහන්සේ කෙනෙකුත් ලෝකයේ පහළවී වදාළහොත් මේ මනුෂ්‍ය සිතක තියෙන උතුම් බව - මේක කොයි තරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයටත් ගෙනයන්න පුළුවන්ද කියන එක - පෙන්වන්නටයි. මේ ශාසනයේ රහත් භාවය ලබලා දෙවියන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිඳුම් ලැබුවේ සමහර විට සමාජයේ කොන් වුණු ඉතාමත්ම කුලහීන හැටියට සැලකෙන අයත්, සමහර විට ඉතාමත්ම දාමරික හැටියට ජීවත්වුණු අංගුලිමාල ආදීන්, නොයෙක් විදියේ දුශ්චරිතවල යෙදිලා හිටිය අය. මේ හැම දෙනෙක්ම බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට පාත්‍රවෙලා, මහා කරුණාවේ පිහිටෙන්, ඒ වගේම මහා ප්‍රඥාව අනුව බුදු පියාණන් වහන්සේ යෙදාගන්නා උපාය මාර්ග - ප්‍රඥාවෙන් යෙදාගන්නා ඒ උපාය මාර්ග - නිසා ඒ තැනැත්තන්ගේ සිත්වල තිබුණු ඒ කෙලෙස් ඉවත්වෙලා, තාවකාලික වශයෙන් ආවරණය වෙලා තිබුණු ඒ කෙලෙස් ඉවත්වෙලා, සංසාරයේ පුහුණු ශක්තිය මතුවෙලා තමයි අර විදියේ තත්ත්ව ලබාගත්තෙ. බුදු පියාණන් වහන්සේට බෑ කිසි කෙනෙකුට නැති නිවනක් ලබා දෙන්න. ඒ තැනැත්තා සංසාරය තුළ දියුණු කරගෙන ආපු ශක්තිය මතුකර දීලා, ඒවා පුහුණු කරලා දීලා, මෝදු කරලා දීලා, තමයි කෙනෙක් රහත්බව ආදී උතුම් තත්ත්වවලට පත් කරන්නෙ.

ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්ට ඕන මේ සංසාරයේ අපි කරන ලද කොතෙකුත් පින් තියෙන්න පුළුවන්, හොඳ දේවල් තියෙන්න පුළුවන්. ඒවා යටපත්වෙලා තියෙන්නේ. අර යට ගිනි පුළුවුරු වගේ. ඒවා ඉබේ මතුවෙන්නෙ නෑ. ඒවා මතුකර ගැනීමේ ක්‍රමය තමයි භාවනාව කියන එක. භාවනාවකට සිත හුරු පුරුදු කර ගැනීම. ඒ නිසා මෙබඳු මේ වටිනා පොහොය දවසක අපි අධිෂ්ඨාන කරගන්ට ඕන. මේ පහන් දේවල්, එහෙම නැත්නම් මේවා ලෝකයේ බොහෝ දෙනා සොයා දකින විදියේ දේවල් හැටියට සැලකීම හරියට නෑ. භාවනාව කියන එක, ඇතැම් කෙනෙක් කල්පනා කරනවා, මේක මහළුවියට පත්වුනාට පස්සේ, පරලොව ගැන හිතන අවස්ථාවට සිටින උතුම් පමණක්, අපි මේ බණ භාවනා ගැන උනන්දු වෙනවා කියලා. ඒක වැරදි අදහසක්. එදිනෙදා ජීවිතයේ පැමිණෙන ගැටලු රාශියකට විසඳුම් - ඉතාම සුළු කාලයකදී ඒවාට විසඳුම් - ලබාගැනීමට පුළුවන් ශක්තියක් ලැබෙනවා සමාධිමත් සිතකින්. විශේෂයෙන්ම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන ඒ බ්‍රහ්ම විහාර වලින් සකස්වුණු සිතක අර තීරණය ගැනීමේ ශක්තිය ඉතාමත්ම ප්‍රබලයි. එබඳු සිතක් සැලසෙන්නේ නෑ යම්කිසි පිරිසිදු තීරණයක් ගැනීමට. දැන් ලෝකය පුරාම මේ යුද්ධ කලකෝලාහල ආදිය ඇතිවීමට හේතුව අර නොදියුණු සිතමයි. සිත දියුණු කරනවා කියලා ලෝකයා කරන්නේ එක්කෝ ඉගෙන කියා ගැනීම් ආදී දේ, එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර පිළිබඳව, විද්‍යාව පිළිබඳව - ඒවා පිළිබඳව - මේ හිත යෙදීමෙන්. ඒවායින් එක්තරා කෘත්‍රිම විදියක පරිවර්තනයක් සිතේ සිද්ධවෙන්නෙ. සිතේ නියම ක්‍රමානුකූල වර්ධනයක් - භාවනාවක් කියලා කියන ඒ නියම ‘වැඩීමක්’ - සිදු වෙන්නෙ නෑ. සිත තුළ තියෙන එක පක්ෂයක්, අර තර්කවිතර්ක ආදිය, විතරයි වැඩෙන්නෙ. මේ හිතෙයි කියලා කියන එක, මේක හදවතත් එක්කම යන එකක්. මේ හදවතේ ඇතිවන සිතුවිලි ඒ හැඟීම් ඒවායින් තොරව සිතක් පැනනගින්නෙ නෑ. ඒක නිසා ඒ හදවත පිළිබඳ යම්කිසි පිරිසිදු කිරීමක් කරන්න වෙනවා මේ මෛත්‍රී ආදී භාවනා ක්‍රම වලින්. එහෙම නැති තැන, ඒ තැනැත්තා යම්කිසි බුද්ධි වාදයකට යටවෙලා, තර්කවලට යටවෙලා, වංචක ධර්මවලට යටවෙලා, තමන්ගේ හිත දියුණු කරගන්නවා වෙනුවට තිරිසන් තත්වෙකට පත්කර ගන්නවා. තර්ක මාර්ගයෙන් නොයෙකුත් විදියේ අකුසල් පාපකම් පවා හොඳ දේවල් හැටියට පෙන්නුම් කරනවා.

දැන් මේ සමාජයේ කරළියට ඇවිල්ල තියෙන නොයෙකුත් විදියේ මිථ්‍යා ආජීව මේ පින්වතුන් හොඳට දන්නවා. දැන් ඔය ආජීවය පිළිබඳව මේ අවස්ථාවේ සමාදන් උන ශීලය රකින්න බැරි හේතු මොනවද කියලා හිතලා බැලුවොත්, ලෝකයා කොතෙකුත් විදිහෙන් ධාර්මිකව ඉවත්කරලා ආර්ථිකය පිළිබඳව පමණට වඩා වෙහෙසීම නිසයි. ඒ අනිෂ්ට විතර්ක නිසා අර පාපකම්වල තියෙන අකුසල පැත්ත ගැන අමතක කරලා ඒ වෙනුවට එදිනෙදා ජීවිතයේ සැපය කියන්නේ ආර්ථික පැත්තෙන් ඇතිකර ගන්න දියුණුවයි. දැන් ඒකයි සමාජයේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ‘අනවජ්ජ සුඛ’ කියලා, නිරවද්‍ය ජීවිතයකින්, බුදු පියාණන් වහන්සේ වදාළ තියෙනවා ‘අනවජ්ජ සුඛ’ කියලා, නිරවද්‍ය ජීවිතයකින් කෙනෙක් ලබන සැපත එදිනෙදා - තමන්ගේ හිත දොස් කියන්නේ නෑ. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය, කියලා භය හතරක්. භය කියලා කියන්නේ මෙන්න අන්තරාය - අන්තරාය හතරක් ලෝකයාට තියෙනවා. අත්තානුවාද භය කියලා කියන්නේ තමන්ගේ හිත තමන්ට දොස් කියනවා. තමන් කොයි තරම් ලෝකයාට රහසිගතව ඒ පාපකම් කළත්, මිනීමැරුම් හොරකම් ආදිය කළත්, ඒක තමන්ගේ හිත දන්නවා. ඒ තැනැත්තාට හරියට නින්ද යන්නේ නෑ. ‘හොරෙක් හොරෙක්’ කියලා කිව්වොත් තමන් හැරිලා බලනවා. ‘මිනී මරුවෙක්’ කියලා කිව්වත් තමන් හැරිලා බලනවා භයාරූක්ෂ ද. මොකද, තමන්ට කියනවා යි කියලා හිතාගෙන. ඒ තරමට අර තමාගේ හිත තමාට දොස් කියනවා. ඒ වගේම පරානුවාද භය කියන්නේ ඒ ගැන දැනගත්කම අනුන්ගෙන් අපහාස ආදිය, දෝෂාරෝපණ ආදිය, අහන්ට ලැබෙනවා. ඒ වගේම නීතියේ රැහැනට අහුලුනොත් එයින් දඬුවම් විඳින්ට සිද්ධ වෙනවා. ඒ හැම එකකින්ම බේරුනත් අවසානයේ දුගති කියලා කියන ඒ භයානක විපාක - අපාය, ආදී තැන්වල ඉපදිලා, සතර අපායේ ඉපදිලා - විඳින්ට සිද්ධ වෙනවා, බුද්ධ වචනය සත්‍ය තමයි. මේ හැම එකක්ම සිදු වෙන්නෙ සිත පිළිබඳව නොතැකීම නිසයි - සිතේ නියම වටිනාකම.

අන්න ඒක නිසා මේවා ගැන කල්පනා කරලා මේ පින්වතුන් අද මේ වටිනා වෙසක් පෝය දවසේ එදිනෙදා ජීවිතයේ භාවනා කර්මස්ථානයට විශාල තැනක් දිය යුතුව තියෙනවා. ආරම්භ වශයෙන් උදෑසන සුළු වේලාවක් හෝ තමන් තමන්ගේ කටයුතුවලට, වැඩපලට, යන්න කලින් ‘මේ තමන්ගේ වැඩපලයි, මගේ වැඩපලයි’ කියලා හිතාගෙන සුළු වේලාවක් හරි යම්කිසි භාවනා කර්මස්ථානයක, විශේෂයෙන්ම මෛත්‍රී වැනි දෙයක් - සමාජය සමඟ කටයුතු කරනකොට බොහෝවිට ඒක තමන්ට උපකාරී වන නිසා, එහෙම නැතිනම් බුද්ධානුස්සතිය ආදී තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන, අශුභ ආදී ඒ කෙලෙස් මැඩනය වෙන, එහෙම නැතිනම් මරණ සතිය වැනි මේ ආධ්‍යාත්මික ජීවිතයේ ඒ වටිනාකම පෙන්නුම් කරලා දෙන ඒවා පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරන්න පුරුඩුවෙන, විදියේ යම්කිසි භාවනා කර්මස්ථානයක් තුළ සුළු වේලාවක් හරි හිත හසුරුවලා එදිනෙදා ජීවිතයේ කටයුතු ආරම්භ කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම දවස අවසානයේදීම තමන් නින්දට යන්න කලින් - හිත සන්සුන්වෙන අවස්ථාවක් ඒ වේලාවක් - නින්දට වැටෙන්න කලින් යම්කිසි භාවනාමය සිතක් ඇතිකර ගත්තොත් ඒ තැනැත්තාට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට නරක හීන පෙනීම් ආදී ඒ විදියේ කරදරයක් ඇතිවන්නේ නෑ. ඉතාම සැනසීමෙන් පත්වෙන්න පුළුවන්. එතකොට ඒ විදියට දවසේ ආරම්භයක් දවසේ අවසානයක් කියන සිත භාවනාවේ දමන කෙනෙකුට ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා ජීවිතයේ සතර ඉරියව් පවත්වන අතරෙම හිත විසිරෙන වෙලාවට කමමට නිරායාසයෙන්ම වගේ කර්මස්ථානය මතක් වෙන තත්ත්වයක් ඇතිවෙනවා. එබඳු පුද්ගලයාට ඒ තමන්ගේ ගමන් බිමන් වලදී, එදිනෙදා කටයුතු වලදී, අර ‘රස්තියාදු වෙනවා’ කියලා කියන ඒ අපතේ යන අවස්ථාවල වල, අර භාවනා කර්මස්ථානය තුළින් තමන්ගේ හිත වඩාගන්නා හැකියාව ලැබෙනවා. මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් අපි වැඩි ගන්නවා කියලා කියන්නේ මෙදා බුද්ධිවාදයට හැකැරගෙන, පොතේ පතේ තියෙන දේවල් කමන් ඉගෙන කියාගෙන කටපාඩම් කරගෙන, ඒවායින් යම්කිසි ලෞකික ප්‍රයෝජනයක්, විභාග පාස් කිරීම් ආදීයක්, කිරීම නොවෙයි. බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට මේ සංසාරයේ සත්ත්වයා දීර්ඝ කාලයක් දුකට පමුණුවන ලෝකය ද්වේෂය මෝභය කියලා කෙලෙස් මුල් තුන ඉතිර්ම සඳහා යම්කිසි ප්‍රයත්නයක් මේ භාවනාමය මනස තුළින් අපි ඇතිකර ගත යුතුව තියෙනවා.

ඒ නිසා ඒ වගේ භාවනා කර්මස්ථාන දිය හැකි අය වෙත ළංවෙලා ඒ උපදෙස් ආදරයෙන් ලබාගෙන ඒවා තුළ තමන්ගේ සිත හැසිර වීමෙන් බුදු පියාණන් වහන්සේ වදාළ අර ‘සුසුඛං’ කියලා කියන ඉතාමත්ම උතුම් සැපත මෙලොවම ලබාගන්න උත්සාහකළ යුතුව තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අනිකුත් දෙවියන් පවා ලබන ඒ සියළු සැපත පරාදයි මේ නිර්වාණ අමෘතයට, නිවන් සුවයට. නිවන් සුවය කියලා කියන්නේ එක්තරා අමුතු ලෝකයක ලබන, අමුතු පානයකින් ලබන, සැපතක් නොවෙයි. මේ සිතේ තිබෙන සැනසීම් සැපය, සිත තුළින්ම මතුකර ගත හැකි සැනසුමයි, නිවීමයි. මුළුමහත් ලෝකයම භවයම දැවෙන බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ‘සබ්බං ආදිත්තං’ - මුළු මහත් ලෝකය දැවෙනවා. මේ දැවෙන බව ලෝකයාට තේරෙන්නේ නෑ. දැන් පළඟැටියන් පානකට වැටෙනවා දකිනකොට අපට නම් පෙනෙනවා උන් දැවෙනවා වගේ. නමුත් උන්ට ඒක තේරෙන්නේ නෑ. ඒ සතුන්ට තේරෙන්නේ නෑ. අන්න ඒ වගේ ලෝකයාත් හැම තිස්සේම කරන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන මේ ගිනි තුනට පනින එකයි. ඒ ගින්නේ තියෙන ආකර්ෂණ ස්වභාවය නිසා ඒක ගින්නක් බව තේරෙන්නේ නෑ. ඒ වගේ මුළු මහත් ලෝකයාම ඒ ලෝභ ද්වේෂ මෝහ වශයෙන් ගිනි ගන්නවා වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සළායතන කියලා කියන අපේ ඉන්ද්‍රියන් ආශ්‍රිතව ඇති හැම එකක්ම දැවෙනවා කියලා. ඇසත් ගිනිගෙන දැවෙනවා. රූපයනුත් දැවෙනවා. කණත් ගිනිගෙන දැවෙනවා. ශබ්දත් දැවෙනවා. ඔය ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය හැම එකක්ම, මුළු මහත් ලෝකයම, ලෝභ ද්වේෂ මෝහ ආදී ගිනි වලින් දැවෙන හැටි බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරල දීලා තිබෙනවා. එතකොට අන්න ඒ දැවිලි නිවාගන්නා තැන තමයි නිවන කියලා කියන්නේ. නිවීමයි. ඒක සඳහා එතකොට අර මෛත්‍රී ආදී භාවනාවකින් සිත තැන්පත් කරගෙන විදර්ශනා භාවනාව වැඩීමෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ලෝකයේ යථා තත්ත්වය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන කෙනෙකුට සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා.

එතකොට බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ලෝකයේ පහළ වී වදාරන්නේ ඔන්න ඔය කියාපු ඔය සංසිඳීම් සුවය - නිවීම් සුවය - ලෝකයාට හඳුන්වා දීමටයි, තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන - ඒක ඉලක්කයයි. හැම බෞද්ධයාගෙම ඉලක්කය විය යුත්තේත් ඒකයි. අන්න ඒ ඉලක්කය ඇතිව අද දින හොඳ අධිෂ්ඨාන ඇතිකරගෙන, භාවනාමය ජීවිතයක් මම මෙතැන් සිට ගතකරනවා කියලා අධිෂ්ඨාන කරගෙන, මේ පින්වතුන් අද දින පැයක් පමණ - ඇතැම් කෙනෙක් මේ වටිනා පොහොය අටසිල් ආදී ඒ උතුම් ශීලයක් සමාදන් වෙලා, තවත් සමහර කෙනෙක් ආජීව අෂ්ටමක ශීලය සමාදන් වෙලා, ඒ විදියේ ශීලයක පිහිටලා - ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තමන් තෙරුවන් කෙරෙහි ඇති කරගත්තු ශ්‍රද්ධාව ඇතිව මේ කාලය තුළ තමන්ගේ කණ යොමු කිරීම. ඒ ශ්‍රද්ධාව - ඊළඟට ශ්‍රද්ධාව අනුව ගිය වීර්යයක් මතු කරගෙන තමයි ඒ කාර්යයෙහි යෙදිලා සිටින්නේ. ශ්‍රද්ධාව, වීර්යය, ඊළඟට ඒ එක්කම වීර්යය ආශ්‍රයෙන් තමන්ගේ හිතේ යම් කිසි සිහියක් - සතිය කියලා කියන ගුණය - ඇතිකර ගන්නවා. ඒ සතියම සෑහෙන වෙලාවක් පැවැත්වීම තුළින් යම්කිසි සමාධියක් අත් දකින්න පුළුවන්. ඒ සමාධිමත් හිතටයි ධර්මය පිළිබඳ ගැඹුරු වැටහීම් එන්නේ ප්‍රඥාව වශයෙන්. ඒක නිසා ඒ ධර්මයේ පෙන්නුම් කරන සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා, කියලා කියන, යම් කිසි අවස්ථාවක ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයන් හැටියට නිවනට උපකාරීවන, ඒ කුසල් ධර්ම වගා කර ගැනීමට අද දින මේ අවස්ථාව අපි යොදාගත්තා කියලා සතුටු වෙන්න ඕනෑ. මේ එකතුකරගත්ත කුසල් රාශියෙන් ඇතිකර ගත්තු චිත්ත ශක්තිය මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල ප්‍රතිවේධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.

ඒ වගේම මෙතෙක් වෙලා අපි මේ ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් දෙපැත්තෙන්ම රැස්කරගත්තු කුසල සම්භාරය ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම්තාක් අවීචියේ පටන් අකනිට්ඨාව දක්වා වූ ලෝක සත්ත්වයින් සිටිනවා නම්, පින් කැමති නිවන් කැමති, අපගේ ඥාතීන් ඇතුළු, ඒ හැම දෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ භයානක සංසාර දුක්ඛයෙන් අත්මිදී ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදුණු උතුම් අමාමහ නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන දැන් මේ ගාථා කියලා පින් පමුණුවන්න.

‘එත්තාවතා ච අම්හේහි…………….’
15 වන දේශනය
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

යො ච වස්ස සතං ජීවෙ
දුප්පඤ්ඤො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො
පඤ්ඤාවන්තස්ස ඣායිනො

සැදැහැවත් පින්වතුනි,

මනුෂ්‍යයකුගේ ජීවිතයක සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙන්න වැඩි කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට සුළු මොහොතක ඇතිවුනු යම් කිසි චිත්ත විප්ලවයකින් පවා විශාල ජීවිත පරිවර්තනයක්, ජීවිත රටාව පිළිබඳ එහෙම පිටින්ම හැඩ ගැස්වීමක්, සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. ඒ විදියට සමහරුන්ගේ චිත්ත විප්ලවයක් ඇතිවන්නේ යම්කිසි ප්‍රාතිහාර්යයක් දැකීමෙනුයි. ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්ය කියලා කියන්නේ කෙනෙකුගේ හෝ පිරිසකගේ හෝ සිතේ විශේෂ චිත්ත විප්ලවයක් ඇති කරන්න සමත් යම් කිසි අරුම පුදුම සිද්ධියකටයි. ඒ වගේ අරුම පුදුම සිද්ධියකින් සොරමුලක් යහපත් පිරිසක් බවට පත් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳවයි බුදු පියාණන් වහන්සේ මේ අපි මාතෘකා කළ ගාථා ධර්මය දේශනා කොට වදාළේ.

බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් පැවිදිවුනු ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා කොණ්ඩඤ්ඤ කියන නමින්. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන ඈත වනයකට වැඩම කරලා භාවනා කරලා රහත් වුනා. රහත් වෙලා ඒ තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු කාරණය ගැන බුදු පියාණන් වහන්සේට දැන්වීමට ආපසු බුදු පියාණන් වහන්සේ දැකීමට වඩින අතරෙ, අතරමඟදී ගමන් විඩාව නිසා මාර්ගයෙන් ටිකක් ඉවත් වෙලා මාර්ගය අසළ තිබුණු ගල් තලාවක වැඩ ඉඳගෙන ධ්‍යානයට සමවැදුනා. එදාම ඒ හැන්දෑවරුවෙ ගමක් කොල්ල කා ගත්තු, කොල්ල කාගෙන බඩු මිටි ඔළුවේ තියාගෙන යන, පන්සියයක හොරමුලක් ඒ මාර්ගයේම යන අතරේ රාත්‍රිය ගත කරන්න අර ගල්තලාව ළඟට පැමිණියා. ඒ හොරු දැක්කා මේ ස්වාමීන් වහන්සේ. නමුත් අඳුරේ මේ වැඩඉන්න ස්වාමීන් වහන්සේ පෙනුනේ කණුවක් හැටියට. හිතුවා මේක කණුවක් කියලා. හිතාගෙන එක හොරෙක් බඩු මිටිය අර ස්වාමීන්වහන්සේගේ ඔළුව උඩ තිබ්බා. තව හොරෙක් තමන්ගේ බඩු මිටිය ස්වාමීන් වහන්සේගේ ඇඟට හේත්තු කළා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ වටේ වැටිල මේ කට්ටිය කවුරුත් බුදිය ගත්තා.

එළිවෙන යාමයේ නැගිටලා තම තමන්ගේ බඩුමිටි සොයන කොට මේ ස්වාමීන් වහන්සේ දැකලා බයවෙලා, යකෙක්ය කියලා ඔක්කොම දුවන්න පටන් ගත්තා. බඩුමිටියත් ඔළුව උඩ තියාගෙන ඉන්න මේ ස්වාමීන් වහන්සේ දැකලා බයවෙලා යකෙක්ය කියලා දුවන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ “උපාසකයෙනි, බයවෙන්න එපා මම පැවිද්දෙක්” කියලා ඒ පිරිසට කථා කළා. ඉතින් මේ සිද්ධිය නිසා ඊළඟට මේ පිරිස තුළ ලොකු චිත්ත විප්ලවයක් ඇති උනා. මේ අය “ස්වාමීනි, අපට සමාවෙන්න අපි හිතුවේ කණුවක්” කියලා ඒ විදියට සමාවකර ගත්තා. ඊළඟට අර සොර මුලේ නායකයා ඒ ඇතිවුණු සංවේගය නිසා තීරණය කළා පැවිදිවෙන්න. මේ ස්වාමීන් වහන්සේගෙන් “මා පැවිදි කරන්න” කියලා ඉල්ලා හිටියා. ඊළඟට ඒ හොරමුලේ අනිත් අයත් ඒ විදියටම මේ තමන්ගේ නායකයා ගත්තු තීරණය අනුව තීරණය කළා “අපිත් පැවිදි වෙන්න ඕන” කියලා. ඒ පන්සිය දෙනාම ස්වාමීන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා හිටියා. ස්වාමීන් වහන්සේත් ඒ අය පැවිදි කළා. ඉතින් පන්සිය දෙනෙක් පැවිදි කරනවා කියන එක ලොකු වැඩක්. ඒ විදියට පැවිදි කරගෙන ඒ අය හැඩ ගස්වාගෙන, බුදු පියාණන් වහන්සේ දැකීමට වැඩම කළා මේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේට ඒ එක්කම නමකුත් පටබැඳුණා “ඛාණු කොණ්ඩඤ්ඤ” කියලා. කොණ්ඩඤ්ඤ කියන නමින් හිටියෙ, ඛාණු කියලා කියන්නේ කණුව. අර කණුව පිළිබඳ සිද්ධිය නිසා. කණුවක් කියල හිතාගත්තු ඒ කාරණය ගැන ආරංචි පැතිරිලා ඒ ස්වාමීන් වහන්සේට නමක් පටබැඳුණා ඛාණු කොණ්ඩඤ්ඤ කියලා. මේ ශාසනයේ ඛාණු කොණ්ඩඤ්ඤ නමින් හැඳින්වෙන්නේ මේ ස්වාමීන් වහන්සේයි. මොකද අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන ස්වාමීන් වහන්සේ - වඩාත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේගෙන් වෙන්කරලා හඳුනාගන්න “ඛාණු කොණ්ඩඤ්ඤ” කියන නම යොදාගන්නවා.

ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ඛාණු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ, අහනවා “මොකද කොණ්ඩඤ්ඤ ගෝලයො පිරිසක් එහෙමත් ලබාගෙන තියෙන්නේ කොහොමද?” කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ අර පිරිසගෙන් විමසුවා “ඇත්තද මහණෙනි මේ කාරණය.” එතකොට මේ පිරිස ප්‍රකාශ කරනවා “මේ වගේ සෘද්ධි ප්‍රාතිහාර්යයක්, සෘද්ධි අනුභාවයක් අපි කාගෙවත් දැකලා නෑ. ඒක නිසා අපිට පැවිදිවෙන්න හිතුනා” කියලා, අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අපි කලින් කියාපු ගාථාව:

‘යො ච වස්ස සතං ජීවෙ
දුප්පඤ්ඤො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො
පඤ්ඤාවන්තස්ස ඣායිනො’

මේ පිරිසට කියනවා බුදු පියාණන් වහන්සේ නුඹලා මේ කලින් ගෙනගිය ජීවිතය - ප්‍රඥාවක් නැති, ඒ කියන්නේ අඥාන විදියේ ඒ පාපකාරී ජීවිතය - අතහැරලා මේ වගේ ප්‍රඥාවෙන් යුක්ත ධ්‍යාන වඩන මේ විදියේ හොඳ ජීවිතයකට යොමු වීම ඒක තමයි වටින්නේ කියන ඒ අදහසයි මේ ගාථාවෙන් කියවෙන්නේ. යම් කෙනෙක් ප්‍රඥාව නැතිව සමාධියක් නැතිව අවුරුදු සියයක් ජීවත් උනත් ප්‍රඥාවෙන් යුක්තව ධ්‍යාන වඩමින් ගත කරන එක දවසේ ජීවිතය ඊට වඩා වටිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාථාවත් ඒ දේශනාවත් අහලා අර පන්සිය නමම රහත්උනා කියලා සඳහන් වෙනවා.

එතකොට අපි මේ ගාථාවත් කථාවත් ආශ්‍රයෙන් අපේ ජීවිතයට ප්‍රයෝජනවත් වන කාරණා ටිකක් මතුකර ගන්න බලමු. දැන් මේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ මතුකරලා දුන්නේ ශාසනික වටිනාකම්, එහෙම නැතිනම් ධර්මානුකූල වටිනාකම් සහ ලෞකික වටිනාකම් කියන ඒ දෙක සංසන්දනය කිරිල්ලක්. ලෞකික වටිනාකම් අනුව බලනවා නම් ප්‍රඥාවක්, ඥානයක්, ධ්‍යානයක්, සමාධියක්, ගැන හිතන්නේ නැතිව කොයි අන්දමින් හෝ අධාර්මිකව හෝ ජීවත්වෙමින් අවුරුදු සියයක් ගත කිරීම ලොකු දෙයක් හැටියට සමාජය සලකනවා. ඒ තැනැත්තා “දිගාසිරි වින්ද” කියලා. නමුත් මේ දිගාසිරි විඳීමට වඩා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ශාසනයේ ප්‍රඥාවත්, ධ්‍යානයත් වඩමින් ගත කරන එක දවස වටිනවා කියලා. යම් කෙනෙක් අවුරුදු සියයක් ප්‍රඥාවත් සමාධියක් නැතිව ජීවත් වෙනවාට වඩා එක දවසක් ජීවත් වෙතොත් ප්‍රඥාවත් ඇතිව ධ්‍යාන වඩමින්, අන්න ඒ එක දවසේ ජීවිතය වඩා වටිනවා කියලා. ඒ විදියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ලෝකයේ නම් බොහෝවිට අධාර්මිකව තමන්ගේ ජීවිකාව පිළිබඳ කාරණය විතරයි සලකන්නේ. කොයි ආකාරයෙන් නමුත් ජීවත්වෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් නුවණින් කල්පනා කරල බැලිය යුතුයි සැදැහැවතුනි, මේ සාමාන්‍යයෙන් අපේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන කොට මනුෂ්‍යයාට ඉබේම ලැබිච්ච, මනුෂ්‍යත්වය එක්කම ලැබිච්ච, විශාල වටිනා වරප්‍රසාදය තමයි මේ මිනිස් සිත. මේ මිනිස් හිතෙන් ගන්න පුළුවන් ලොකුම වැඩේ තමයි මේ සසර දුක් කෙළවර කරගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න උපකාර වන්නාවූ ඒ ප්‍රඥාව උදාකර ගැනීමත් ඒ ප්‍රඥාවට උපකාර වෙන භාවනාව ධ්‍යානය වැඩීමත්. මේ මනුෂ්‍ය ආත්මභාවය, විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයක ලබාපු මනුෂ්‍ය ආත්මභාවයක්. එතකොට බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ ධර්මය අසන්ට ලැබෙන, නිවන් දකින්ට අවස්ථාව තිබෙන, සසර දුක් කෙළවර කරගැනීමට අවස්ථාව තිබෙන, කාලයක්. එබඳු කාලයක ලැබෙන මනුෂ්‍ය ආත්මභාවයකින් අපට ලැබිච්ච ලොකුම වරප්‍රසාදය වන මිනිස් සිත පාවිච්චි කරන්න ඕන මේ ප්‍රඥාව වැඩෙන ආකාරයට. සමාධිය ධ්‍යානය ආදිය වැඩෙන ආකාරයට. නමුත් සාමාන්‍ය ලෝකයේ බොහෝදෙනා ජීවිතය ගත කරන්නේ මේවා ගැන කිසිම හැඟීමක් නැතිව.

එතකොට දැන් මේ කතාවෙනුත් අපිට හොඳ ආදර්ශයක් ලැබෙනවා මේ හොර මුල ගත්තු ක්‍රියා මාර්ගය තුළින්. මේ කතාවේ ඇත්ත වශයෙන්ම ප්‍රාතිහාර්ය එකක් නොවෙයි දෙකක්ම තියෙන හැටියට සලකන්න පුළුවන්. එක ප්‍රාතිහාර්යයක් තමයි ඒ සංඝයා වහන්සේ පිළිබඳ ප්‍රාතිහාර්යය. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ප්‍රඥාවෙන්, ධ්‍යානයෙන් යුක්තව දක්වපු ප්‍රාතිහාර්යය. ඒ කියන්නේ මුළු රෑම සමාධියෙන් වැඩහුන්න කණුවක් වගේ එක එක්තරා ප්‍රාතිහාර්යයක්. නමුත් ඊළඟට තිබෙන ප්‍රාතිහාර්ය තමයි මේ සොර දෙටුවා දක්වපු ප්‍රාතිහාර්යය. දැන් පිරිසක් උනාම, පන්සියයක පිරිසක් උනාම, ගතයුතු ක්‍රියාමාර්ගයක් ගැන තීරණය කිරීමේදී, ඥානවන්ත තීරණයක් ගැනීමේදී ලොකු ප්‍රශ්න තියෙනවා. නමුත් මේ සොර දෙටුවා ගත්තු එඩිතර තීරණය මොකක්ද? මේ තමන් දිර්ඝ කාලයක් ගෙනගිය මේ මිථ්‍යා ආජීවය - වැරදි ජීවිකා ක්‍රමය - මෙකෙන් වෙන්වෙලා පැවිදි වෙන්න ඕන ශාසනයේ කියන එකට ඡන්ද විමසීමක් වගේ දෙයක් වුණා නම් මහ පටලැවිලි ගොඩක්. නමුත් මේ පුද්ගලයා තුළත් ඡන්දයක් තිබුණා. දැන් මේකට සෘද්ධියක් කියලා කියනකොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වන්නට උපකාර වන කාරණා හතරක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා -ඡන්ද, වීර්ය, චිත්ත, විමංසා කියලා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත, ඕනෑකම කියන එකයි. වීර්යය කියලා කියන්නේ ඒ ඕනෑකම අනුව, කැමැත්ත අනුව, යොදන වීර්යයයි. චිත්ත කියලා කියන්නේ ඒ වීර්යය සම්පූර්ණ කරගැනීමට, ඒක සාර්ථක කරගැනීමට, යොදන අධිෂ්ඨාන ශක්තියයි. ඊළඟට විමංසා කියලා කියන්නේ ඒ හැම එකක්ම කිරීමට, සාර්ථක කරගැනීමට, උපකාර වන ප්‍රඥාවෙන් විමසුම් නුවණයි. ඔය හතර උපකාර කරගෙන තමයි කෙනෙක්ට ප්‍රාතිහාර්ය පෙන්වන්න පුළුවන් වෙන්නේ - සෘද්ධි ප්‍රාතිහාර්ය ආදී. ඉතින් සෘද්ධිපාද කියලා කියන්නේ - සෘද්ධිය කියලා කියන්නේ - සාර්ථක කරගැනීම. ඒකට උපකාර වෙන කාරණා හතර. ඉතින් මේ සොර දෙටුවා තුළ තිබුණා දැඩි අධිෂ්ඨානයක්. ඒ අනුව අර ඉල්ලා සිටින කාරණා සම්පූර්ණ කරගෙන ඒ සොර දෙටුවා පළමුවෙන්ම ඉදිරිපත් වෙලා “මම මහණ වෙන්න ඕන” කියලා කිව්වා. ඒ අනුව අනිකුත් අනුගාමිකයනුත් තමන්ගේ ජීවන රටාව වෙනස් කරගන්න තීරණය කරගත්තා. ඒකත් ප්‍රාතිහාර්යයක් හැටියට අපට සලකන්න පුළුවන්.

මේ කාලයේ කෙනෙකුට මේ කථාවෙන් ආදර්ශ ගැනීමේදී අන්න ඒ විදියට තමයි ක්‍රියා කළ යුත්තෙ. ධර්මනුකුලව අර ඍද්ධිපාද මතු කරගෙන තමන්ගෙ ජීවන මාර්ගය වෙනස් කරගත යුතුව තිබෙනවා. සමහර විට ඇතැම් කෙනෙක් නොයෙකුත් සාංසාරික දෝෂ නිසා, කර්මදෝෂ නිසා, නොයෙකුත් වැරදි ආජීවවලට නැඹුරුවෙලා සිටිනවා - වැරදි ජීවිකා ක්‍රම වලට. සමහරු මත්පැනට, බේබද්දන් හැටියට නම් වැටිලා තිබෙනවා. “බේබද්දෙක් “ කියලා. සමහරු දාමරික මිනී මරුවෙක් කියලා. අහවලා ‘මිනීමරුවෙක්’, ‘හොරෙක්’ ‘ අපරාධ කරුවෙක්’ කියලා ඔය විදියට නොයෙකුත් නම් පවා පටබැඳෙන තරමට සමහරු තමන්ගෙ ජීවිත දුෂිත තත්වයට පත් කරගෙන සිටිනවා. නමුත් කිසිම කෙනෙක් පැකිළෙන්න හොඳ නෑ, මේ ජීවිත රටාව වෙනස් කරන්න. අවස්ථාව ලැබුනොත් ඒක කරගන්න ඉදිරිපත් වෙන්න ඕන බය නැතිව. සමහර විට ඒ නිසා සමාජයේ අනිත් අයගේ, තමන් අනුවම ජීවත්වෙන අයගේ ගැරහීමට ලක්වෙනවා, ඒ අයගෙ, නින්දාවට හාස්‍යයට ලක්වෙනවායි කියලා සමහරු හිත දුර්වල කර ගන්නවා. තවත් සමහරු දැන් මා මේ විදියට ජීවිතයක් ගත කරලා මං කොහොමද පැවිදි වෙන්නේ. අනිත් මට මෙහෙම කියයි නේද? මේවාට අවලාද කියයි නේද? කියලා. ඒ විදියටත් සමහර විට හිත දුර්වල කර ගන්නවා. නමුත් අර කියාපු මනුෂ්‍යත්වයෙන් ලැබුනු ශ්‍රේෂ්ඨ වරප්‍රසාදයෙන් - මේ මිනිස් සිතෙන් - වැඩගන්න ඕන කියන ඒ අධිෂ්ඨානය ඇති පුද්ගලයා, ඒ ඥානවන්ත අදහස් ඇති පුද්ගලයා, ඒ කිසිදේකට පැකිළෙන්නෙ නෑ. තමන්ට ආර්ථික වශයෙන් ඒවායින් යම් පාඩුවක් සිද්ධ උනත් තමන් ගෙනගිය ඒ පාපී, එහෙම නැත්නම් වැරදි, ක්‍රියාමාර්ග වෙනස් කරලා, ධාර්මික ජීවිතයකට හැඩ ගැහෙනවා.

දැන් මේ ශාසනය හැඳින්වෙන්නේ - බුද්ධ ශාසනය - කරුණා ශාසනයක් හැටියට බුදුපියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවක් මහා කරුණාවත් නිසා මේ ශාසනය හැඳින්වෙන්නේ කරුණා ශාසනයක් හැටියට මක් නිසාද මේ ශාසනයේ මහණ වෙලා රහත් වුණු අය අතරේ ඉන්නවා මහා මිනිමරුවන් ඊළඟට පල් හොරුන් ප්‍රේමදල් තම නොයෙක් විදියේ නරක විදියට ගෙන ගිය ජීවිතය ගැන ගිය ස්ත්‍රීන් ඔය විදියේ අය බොහෝ දෙනෙක් මේ ශාසන ඉතිහාසයේ සිටිනවා මේ ශාසනයේ බුදුපියාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උතුම් අරහත් භාවය ලබාගෙන දෙවියන්ගෙන් බ්‍රහ්මයාගෙන් පවා වැඳුම් පිදුම් ලැබූ බව කියවෙනවා. අන්න ඒක නිසා දැන් විශේෂයෙන්ම අංගුලිමාල කතාව ඒ වැරදි විදියට ජීවිකාව ගෙනයාන කෙනෙකුට ජීවන මාර්ගයේ හැඩගස්වා ගැනීමට ලොකු ඩයරයක් ඇති කරගන්න පුළුවන් අංගුලිමාල කෙන්නේ එහෙම දැන් මෙතන මේ පල හොරුන් පිළිබඳ කතාව වගේම මේක බොහොම දෙනා අතර ප්‍රකටයි ඒ අගුලිමාල දහස් ගණන් මනුෂ්‍යයෙක් මරලා ඒ විදිහට භයානක මිනීමරුවෙක් හැටියට නම ගිය තැනැත්තෙක් මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා අංගුලිමාල ස්වාමීන් වහන්සේ හැටියට රහත් උනාට පස්සේ ඊළඟට ඒක පිළිබඳව බොහෝ දෙනා සමහර විට සංඝයා වහන්සේලා පවා මේක මහා ආශ්චර්යවත් දෙයක් කියලා ඒක ගැන කතා කර කර හිටියේ ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කරලා දේශනා කොට වදාළා ගාථාව කාට වුණත් තමන්ගේ ජීවන රටාව හරිගස්ස ගන්න ලොකු ධෛර්යයක් ඇති කරවන විදියේ ගාථාවක් ඒ ගාථාව

යස්ස පාපං කතං කම්මං
කුසලෙන පිථීයති
සො ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා

යම් කෙනෙක් විසින් කරන ලද පාප කර්මය, පසුව කරන ලද කුසල් වලින් වැසී යයිද, අන්න එබඳු ඒ පුද්ගලයා හරියට කළු වලාකුළින් මෑත්වූනු සඳමඬල වගේ මුළු ලෝකයටම ආලෝකයක් කරනවා, ප්‍රභාවක් කරනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. දැන් පෝය දවසට ඔය හඳ දිහා බලනකොට එහෙම හඳ බොහෝම ශෝභමානයි. බොහෝම ලස්සනයි. ඊටත් වඩා ලස්සනයි, හඳ කළුවලා කුළින් මෑත් වෙනකොට. ඒකේ විශේෂ ශෝභමාන බවක් තිබෙනවා. අන්න ඒ වගේ අර වැරදි ජීවිතයක් ගෙවලා, ඒ විදියට කළුවෙලා, කළුදිවියේ ජීවිතයක් ගත කරපු අය සුදු පැත්තට නැඹුරු වෙනකොට ඒක ලෝකයට කැපිලා පෙනෙනවා. බොහෝම ශෝභමානයි. අර කළු විල්ලුද පසුබිමක හොඳ සුදුපාට තිතක් තිබ්බම ඒක හොඳට කැපිලා පෙනෙනවා. අන්න ඒ වගේ අර නරක විදියට ජීවිතය ගෙන ගිය කෙනෙක් හොඳ පැත්තට හැරුණහම ඒක ලෝකයට ලොකු ආදර්ශයක්. මේ ශාසනයේ, මේ කරුණා ශාසනයේ, ශක්තිය පෙන්නුම් කරන, බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශක්තිය පෙන්නුම් කරන, හොඳ සාධකයක් වෙනවා. ඒ වැරදි විදියට ජීවිතය ගෙන ගිය කෙනෙක් අර කියාපු අර සොර දෙටුවා කළා වගේ, සෘද්ධි ප්‍රාතිහාර්යයක් වගේ, තමන්ගේ දැඩි අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙන ජීවිත පරිවර්තනයක් ඇතිකර ගත්තොත්

එතකොට මේ හැම කෙනාගෙන්ම අපට පෙනෙනවා, බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව මේ ශාසනයේ ඒ ඒ අය පැවිදිවෙලා උතුම් තත්ත්ව ලබාගත්තු ආකාරය ගැන හිතලා බලනකොට අපට කිසිම කෙනෙක් අහක දාන්න බෑ. අපි සාමාන්‍යයෙන් සමාජයේ කොන් කරනවා, අහවලා උගත්කමක් නැති, එහෙම නැතිනම් ඉතාමත්ම දුප්පත් දිළිඳු පුද්ගලයෙක්, එහෙම නැතිනම් කුලහීන පුද්ගලයෙක්, පහත් පුද්ගලයෙක්, ඔය විදියටත් සමහර අය කොන් කරනවා. නමුත් නියම විදියට කල්පනා කරල බලනවා නම් සංසාරික බුද්ධිය ලොකු කුඩා බව අනුවත්, ඊළඟට සමාජයේ උස් පහත් භේද, ඔය උගත් නූගත් භේද, දුප්පත් පොහොසත් භේද අනුවත් මනින්න බෑ. සංසාරික බුද්ධිය මෝරලා ගිහිච්ච, ප්‍රඥාව උදාවෙන්න කිට්ටු අය, සමහර විට ඔය ඉතාමත්ම කුඩා දරුවන් අතරේ, සත් අවුරුදු දරුවන් අතර, සිටින්නට පුළුවන් වැඩිහිටියන් අතර පමණක් නොවේ. ඒ වගේම නූගත් අය, හුඟක් අය අකුරු නොදන්නා අය අතරේ, ඊළඟට ඒ වගේම ඉතාමත්ම පහත් යැයි සම්මත කුලවල දුප්පත් අය අතරේ. ඔය විදියට දිළිඳුන් අතර, සැඬොල් අතර, ඉන්න පුළුවන්. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අප හැම තුළම වාසනාව සැඟවිලා තිබෙනවා. ධර්මයේ සඳහන් කරන්නේ හරියට අර කළයක් තුළ දැල්වෙන පහනක් වගේ කියලයි. ප්‍රඥාව - ප්‍රඥා ආලෝකය - ලෝකයාට පෙනෙන්නේ නෑ. නියමාකාරයට ඒක මතුකර ගන්න ඕන. මේක ඉබේම මතුපෙන්නේ නෑ. මේකට තමන්මත් උත්සාහයක් දරන්න ඕන. යම්කිසි හොඳ කුසල කර්ම යට තිබෙන්න පුළුවන්. ඒවා මතුකර ගන්න තමන්මත් උත්සාහයක් දරන්න ඕනා. දැන් අර සිංහයා කොයිතරම් වැඩිතර උනත්, කොයිතරම් දක්ෂ උනත්, සිංහයා නිදාගන්නවනම් කටට ඇතුළු වෙන්නේ නෑ සතුන් - ඒ යම්කිසි උත්සාහයක් දරන්න ඕන. අන්න ඒ වගේ වීර්යවන්තයාට, උත්සාහවන්තයාට, තමයි ඒ තමාගේ සැඟවිලා තිබෙන පුණ්‍ය ප්‍රාතිහාර්යය, වාසනාව, උදාකර ගන්න පුළුවන් වෙන්නේ.

මේ ශාසනයේ වාසනාව හැටියට හඳුන්වන්නේ, එහෙම නැත්නම් ශාසනික වාසනාව හැටියට අපි හැඳින්විය යුත්තේ, ඔන්න ඔය ලෝකෝත්තර ධර්ම ප්‍රඥාව, ධ්‍යානය ආදිය මතු කර ගන්න එක. ඒ උතුම් ලෝකෝත්තර තත්ත්ව - සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඒ තත්ත්ව ලබාගැනීමයි මේ ශාසනයේ අපි වාසනාවක් හැටියට සැලකිය යුත්තේ. දැන් මේ සමාජයේ කොතෙකුත් මහන්සියෙන් ලැබෙනවා ආර්ථික වශයෙන් වාසනාව උදාකර ගැනීම ගැන. මේ වාසනාව උදාකර ගන්න කොතෙක් අවස්ථා ගැන සමාජයේ අපට ඔය යකඩ කටවල් වලින් අහන්න ලැබෙනවා. ඒ ආර්ථික වශයෙන් වාසනාව උදාකර ගන්න බොහොම වෙහෙස වෙන අයත් අපි නිතර දකින්න ලැබෙනවා. නමුත් ධාර්මික වශයෙන් වාසනාව උදාකර ගන්න බොහෝම ටික දෙනයි උනන්දු වෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් ධාර්මික වශයෙන් වාසනාව උදාකර ගන්න අයට හොඳ දවසක් තමයි පෝය දවස. ඒ නිසා අපිට කියන්න පුළුවන් ‘පෝයදා වාසනාව’ කියලා. මෙන්න මේ ‘පෝයදා වාසනාව’ උදාකර ගන්න බොහෝම ටික දෙනයි උනන්දු වෙන්නේ. අනිකුත් වාසනා වගේ නෙවෙයි. නමුත් යම් කෙනෙක් පෝයදා වාසනාව ගැන කල්පනා කරලා එදාට සිල් සමාදන්වීම්, බණ ඇසීම්, ධර්මානුකූලව හිතලා තමන්ගේ ජීවිතය සකස් කරගැනීම් ගැන, අන්න ඒවා ගැන උනන්දු වෙනවා නම් ඒ ඇත්තන් තුළ තිබෙන, අර කියාපු සැඟවිලා තිබෙන, ප්‍රඥා ආලෝකය මතුකර ගන්න පුළුවන් වෙනවා. ජීවිත රටාව වෙනස් කරගන්න චිත්ත ශක්තියක් ඇතිකර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට අපි ධාර්මිකව අපේ ජීවිත හැඩගස්වා ගැනීමට උනන්දු විය යුතුව තිබෙනවා.

මේ කතාවෙන් අපිට ලොකු ආදර්ශයක් ලබාගන්න පුළුවන් අපේ ජීවිත සකස් කර ගන්න, චිත්ත විප්ලවයක් ඇති කර ගන්න. ධර්මය පිළිබඳව - බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව වැඩිදුර නොගියත් ඒ මූලික කරුණු ගැන කල්පනා කරල බලනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති කරගන්න පුළුවන් මේ සංසාර තත්ත්වය ගැන. දැන් තිරිසන් සත්ත්වයන්ට ඒ විදියට ප්‍රඥාවක් ධ්‍යානයක් වඩන්න ඒවා පිළිබඳ හැකියාවක් නෑ. තිරිසන් සත්ත්වයන් කරන ජීවිතය කොයිතරම් දුක්ඛිත ජීවිතයක්ද? ඊළඟට යක්ෂ ප්‍රේත ආදී सत्त्वයන්ට පත්වුනු අය - නිරාදුක් - මේවා ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ අප කිසිම කෙනෙකුට මේ මනුෂ්‍ය ආත්මභාවය සින්නක්කරව ලියලා දීලා නෑ. මේක මේ අතීතයේ කරන ලද යම්කිසි පිනකින් ලැබිච්ච ඉතාමත්ම අගනා අවස්ථාවක්. මේක පිරිහෙලා ගත්තොත්, මේකෙන් ප්‍රයෝජනය නොගත්තොත්, ඊළඟට කොහේ යනවද කියලා නෑ. සෝවාන් වැනි තත්ත්වයක් ලබාගෙන සතර අපායෙන් මිදුනේ නැත්නම්, කොයිතරම් හොඳ ලස්සන ආටෝප සාටෝප ජීවිත ගත කළාට මොකද, තමන් පාපකර්මවල යෙදිලා සිටිනවා නම්, අර කියාපු මිථ්‍යා ආජීව - වැරදි ජීවිකා ක්‍රමවලට නැඹුරු වෙලා සිටිනවා නම්, ඒ තැනැත්තන් කරන පව් නිසා අවසානයේ ගිහිල්ලා උපදින්නේ යක්ෂ ප්‍රේත ලෝක ආදී තැන්වල. ඊළඟට ඥාතීන් ළඟට ඇවිල්ලා ඥාතීන්ට කරදර කරන්න සිද්ධ වෙනවා. එදාට තමයි පින් පව් පිළිබඳ තේරෙන්නේ. කුසල් අකුසල් පිළිබඳව තේරෙන්නේ. සමහර අය බුද්ධිවාදයක් අරගෙන නොයෙකුත් තර්ක විතර්ක කරමින් සිටිනවා. මිය පරලොව ගියාට පස්සෙ තමයි තේරෙන්නේ. පින් පව් කුසල් අකුසල් වලින් තමයි ලෝකයේ තිබෙන නියම ධනය මැනෙන්නේ. වෙනස් නොවන කාසිය. අනෙක් කාසි, අනෙක් නෝට්ටු වලංගු වෙන්න පුළුවන්. නමුත් පින්-පව් කුසල් අකුසල් වශයෙන් බුදු පියාණන් වහන්සේත් දක්වා වදාළ මෙන්න මේ ධර්මතාව අනුවයි කෙනෙකුගේ සංසාරික ජීවිතයේ උස්පහත් භේදයක් මැනෙන්නේ. උස් තත්ත්වවලට හෝ පහත් තත්ත්වවලට හෝ යන්නේ. අන්න ඒ කාරණය කල් ඇතුව තේරුම් ගත්තු පින්වතුන් මේ තමන්ගේ ජීවිත රටාව පිළිබඳව හොඳින් කරුණාකරලා බැලිය යුතුව තිබෙනවා. දැන් අපි මෙතන මේ සමාදන් වුනු ආජීව අෂ්ටමක ශීලය - මෙතන මිච්ඡා ආජීවය කියලා දක්වන්නේ ආයුධ වෙළඳාම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළඳාම, මත්පැන් වෙළඳාම, වසවිස වෙළඳාම කියලා කියන දේවල්. මේවා සාමාන්‍යයෙන් සමාජයේ එන සමාජ සම්මතය අනුව බලනවා නම් බොහෝම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් දේවල්. නමුත් මේවා නිසා කෙනෙකුගේ හිත කිළිටි වන නිසයි බුදු පියාණන් වහන්සේ මේ ජීවිකාවලින් වෙන්වෙලා හොඳ ජීවන රටාවක් සකස් කරගන්න ප්‍රකාශ කරලා තිබෙන්නේ. අන්න ඒක ගැන නුවණැති පින්වතුන් කල්පනා කරන්න ඕන.

ඊළඟට මෙන්න මේ ගාථාවේ මෙතන විශේෂයෙන් කියපු ප්‍රඥාව මොකක්ද? මේ ප්‍රඥාව ධර්මයේ හඳුන්වලා තිබෙන්නේ මැණිකක් හැටියට. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “පඤ්ඤා සාරානං රතනං” කියලා. මනුෂ්‍යයන්ට ඇති මැණික තමයි මේ ප්‍රඥාව. දැන් මැණික් අතරෙත් තිබෙනවා දියමන්තිය, වජ්‍රමාණික්‍යය කියලා කියන එක. අනෙක් මැණික් කපන්න පුළුවන් විදියේ බොහොම බලසම්පන්න මාණික්‍යයක්. අන්න ඒ වජ්‍රමාණික්‍යය වගේ එකක් තමයි මේ ප්‍රඥාව. මක්නිසාද, මේ ප්‍රඥාව හඳුන්වලා තිබෙනවා “නිබ්බේදිකා පඤ්ඤා” කියලා - විනිවිද යන ප්‍රඥාවක්. ලෝකයේ අපට බැලූ බැලූ පැත්තේ පෙනෙන්නේ නිත්‍ය දේවල්. මේ නිත්‍ය දේවල් පිළිබඳව අනිත්‍යතාව දැකීමට උපකාරවන්නේ මේ ප්‍රඥාවයි. නිත්‍ය හැටියට - ඝන සංඥාවෙන් - ඝන හැටියට හැම දෙයක්ම පේන්නේ. නමුත් මේවා ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ වෙනස්වීම නොපෙනෙන නිසා මේවා නිත්‍ය හැටියට වැරදි වැටහීමක් ඇති කරගෙන, ඒ නිසාම ඊළඟට මේවා පිළිබඳව දැඩි තණ්හාවල් ඇති කරගෙන, නොයෙකුත් විදියේ අපරාධවලට යොමුවෙලා, පාපකර්මවලට යොමුවෙලා, මේ සංසාරයේ දීර්ඝ කාලයක් ගමන් කරනවා. එතකොට නිවන් දකින්න පුළුවන් වෙන්න නම් මෙන්න මේවයේ, මේ නිත්‍ය හැටියට ගත්තු දේවල්වල, අනිත්‍ය ස්වභාවය තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. යන්ත්‍ර මන්ත්‍ර වලින් නොවෙයි, අනුමානයෙන් නෙවෙයි, ඒවා ප්‍රත්‍යක්ෂ වෙන්නේ මෙන්න මේ ප්‍රඥාවෙන් - ප්‍රඥා ආලෝකයෙන්. මේක විනිවිද යන ආලෝකයක්. මේ හිත ඇතුළතින්ම ඇතිකර ගන්න එක්තරා වැටහීමක්. ඒ වැටහීම ඉබේ ඇතිවෙන්නේ නෑ. මේක සඳහා තමයි ධ්‍යානය, භාවනාව, උපකාර වෙන්නෙ.

දැන් ප්‍රඥාවට උපකාර වන විදර්ශනාව වශයෙන් ඒ භාවනාවේදී කෙරෙන්නේ මොකක්ද? මේ ලෝකයේ අනිත්‍යතාව, මේ හැමදේකම ඇතිවෙන නැතිවෙන හැටි බලන්න පටන් ගන්නවා. දැන් ඔය සතර සතිපට්ඨානය හැටියට සතිපට්ඨාන ක්‍රමයේ දැක්වෙනවා මේ කය පිළිබඳව, ඊළඟට වේදනාව පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි පිළිබඳව, මේවා ඇතිවන නැතිවන ආකාරය. මේවා ඇතිවෙනවා ඊළඟට නැතිවෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙක නිතර මෙනෙහි කරන පුද්ගලයාට, හොඳ සිහි නුවණින් යුක්තව මේවා නිතර මෙනෙහි කරන පුද්ගලයාට, ඉතාමත්ම ගැඹුරු වැටහීම් ඇතිවෙනවා. ඒ අය මුලා වෙන්නේ නෑ, අර බාහිරව පෙනෙන ඒ නිත්‍ය ස්වභාවයෙන්. දැන් කෙහෙල් කඳක් දකින කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් මේක හොඳට අරටුව ඇති ලීයක් කියලා. නමුත් ඒක පිළිබඳව හරියට වැටහීම ඇති කෙනා දන්නවා මෙතන පතුරු ගොඩක්. අන්න ඒ වගේ හැම දෙයක් පිළිබඳව හෝ දේවල් පිළිබඳව හෝ අර තියෙන නිත්‍ය සංඥාව බිඳිලා යනවා. ලිහිලා යනවා.

කෙනෙක් නිතරම හැමදේකම ඇතිවීම් නැතිවීම් බලනවා නම්, මේ කය පිළිබඳව - ශරීරය පිළිබඳව - ඒ වගේම මේ අපේ ඉරියව් පැවැත්වීම ආදිය, යාම් ඊම් ආදිය, මේ හැම දේකම ඇතිවීමක්, නැතිවීමක්, බලනවා නම්, ඒකට ධර්මයේ සඳහන් වෙනවා “සමුදය ධම්මානුපස්සී වා - වය ධම්මානුපස්සී වා - සමුදය වය ධම්මානුපස්සී වා” ආදී වශයෙන්ම. ඒ කියන්නේ මේක ඇතිවන ආකාරය බලමින් වාසය කරනවා. ඊළඟට මේක ගෙවී යන ආකාරය බලමින් වාසය කරනවා. ඊළඟට ඇතිවීමත් ගෙවී යාමත් කියන දෙකම බලමින් වාසය කරනවා. මෙන්න මේ විදියට මේ වාසය කිරීමෙන්මයි, මේ විදියට මේ භාවනාව වැඩීමෙන්මයි, ක්‍රම ක්‍රමයෙන් මේවායේ අනිත්‍ය ස්වභාවය තමන්ට වැටහෙන්න පටන් ගන්නේ. දැන් ඔය දැලිපිහියක් මඩිනකොට එහෙමත්, දැලිපිහිය උඩට අදිනවා, ඊළඟට යටට පහතට අදිනවා, ඊළඟට උඩට පහතට දෙපැත්තෙන්ම ශීඝ්‍රයෙන් එහෙම කරලා තමයි දැලිපිහිය හොඳට මෝහත් කරන්නේ. ඒ වගේ මේ ප්‍රඥාවෙන් - මේ විදර්ශනා ප්‍රඥාව වැඩීමේදිත් - විටෙක අර විදිහට ඇතිවෙන ස්වභාවය බලමින් සිටිනවා, ඊළඟට මේවා ගෙවී යන ස්වභාවය, ඊළඟට ඉතාම ශීඝ්‍රයෙන් ඇතිවීම සහ ගෙවී යාම මේ දෙකම, මේ දෙකම එකතු කරලා දකින විදියට සියුම් කරගන්නවා, දියුණු කරගන්නවා. එහෙම කිරීමෙන්මයි මේක විනිවිද යන ප්‍රඥාවක් වන්නේ. ඒ විදිහට දියුණු කළ පුද්ගලයා මේක නැතිවෙනකන් ඉන්නේ නෑ. දකිනකොටම පේනවා යමක් උපන්නා නම් එය විනාශ වන ස්වභාවය ඇති දෙයක් බව. හැම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවය ගැන කල්තබාම වැටහීමක් එනවා. ඒකටයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ විදිහට දකින පුද්ගලයාට තමයි මේ පංචස්කන්ධය අතහැරින්න පුළුවන් වෙන්නේ. යම්කිසි අවස්ථාවක ඒ ප්‍රඥාව වැඩීමෙන් කය පිළිබඳව, වේදනාවන් පිළිබඳව, සිත පිළිබඳව, සිතට එන සිතිවිලි, මේ හැම එකකම ඇතිවීමි නැතිවීම් බලමින් ඉඳලා ක්‍රම ක්‍රමයෙන් ඒ ප්‍රඥාව දියුණු වීමෙන්මයි යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ - දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියලා කියන. මේ මුළුමහත් පැවැත්මම දුකක්. ඒකට හේතුව තෘෂ්ණාවයි. මේ යටින් තිබෙන තෘෂ්ණාව නිසයි මේක නිත්‍ය හැටියට - නිත්‍ය සංඥාවෙන් - ගන්නේ කියලා ඒ අවබෝධය එනවා. ඊළඟට මේ තෘෂ්ණාව නැතිවුන අවස්ථාවේ, ඒ තණ්හා පිපාසය නැති කරගත්තු අවස්ථාව, ඒ නිවීම - ඒක තමයි නිවන. ඒකට උපකාර වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඒ විදිහට අවබෝධය එනවා - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව ගිහිල්ල තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ප්‍රඥාව පිළිබඳව ප්‍රඥාව ආලෝකයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා.

ලෝකයේ තිබෙන ආලෝක හතරක් බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා. චන්ද්‍ර ප්‍රභාව - චන්ද්‍රාලෝකය, ඊළඟට සූර්යාලෝකය, ඊළඟට ගින්නෙහි ආලෝකය - අග්නි ආලෝකය, ඊළඟට මේ ප්‍රඥාලෝකය. හැම ආලෝකයකටම වඩා ශ්‍රේෂ්ඨ හැටියට, අග්‍ර හැටියට, සැලකෙන්නේ ප්‍රඥා ආලෝකයයි. හඳ එළියෙන් දකින දේවල්වලත් ඒවායේ හෙවනැලි තිබෙනවා. ඉර එළිය - ඒවායෙහිත් හෙවනැලි තිබෙනවා. පහන් එළිය, විදුලි එළිය හැටියට හිතන ඒවා - ඒවායින් තමයි අපි කෙනෙක් හරියටම දකිනවා කියලා හිතන්නේ - නමුත් ඇත්ත වශයෙන්ම නියම දැක්ම ඇතිවෙන්නේ ප්‍රඥාවෙන් - ඇතුළතින්ම එන එක්තරා වැටහීමකින්. ඒකෙන් දකින දේ තමයි සත්‍ය හැටියට ගන්න පුළුවන් වෙන්නේ. අනිකුත් ඔය ඉර එළියෙන් හඳ එළියෙන් වගේ ඒවායින් පවා සමහර විට තමන්ට හරියාකාරව පේන්නේ නෑ. ඔන්න එතකොට ඒ ප්‍රඥාව පිළිබඳව.

ධ්‍යානය පිළිබඳවත් ඒ විදියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ධ්‍යානය කියලා කියන්නේ සිත එකඟ කිරීමයි, සමාධිමත් කිරීමයි. සාමාන්‍යයෙන් සිත බොහෝවිට විසිරීයි පවතින්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන ඒ නීවරණ ධර්ම පහක් තිබෙනවා. එක්කෝ කාම සිතිවිලිවලින්, එක්කෝ ද්වේෂ සිතිවිලිවලින්, හිත කැළඹිලා. කාම සිතිවිලි වලින් හරි, ද්වේෂ සිතිවිලි වලින් හරි, එහෙම නැත්නම් නිදිමත අලස ගති නිසා, හිත අකර්මණ්‍යයි. එහෙම නැත්නම් නොසන්සුන් ගති, කුකුස් ආදිය නිසා, එහෙම නැත්නම් සැක කිරීම්, දෙගිඩියාවල් නිසා, ඔය විදියට ඒ සිතේ ඇති සමාධිමත් ගතිය යටපත් වන අවස්ථා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා.

ඒ නීවරණ ධර්මවලින් සිත ඉවත් කර ගැනීමට බුදු පියාණන් වහන්සේ උපමා පවා එක් අවස්ථාවක ප්‍රකාශ කොට වදාළා. අර කාම සිතිවිලි වලින් සිත කැළඹීම - ඒකට උපමාව බුදු රජාණන් වහන්සේ දුන්නේ මන්නං, දැන් යම්කිසි වතුර භාජනයක් තියෙනවා. මේ වතුර භාජනයට කහපාට, රතුපාට, නිල්පාට ආදී සායමක් මිශ්‍ර කළොත් හරියට තමන්ගේ මූණ පෙනෙන්නේ නෑ. යථා තත්ත්වය පෙනෙන්නේ නෑ. අන්න ඒ වගේ සිත කාමරාගාදියෙන් කැළඹුනොත් එබඳු පුද්ගලයාට තමන්ගේ යහපත පෙනෙන්නේ නෑ. අනුන්ගේ යහපත පෙනෙන්නේ නෑ. දෙපක්ෂයේම යහපත පෙනෙන්නෙත් නෑ. ඊළඟට ඒ වගේම ද්වේෂය - ද්වේෂයෙන් සිත කැළඹීම. ඒක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ යම්කිසි වතුර භාජනයක නටන වතුරක, ගින්නෙන් කැකෑරෙන වතුරක, කෙනෙකුට තමන්ගේ මූණ හරියට පෙනෙන්නේ නෑ. අන්න ඒ වගේ ද්වේෂයෙන් කැකෑරෙනකොට යථා තත්ත්වය අවබෝධ වෙන්නේ නෑ. ඊළඟට අර නිදිමත අලස ගතිවලින් සිත අකර්මණ්‍ය උනොත්, ක්‍රියාකාරීත්වය නැති උනොත්, එබඳු අවස්ථා පෙන්නුම් කරන්නේ අර දිය භාජනය දිය සෙවෙල් වලින් වැහිලා තිබෙනවා නම්, දිය සෙවෙල් වලින් වැහිලා තිබෙන ඒ වතුර භාජනයක තමන්ගේ මූණ හරියාකාරව පෙනෙන්නේ නෑ. ඊළඟට අර උද්ධච්ච-කුක්කුච්ච කියලා කියන නොසන්සුන් ගති, ඊළඟට කුකුස් - එහෙම නැත්නම් ඒ තමන් කළ නොකළ දේවල් පිළිබඳ පසුතැවිලි - ආදිය එනවා නම් හිතට, එබඳු අවස්ථා වලදීත් යථා තත්ත්වය පෙනෙන්නේ නෑ. ඒකට උපමාව දක්වන්නේ යම්කිසි වතුර භාජනයක වතුර හුළඟින් - හමන හුළඟකින් - රැළි වැටිලා, එහෙම නැත්නම් කම්පිත වෙලා - යම්කිසි වතුර භාජනයක් කම්පිත වෙලා - තිබෙනවා නම්, කම්පාවෙනවනම් ඒ රැළිවැටෙන ජලයෙන් මූණ හරි ආකාරව පෙනෙන්නේ නෑ. ඊළඟට විචිකිච්ඡා කියලා කියන දෙගිඩියාව. ඒකත් අර සිතෙහි යථා තත්ත්වය පෙනෙන ශක්තිය නැති කරන දෙයක්. සැක දෙගිඩියාවලින් සිත කැළඹුණාම ඒක පෙන්නුම් කරන්නේ මඩවලින් බොරවුණු වතුර භාජනයකින්, මඩ වුනු වතුර භාජනයකින්, මූණ බලනවා වගේය කියලා.

ඔය විදියට බුදු පියාණන් වහන්සේ දක්වන උපමා අනුව අපට හිතාගන්න පුළුවන් ඒ සමාධියට බාධා වන ධර්ම - ඒවා ඉවත් කරපු අවස්ථාවේ තමයි ධ්‍යානය, සමාධිය මතු වෙන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම චිත්ත ශක්තිය දියුණු කරගන්න උත්සාහ වන පින්වතුන් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මෙන්න මේ ප්‍රඥාවත් ධ්‍යානයත් වැඩීම ගැන - මේ පිළිබඳව උනන්දු වෙන්න ඕන. මේවා පිළිබඳ හොඳ ආරම්භයක් කරන අවස්ථාව තමයි පොහොය දවස. ඒකයි අපි අර “පෝයදා වාසනාව” කියලා කිව්වේ. තම තමන්ගේ ජීවිත පිළිබඳ යම්කිසි හැඩගස්වා ගැනීමක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒක නොකළොත් ඇතැම් විට තමන්ට අවසාන අවස්ථාවේදී ලොකු පසුතැවිල්ලක් ඇතිවෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ නිර්වාණ මාර්ගය - මේකේ යන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. ඒ සඳහා උපකාර වන ඒ ජීවන මාර්ගය හැඩගස්වන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ. ඒක ඇත්ත වශයෙන්ම පොතපතේ තියෙන දෙයක් හැටියට නොවෙයි, තම තමන්ගේ හදවතින්ම - හදවත තුළම - ඇති කර ගත යුතු ප්‍රතිපදාවක්.

සම්මා දිට්ඨි කියලා කියන්නේ හරි දැක්ම. දැන් ඕනෑම ගමනක් යන්න කලින් තමන් මේ යන්නේ කොහේද කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඕනෑ. අපි සමහර විට ඔය දූරදර්ශී කියලා කියන්නේ - ඒ යන තැන පිළිබඳව, මේක කටු අකුලක් තියෙන තැනක්ද එහෙම නැත්නම් මේ පාරේ ගියාම තමන්ට යහපතක් සැලසෙනවාද කියන ඒ අවබෝධය. ඒ විදියට තමයි මේ සම්මා දිට්ඨිය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. චතුරාර්ය සත්‍යය පිළිබඳව එක්තරා මට්ටමක වැටහීමක්, මේ ශාසනයේ සැලැස්ම සම්පූර්ණයෙන්ම තමන්ගේ හිතට දමා ගන්නවා. සම්මා දිට්ඨිය හඳුන්වන්නේ මේ මුළු මහත් සංසාරික පැවැත්මම දුකක් හැටියට. මේක තමන්ට තාව වැටහුනේ නැතිවෙන්න පුළුවන්, නමුත් මෙතනයි ඉලක්කය තියෙන්නේ. යම්කිසි කෙනෙකුට මේ මාර්ගයේ යනකොට තේරෙනවා මේ පංචස්කන්ධයම දුක් ස්වභාවය - මේක දුකක්. ඊළඟට මේකට හේතුව තෘෂ්ණාවයි, තණ්හාවයි. මේ තණ්හාව යම්කිසි අවස්ථාවක සංසිඳවා ගත්තහම එයින් ලැබෙන සැනසීම තමයි නිවන. ඊළඟට මේකට උපකාර වෙන්නෙත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්නේ. එතකොට හරි දැක්මක්, බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම පණිවිඩය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගන්න ඕන - ඒ සැලැස්ම පිළිබඳව. ඒ සැලැස්ම තමන්ට එදිනෙදා ජීවිතයෙන් අත්දකින්න පුළුවන් වෙන්න ඕන, තමන්ට වෙන සිද්ධි ආශ්‍රයෙන්. අපි හිතමු තමන්ගේ යම්කිසි හිතවතෙක් නැති උනා, එහෙම නැත්නම් වස්තුවක් නැති උනා, එබඳු අවස්ථාවල හිතාගන්න පුළුවන් ‘අන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුකේ කොටසක් මට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේක පිළිබඳවයි මට මේ දුක ඇතිවෙලා තිබෙන්නේ. හේතුව මේකට මා තුළ තිබෙන තණ්හාවයි. මේ තැනැත්තා පිළිබඳව, මේ තැනැත්තිය පිළිබඳව, මේ දේවල් පිළිබඳව ඇති තණ්හාව නිසයි මට මේ දුක ඇතිවුණේ.’ ඊළඟට මේ තෘෂ්ණාව යම්කිසි ආකාරයකින් මේ මොහොතට හරි මම සංසිඳවා ගත්තනම් ධර්මානුකූලව කල්පනා කරලා - අන්න ඒ අවස්ථාවේ මට ලොකු සැනසීමක් එනවා. දැන් ඔය තමන්ගේ අසල්වාසීන්ගේ මරණය පිළිබඳව කෙනෙක් අඬන්නේ දොඩන්නේ නෑ, නමුත් තමන්ගේ හිතවතෙක්, ඥාතිවරයෙක්, ප්‍රිය කෙනෙක් නැති උනාම දුක් වෙන්නේ මොකක්ද? ඒ තැනැත්තා වෙනුවෙන් අඬනවා කියලා අපි හිතන්නේ, නමුත් අපි වෙනුවෙන් අඬන්නේ නෑ. ඒ තැනැත්තා නැති අපි වෙනුවෙන් අපි අඬන්නේ. ‘අහවලා නැති මමයි මේ. අහවලාත් එක්ක මම ජීවත් වුණා, එයා නැති තැනැත්තා මමයි’ කියලා තමා ගැන තමයි මේ අඬන්නේ. ඒක තේරෙන්නේ නෑ. අන්න ඒක නිසා යම්කිසි අවස්ථාවක මේක නුවණින් කල්පනා කරලා, මේකේ යට තිබෙන්නේ තෘෂ්ණාවයි - ඒ තැනැත්තාගේ හොඳ බව නිසා නොවෙයි, ඒ තැනැත්තාට තිබෙන ඇල්ම නිසයි - කියලා හිතලා ඒක සංසිඳවා ගන්න ඕන. අන්න ඒකට චතුරාර්ය සත්‍යය එදිනෙදා ජීවිතයේ තමන් එක්තරා ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන්න ඕන. ඒ විදියට කරල තමයි ක්‍රම ක්‍රමයෙන් භාවනාමය වශයෙන් දියුණු උනාමයි අවසාන වශයෙන් ඒ මාර්ගඵල අවබෝධය එහෙම ලබන්න පුළුවන් වෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම.

ඒ විදියට අවබෝධයක් ලබා ගත්තා නම් ඊළඟට ඒ තැනැත්තා තුළ වෙන ක්‍රමික පරිවර්තනය තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ - හරි සිතුම් පැතුම්. යම්කිසි කෙනෙකුගේ ඒ ගත්තු දෘෂ්ටිය, එහෙම නැත්නම් ජීවන දර්ශනය අනුවයි සිතුම් පැතුම් සකස් වන්නේ. දැන්, හොරකම් කරන තැනැත්තාට බලන බලන හැම තැනකම හොරකම් කිරීම පිළිබඳවයි අදහස එන්නේ. මරණ තැනැත්තාට මැරීම පිළිබඳ අදහස. අන්න ඒ විදියට ඒ තමන් ගත්ත දෘෂ්ටිය අනුව තමයි ඒ සිතුම් පැතුම් ඇතිවෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්මා සංකප්ප කියලා කියන්නේ හරි සිතුම් පැතුම් කියලා. දැන් සම්මා දිට්ඨි කියලා කියන්නේ හරි දැක්ම. අර විදියට චතුරාර්ය සත්‍යය පිළිබඳව හරි දැක්ම ඇතිවුනු පුද්ගලයා ඊළඟට සම්මා සංකප්ප කියලා කියන හරි සිතුම් පැතුම් පිළිබඳව උනන්දු වෙනවා. බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලයි. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ මේ ගිහිගෙයින් නික්මීම, එහෙම නැත්නම් මේ පංචකාම සම්පත්තියෙන් ඉවත් වීම, මේක තමයි නියම සැනසීම කියන ඒ අදහස - ඒක නිතර මතුකර ගන්න ඕන. තමන්ට ඒවායින් නිදහස් වෙන්න බැරිවුණත්, මේ සිතිවිලි නිතර එදිනෙදා ජීවිතයේ, සංඝයා වහන්සේලාගේ දර්ශනයෙන් හරි, පොතපත කියවනකොට, ධර්මය අසනකොට හරි, ‘අනේ මෙබඳු ජීවිතයක් ගතකරන්න ඇත්නම් කොයිතරම් හොඳද’ කියලා හිතෙනකොට අන්න ඒකත් සමඟ සංකල්පය වැඩෙනවා. අව්‍යාපාද සංකල්පය කියන්නේ මෛත්‍රී සිතිවිලි. අර ද්වේෂය යටපත් වන මෛත්‍රී සිතිවිලි වැඩිදියුණු කරගන්නවා. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ හිංසාවෙන් ඉවත්වීමට කරුණාවන්ත සිතිවිලි ඇති කරගන්නවා. ඔය විදියට හොඳ සිතුම් පැතුම්.

ඊළඟට මේ සිතුම් පැතුම් අනුව පාවිච්චි කරන වචනත් හැඩගැහෙන්න ඕනෑ. ඒ වචන පිළිබඳව තමයි දැන් මෙතන මේ බොරුකීම, කේලාම්කීම, පරුෂවචනකීම, නිශ්ඵල වචන ආදිය දෙසීම - ඒවායින් මේ වචනය කිළිටි කර ගන්නවා. තමන්ට ලැබුණු මේ කතාකිරීමේ දායාදය දුර්ලභ දායාදයක්. දැන් කී දෙනෙක් කර්මානුරූපව ගොළුවෙලා කතා කරගන්න බැරිව සිටිනවද? එතකොට මේකත් අපිට පිනට ලැබීච්ච ශක්තියක් කියලා හිතන්න ඕන. ඒක නිසා බොරුකීම, කේලාම්කීම, පරුෂවචනකීම, නිශ්ඵල ‘දෙලොවටම නැති’ කතාන්තර කියමින් සිටීම - මෙන්න මේවායින් අපි මේ කතාකිරීමේ ශක්තිය පිරිහෙලා ගත්තොත් අපිට මේ ලැබිච්ච වරප්‍රසාදය නැතිවෙලා යනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ වෙනුවට සත්‍ය වචනය, මෘදු-මොළොක් වචනය, අනුන් සමඟි කරවන වචනය, ධර්මානුකූල වචනය මේ විදියට හොඳ වචන පාවිච්චි කරන හැටියට ප්‍රකාශ කොට වදාළේ.

ඒ විදියට වචනය සකස් කරගන්න පුද්ගලයා ඒ වචනය අනුව ක්‍රියා කරන්නත් උනන්දු වෙනවා. ඒ ක්‍රියාකිරීම කියලා කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය කියන ඒ වැරදි ක්‍රියාවලින් වෙන්වීමට අධිෂ්ඨාන කිරීමයි. ඒක සම්මා කම්මන්ත හැටියට හඳුන්වනවා. ඊළඟට ඒකෙන්ම තවත් පියවරක් තමයි, එපමණකට ඒ ඉඳහිටලා ඒ විදියට ජීවත්වීම නොවේ, තමන්ගේ රැකියාව, තමන්ගේ ජීවිකාව පිළිබඳවත් කල්පනා කරලා වඩාත් ධාර්මිකව ජීවත්වීමටයි. අර අපි කලින් කියාපු ආකාරයට ආයුධ වෙළඳම, සතුන් මසට ඇති කිරීම, මාංශ වෙළඳම, වසවිස වෙළඳම, මත්පැන් වෙළඳම කියන ඒවායින් ඉවත් වෙලා ධාර්මික ජීවිකාවකින් ජීවත්වෙන්න උත්සාහ කරන්නේ. ඒකයි සම්මා ආජීවය කියලා කියන්නේ.

මේක සඳහා ගන්න උත්සාහයේදී තමන්ට අර සම්මා වායාමය කියලා කියන සිත ඇතුළේ ඇතිවන එක්තරා භාවනාමය ශක්තියක් ඉබේම පහළ වෙනවා. ඒ සම්මා වායාමය කියලා කියන්නේ තමන්ගේ සිතේ ඇතිවන කුසල් අකුසල් පිළිබඳව සැලකිලිමත්ව කල්පනා කරලා අකුසල් ඉවත් කරමින් කුසල් වැඩිවර්ධනය කර ගැනීමට දරන නිරන්තර උත්සාහයයි. මේ සිතට ගලාගෙන එන නූපන් අකුසල් - ගලාගෙන එන්න බලාගෙන ඉන්න නූපන් අකුසල් කියලා කියන්නේ ඒකයි - ඒ නූපන් අකුසල් නූපදවීම සඳහා යම්කිසි දැඩි උත්සාහයක්, වීර්යයක් දරන්නට වෙනවා, යොදන්නට වෙනවා. අන්න ඒකට කියනවා ඒ නූපන් අකුසල් නූපදවීම සඳහා දරන උත්සාහය - වායාමය කියලා. ඊළඟට උපන් අකුසල් නෙරපා හැරීම සඳහා - තමා තුළ වැරදි අකුසල් තිබෙනවා නම් ඒවා ඉවත් කරගැනීමට ඒ වගේම දැඩි උත්සාහයක් යොදන්න ඕන. ඊළඟට ඒ වගේම නූපන් කුසල් ඉපදවීම සඳහාත් විශේෂ උත්සාහයක් යොදන්න ඕන. කල්පනා කරලා බලලා තමා තුළ මෙන්න මේ හොඳ ගුණධර්ම මේවා තාම නැහැ, මේවා මම වැඩිදියුණු කරගන්න ඕන කියලා ඒකටත් විශාල උත්සාහයක් දරන්න ඕන. ඊළඟට ඒ වගේම තමා තුළ හොඳ කුසලධර්ම තිබෙනවා නම් ඒවා විනාශ වී යා දෙන්නේ නැතිව, ඒවා තහවුරු කරගන්න, වැඩි කරගන්න, ඒකටත් උත්සාහයක් දරන්න ඕන.

ඒ උත්සාහයේ වටිනාකම කොයිතරම්ද කියතොත් ඒ උත්සාහය පිළිබඳව බුදු පියාණන් වහන්සේ පද රාශියක් යොදලා තිබෙනවා “ඡන්දං ජනේති, වායමති, වීර්යං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති” කියලා. “ඡන්දං ජනේති” කියලා කියන්නේ අපි කලිනුත් කීවා - ඡන්දය කියන වචනයත් දැන් මේ කාලේ තිබෙන අර්ථය නොවෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඡන්දය කියලා කියන්නේ කුසල් පිළිබඳව ඇති කරගන්න ඕනෑකම, යමක් පිළිබඳව යමක් කරන්න ඇති ඕනෑකම, කැමැත්ත. ඒ ඡන්දය ඇති කරගන්නවා. ඊළඟට ඒ ඡන්දය ඇති කරගෙන “වායමති” - ඒ සඳහා වෑයමකුත් කරනවා. ඊළඟට ඒක ටිකක් කරලා වෑයම නතර කරන්නේ නෑ. ඒක වීර්යයක් බවට පත්කරගෙන, වඩාත් දැඩි වශයෙන්, දැඩි වශයෙන්, ඒ උත්සාහය කරගෙන යනවා. ඊළඟට ඒ වීර්යය කරගෙන යනකොට ඉදිරිපත් වෙන නොයෙකුත් බාධක - ඒවා හමුවේ සිත පැකිළෙන්න නොදී දැඩි අධිෂ්ඨාන ශක්තිය මතු කර ගැනීමට “චිත්තං පග්ගණ්හාති” කියලා කියනවා - අධිෂ්ඨාන ශක්තියක් මතු කරගන්නවා. ඊළඟට ‘පදහති’ කියලා වචනය යොදන්නේ, අවසාන වශයෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවා “මම ඒක කොහොමහරි කරන්න ඕන” කියලා දැඩි අධිෂ්ඨානයකින් ඒ කාර්යය කරනවා.

අන්න ඒ විදියට මේ සතර ආකාරයෙන් වීර්ය කෙනෙක් යොදනවා නම්, සිත ඇතුළේ, අර තමන්ගේ වැරදි ජීවිකා ක්‍රමවලින් වෙන්වෙලා - අපි හිතමු මත්පැන් බොන පුද්ගලයෙක්, සතුන් මරන පුද්ගලයෙක්, සොරකම් කරන පුද්ගලයෙක්, මිනීමරන පුද්ගලයෙක් - මේ තැනැත්තා අර කිව්ව විදියට තමන් පෝය දවසේ හරි වෙන්වෙලා, ‘පෝයදා වාසනාව’ ගැන කල්පනා කරලා, මේ ගැන ටිකක් තමන්ම හිතලා බලනවා. මේක කොහොමද කරන්නේ කියලා. මේක කිරීමේ ආනිසංස පක්ෂය, ඒවායේ ආදීනව පක්ෂය. මේ ජීවිතය ගැන පමණක් හිතලා නොවෙයි මුළු මහත් සංසාරය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මානුකූලව කල්පනා කරලා, මේකේ ආනිසංස පක්ෂය ගැන හිතලා, මේ මනුෂ්‍ය ආත්මභාවයෙන් මට ලැබී තිබෙන ලොකුම වරප්‍රසාදයෙන් මේ ප්‍රඥාවත් ධ්‍යානයත් මතුකරගන්න තියෙන ශක්තිය - ඒක මම පිරිහෙලා ගත්තොත් මමත් තිරිසන් තත්ත්වයට වැටෙනවා නේද? ප්‍රේත තත්ත්වයට, යක්ෂ තත්ත්වයට, වැටෙනවා නේද? - කියලා කල්පනා කරලා ඒ ජීවිත රටාව පිළිබඳව සම්පූර්ණ පරිවර්තනයක් ඇති කරගන්න අර විදියට හිත යොදනවා. අර අකුසල් ඉවත් කරගැනීමටත්, කුසල් උස්කර ගැනීමටත් ඒ විදියට දරන උත්සාහය තුළින් තමන් දන්නෙම නැතිව යෝගාවචරයෙක් වෙනවා. භාවනායෝගියෙක් වෙනවා. ඒ තැනැත්තා වටිනාම පුද්ගලයෙක්.

ඒ විදියට කරන උත්සාහයේ ඊළඟ ප්‍රතිඵලය මොකක්ද? ඒ උත්සාහය නිසා තමා තුළ සම්මා සතිය කියලා කියන හොඳ සිහිය පිහිටනවා. දැන් අර “සතර සතිපට්ඨානය” කියලා කියන්නේ මේ කය පිළිබඳව - තමන්ගේ කය හෝ අනුන්ගේ කය හෝ - මේ වේදනා පිළිබඳව, ඊළඟට සිත පිළිබඳව, සිතට එන දේවල් පිළිබඳව, මේවා පිළිබඳව සිහිය පිහිටුවීමයි. ඒ සිහිය පිහිටුවාගත්තු පුද්ගලයා තමයි ඊළඟට ඒවායේ ඇතිවීම, නැතිවීම ආදිය දැකලා ප්‍රඥාව මතුකර ගන්නේ. එතකොට මේ සතර සතිපට්ඨානයට නැඹුරු වෙනවා මේ සම්මා වායාමය.

ඊළඟට ඒ සතිය - ඒ සිහි නුවණ - දියුණු කරගන්න පුද්ගලයා ඒකම දීර්ඝ කාලයක් විනාඩි පහක්, දහයක්, පැයක්, දෙකක්, ඔය විදිහට සිහිය රඳවා ගැනීමෙන් යම්කිසි කුසල අරමුණක, කමටහනක, ඒ තැනැත්තාට පුළුවන් සමාධියක් වඩන්න. එතකොට ඊළඟට උනන්දු වෙන්න ඕනා, අර ‘පෝයදා වාසනාව’ මතුකර ගන්න පින්වතා භාවනාවක් ගැන. භාවනාව සඳහා බුදු පියාණන් වහන්සේ නොයෙකුත් කමටහන්, භාවනා මාතෘකා, ඉදිරිපත් කරලා තියෙනවා. එදිනෙදා ජීවිතයේ සරල අන්දමින් පුරුදු පුහුණු කරලා එදිනෙදාම තමන්ට ඒවායේ ආනිසංස නෙලාගන්න පුළුවන් විදියේ භාවනා කමටහන් බුදු පියාණන් වහන්සේ මතුකරලා දීලා තියෙනවා. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අශුභය, මරಣසතිය කියලා මේ ගිහි පැවිදි කාටත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ සතර කමටහන්. එතකොට මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුගුණයේ සිත පැවැත්වීමයි. මහා සාගරයක් වගේ බුදුගුණ - නවගුණ පාඨයේ - තිබෙන එක පදයක් හරි මතුකරගෙන ‘අරහං’ ‘අරහං’ ‘අරහං’ කියන වචනය ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ නිතර මෙනෙහි කරනවා නම්, එහෙම නැත්නම් ‘බුද්ධො’, එහෙම නැත්නම් ‘භගවා’, ඒ යම්කිසි වචනයක් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිව ඒක නිතර සිහියට නගා ගන්නවා නම්, ඒ අවස්ථාවේ සිතේ අර විසිරුණු ස්වභාවය නැතිවෙනවා. ඇත්ත වශයෙන්ම මේ භාවනා කමටහනකින් කරන්නේ මොකක්ද? අපි හිතමු විසිරුණු ජලයක්, එහෙම නැත්නම් ඒ ඒ පැත්තට ගලන වතුර, යම්කිසි වේල්ලක් බැඳලා එක්තැන් කරලා ජලාශයක් හදාගත්තොත් වතුරෙන් අපිට වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ දුවන සිත එක කුසල අරමුණක රඳවා ගැනීම තමයි භාවනා කියලා කියන්නේ. ඒ විදිහට එක බුදුගුණයක්, එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවේ ‘සුවපත් වෙත්වා - සියලු සෝතුන්වෝ සුවපත් වෙත්වා’ වැනි කෙටි පාඨයක් නිතර හිතෙන් මතුකර ගන්නවා. කාටවත් කියන්න ඕන නෑ. තමන්ම අර සිත අයාලේ යනකොට, පාපධර්මවලට, අකුසල් ධර්මවලට දුවනකොට, ඒක මෙතෙන්ට ගේනවා. අන්න ඒ විදිහට සති නැමැති රහැණින් මේ සිත හික්මවන්න උත්සාහවත් වෙන්න උනන්දුවන තැනැත්තාට එදිනෙදා ජීවිතයේ විශාල ආනිසංස රාශියක් ලැබෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස තමන්ට ඒ ද්වේශ සිත යටපත් කරගෙන ලොකු සැනසිල්ලක් ලබාගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒ වගේම තමයි අශුභ භාවනාව. නොයෙකුත් විදියේ සිත මඩින කෙලෙස්වලින් සිත මුදාගන්න ශක්තියක් ලැබෙනවා. ඊළඟට මරණසති භාවනාව - සංවේගය ඇති කරගෙන මේ සංසාර දුක නැති කරගන්න ඉක්මනින්ම, මේවා කල්දාන්නේ නැතුව අප්‍රමාදීව ධර්ම මාර්ගයේ යන්න උනන්දුව ඇතිවෙනවා. මරණසතිය වඩන පුද්ගලයාට අනිත්‍යතාවත් ඒ වගේම වැටහෙනවා.

ඔන්න ඔය විදියට මේ භාවනාව පිළිබඳව යම්කිසි කෙනෙක් උනන්දු වෙනවා නම්, අන්න ඒ තැනැත්තාට එදිනෙදා ජීවිතේ අර කියාපු අර ස්වාමීන් වහන්සේට තරම් ප්‍රාතිහාර්යයක් නැතත්, තමන්ටම අත්දකින්න පුළුවන් වෙනවා ඇතුළතින් ලබාගන්න පුළුවන් සැනසීම, ධ්‍යාන වැඩීමෙන්, භාවනාව වැඩීමෙන්. මෙබඳු මේ කතාන්තරයකින් අපි මේ අපේ ජීවිතයට ගත හැකි පාඩම් - බුදු පියාණන් වහන්සේගේ මේ එක කෙටි ගාථාවකින්, පද හතරක ගාථාවකින් පවා අපේ ජීවිතයට ගත හැකි පාඩම් - ගැන හිතලා මේවා ගැන උනන්දු වෙන්න ඕන. දැන් මේ පින්වතුන් මේ වටිනා පෝය දවසේ ආජීව අෂ්ටමක ශීලය සමාදන්වෙලා, ඒ වගේම මේ වටිනා ධර්ම කතාවක් ආශ්‍රයෙන්, තමන්ට ආදර්ශ ගත හැකි වටිනා ධර්ම කතාවක් ආශ්‍රයෙන්, ධර්ම කාරණා කීපයකට සවන් දුන්නා. මේ අවස්ථාවේ තමන්ගේ සිත ඇතුළේ ඇතිවුණු පරිවර්තනය ගැන හිතලා බලන්න ඕන.

තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවයි මේ වගේ පූජනීය ස්ථානයකට පැමිණියේ. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්න ඉඳගත්තේ. ඒ ශ්‍රද්ධාවෙන් පහළ උනා සිත. එක්තරා සිතේ ප්‍රබෝධවත් බවක් ඇතිවුණා. ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුවම යම්කිසි වීර්යයක් මේ බණ අහන වේලාවෙ ඒ සඳහා සැහැපත්ව සිටීමට, ඊට කන් යොමු කිරීමට, ඒකටත් එක්තරා වීර්යයක් යොදන්න ඕන. ශ්‍රද්ධාව, ඊළඟට වීර්යය, ඊළඟට ඒ වීර්යය අනුව සිහිවී - සතිය. හොඳ සිහි නුවණක් ඇතිව මේකට කන් දෙනවා. ඊළඟට ඒ තුළ බොහෝ වෙලාවක් එකට සවන් දෙනකොට යම්කිසි සමාධියක් - ධර්මානුකූලව එකට ධම්මානුස්සති වශයෙන්, ධර්මයේ වටිනාකම තේරුම් කොට - බුද්ධානුස්සති - ඒ බුදු පියාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන්නොට බුද්ධානුස්සති වශයෙන්, ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් තමන්ට යම්කිසි සමාධියක් පවා ඇති කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ එකඟවුනු සිතින් තමයි ඊළඟට ප්‍රඥාව කියලා කියන ඒ විශේෂ ගැඹුරු වැටහීම් ඇතිවෙන්නේ. අර කියපු අර විනිවිද යන විදියේ ගැඹුරු වැටහීම් ඇතිවෙන්නේ. ඒ විදියට කල්පනා කරනකොට ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගැනීමෙනුයි කෙනෙකුට යම්කිසි අවස්ථාවක නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අන්න එබඳු ඒ ඉන්ද්‍රිය ධර්මයන්, ශාසනයේ දක්වන ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න මේ අවස්ථාව උපකාරවත් උනා කියලා කල්පනා කරලා සතුටු වෙන්න ඕන.

මේ ජීවිතය ගෙවී යනවා ඉතාමත් ශීඝ්‍රයෙන්. සමහර විට මේ දීර්ඝ කාලයක්ය කියලා හිතෙන අවුරුදු හැත්තෑවක්, අසූවක් කියන එක දන්නෙම නැතුව හැඟීව ගෙවිලා යනවා. ඒ තුළින් අවසානයේ කල්පනා කරලා බලනකොට මරණය ළං වෙනකොට තමන් මේ ජීවිතයේ මොකක්ද කළේ? ඒකේ හිස් බවක් පෙනෙනවා අවසානයේ. සමහරවිට අධාර්මික ජීවිත ගෙවලා, පාපකාරී විදියට, බේබදුකමින් ගෙනගිය ජීවිත පිළිබඳව අවසානයේ සිනමාවක් වගේ දකින්නට ලැබෙනවා තමන්ට එක්තරා දුක්ඛදායක දර්ශන රාශියක් මල ඇඳේදී. අන්න ඒ නිසා කල්පනා කරන්න ඕන ඊට කලින් මේ විදියට මේ ධර්මානුකූලව ජීවිතයක් ගෙවන්න. තමන්ට එදිනෙදා ජීවිතයේ එක මොහොතක හරි සමාහිතව හිතලා සතුටු වෙන්න පුළුවන් නම්, එබඳු පුද්ගලයා තමයි ඥානවන්ත පුද්ගලයා, වාසනාවන්ත පුද්ගලයා.

ඒ නිසා නුවණින් කල්පනා කරලා, අද මේ අවස්ථාවේ තමන්ගේ චිත්ත සන්තානයේ රැස්කරගත්තු මේ පුණ්‍ය සම්භාරය - ධර්ම ශ්‍රවණය වශයෙන් මේ රැස්කරගත්තු පුණ්‍ය සම්භාරය - දැන් කල්පනා කරන්න ඕන, මේ පින් අපි අනුමෝදන් කරන්නේ කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම මේ විශ්වයේ සිටිනවා පින් පිළිබඳව සතුටු වෙලා, ඒවායින් තමන්ගේ දුක්ඛිත තත්ත්වවලින් මිදෙන්නට උත්සාහවත් වෙන අය. ඒ වගේම තමන්ගේ අනාගත ප්‍රාර්ථනා සාර්ථක කරගන්න ඒ පින් උපකාර කරගන්න අයත් මේ විශ්වයේ සිටිනවා. එහෙම කල්පනා කරලා දැන් එතකොට මෙතෙක් මේ අපි දෙගොල්ලම ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණය වශයෙන් එකතු කරගත්තු මේ පුණ්‍ය සම්භාරය මේ ස්ථානයට අධිගෘහිත දෙවි-දේවතාවුන් ඇතුළු ශාසනාරක්ෂක දිව්‍ය මණ්ඩලයත් අනුමෝදන් වෙත්වා! ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා! කියලා එහෙම ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේම තමන්ගේ ඒ මියපරලොව ගිය ඥාතීනුත්, අවීචියේ සිට අකනිටාව දක්වා වූ යම්තාක් පින් කැමති සත්ත්වයෝ වෙත්ද, ඒ හැම කෙනෙක්මත් මේ ධර්ම දේශනාමය, ධර්ම ශ්‍රවණය කුසලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින් සැනසෙත්වා! කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම මෙතෙක් මේ ශීල සමාදානයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, පින්දීම් ආදියෙන් රැස්කරගත්තු උදාර පුණ්‍ය සම්භාරය උපකාර කරගෙන ඒ පින්වතුන්ටත් මේ ජීවිතයේදීම හැකිතාක් ඉක්මනින් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් ඒ අතිභයානක සංසාර දුක්ඛයෙන් මිදී උතුම් අමාමහ නිර්වාණයෙන් සැනසීමට ශක්තිය, බලය ලැබේවායි! කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදියට ගාථා කියලා පින් පමුණුවන්න.

එත්තාවතා ච අම්හේහි…………..